මහින්ද දිගටම අගමැති | දිනමිණ

මහින්ද දිගටම අගමැති

අනුර ප්‍රේමලාල්

අගමැති මහින්ද රාජපක්ෂ මහතා දිගටම අගමැති ධුරයේ කටයුතු කරන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා අධිකරණ ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා අවධාරණය කළේය.

අගමැතිවරයා මෙන්ම කැබිනට් මණ්ඩලය ද තවදුරටත් ක්‍රියාත්මක වන බව පැවසු ප්‍රේමජයන්ත මහතා අවශ්‍ය අවස්ථාවක දී බහුතරය පෙන්වීමට තමන් සූදානම් බවත් පැවසීය. කතානායක කරු ජයසූරිය මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාවෙත එවා තිබු නිවේදනය ජනාධිපතිවරයා සහ රජය ප්‍රතික්ෂේප කරන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

එමෙන්ම අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් අද විශේෂ ප්‍රකාශයක් කිරීමට ද නියමිතය.

ඇමැතිවරයා මෙම අදහස් පළ කළේ අගමැති කාර්යාලයේ දී ඊයේ (14) පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඇමැතිවරයා මෙසේද කීය...අද පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ යෝජනාව ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් වන විජිත හේරත් සහ අනුර කුමාර දිසානායක මහත්වරුන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් තමයි සිදුවුණේ. සාමන්‍යයෙන් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග යටතේ රජයට විරුද්ධව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන ප්‍රතිපාදන 1.48 (2) වගන්තියට අනුව සහ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සකස් කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තුවට ලැබී තිබෙන්නාවු බලතල උපයෝගි කරගෙනයි. ඒ අනුව එසේ ඉදිරිපත් කරනවා නම් අනුගමනය කළ යුතු කාර්ය පටිපාටියක් තියෙනවා. ඒ කිසිදු දෙයක් සැළකිල්ලට නොගෙන ස්ථාවර නියෝගවල එකසිය තිස්පහ වගන්තිය යටතේ එම්.ඒ. සුමන්දිරන් මහතා ඉදිරිපත් කළා ස්ථාවර නියෝග අත්හිටුවිය යුතුයි කියලා. ඒ යෝජනාව පැමිණි අවස්ථාවේදී අපි දැඩිලෙස විරුද්ධත්වය ප්‍රකාශ කළා. අදට නියමිත න්‍යාය පත්‍රයේ තිබුණේ ජනාධිපති විසින් පාර්ලිමේන්තුව කල්දැමූ හා යළි කැඳවූ ගැසට් පත්‍රයත්, අගමැතිවරයා යළි පත්කිරීමත් ඒ අනුශාංගික කරුණු ඒ පිළිබඳ පාර්ලිමේන්තුව දැනුවත් කිරීමේ කරුණු එහි තිබුණා. නමුත් කරු ජයසූරිය කතානායකවරයා ඒ නිවේදන කියවීමෙන් පසු සුමන්දිරන් මන්ත්‍රී විසින් ඉදිරිපත් කළ ස්ථාවර නියෝග අත්හිටුවීමේ යෝජනාවත් සමඟ එතුමා ඡන්ද විමසීමකට යොමුවුණා. ඒ වන විට තිබුණේ සභානායක සභාව කල්දමන යෝජනාවයි. ඒ අවස්ථාවේ තමයි විජිත හේරත් මහතා දුවගෙන ගොස් මේ යෝජනාව ලබාදුන්නේ. සාමන්‍යයෙන් පාර්ලිමේන්තුවට මෙවැනි යෝජනාවක් ඉදිරිපත් කරන බව කතානායක විසින් කිව යුතුයි. නැත්නම් හදිසි යෝජනවක් වුණත් මන්ත්‍රීවරුන්ගේ මේසය මත එම යෝජනා තැබිය යුතුයි. ඒ නිසා මේ ගැන විවාදයක් ඇති කරන්න හෝ අදහස් පළ කිරීමේ අවස්ථාවක් ඇතිවෙන්නේ නැහැ.

රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ ඉටුකරන කොන්ත්‍රාත්තුවක් ලෙසයි රැස්වී සිටි අප කාටත් පෙනුනේ. අපි මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන්න යන විට කතානායකවරයා තමාගේ සාක්කුවෙන් ගත් කොළයක් දිගහරිමින් එහි තිබෙන කරුණු කියවමින් අද පාර්ලිමේන්තුව මෙහෙවුයේ කියන එක කනගාටුවෙන් වුවද කිව යුතුයි. විදේස් රාජතාන්ත්‍රිකයින් ඉදිරියේම තමයි ඒ කටයුතු සිදුකළේ. ඒ අයත් දැනගන්න ඇති අපේ කතානායක වෙන රටවල්වල අය වගේ නොවේ සුවිශේෂි කෙනෙක් කියලා. ස්වාධීනත්වය හා කතානායක ගරුත්වය ආරක්ෂා නොකරන අයෙක් කියලා. මේ රටේ ගෞරාන්විත කතානායකවරු සිටියා මෙතුමාගේ හැසිරීම කලින් සැලසුම් කළ එකක් බව තමයි අපි කාටත් පැහැදිලිවුණේ. මේවා සජීවිව දකින ජනතාවට අපේ කතානායකවරයා කව්ද කියලා දැන ගන්න ඇති. ඇතිවූ කාලගෝට්ටියත් සමඟ සෙන්කෝලය අරගෙන ගියා සෙන්කෝලය නැතිව පාර්ලිමේන්තුව රැස්වෙන්න බැහැ. එතැන් පටන් විධිමත් ලෙස රැස්වූ පාර්ලිමේන්තුවක් නොවේ. එතැනදි මන්ත්‍රීවරුන්ගේ හා අපේ ඉල්ලීම් නොතකා කතානායකවරායා විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම නැගිට සිටිය විට හඬ යොදාගෙන ඡන්දය විමසනවා කියා සිටියා. හඬින් කොහොමද බහුතරය විමසන්නේ. ඒ ඒ මන්ත්‍රීන්ගේ හඬ සොයාගැනීමට කතානායකට තියෙන විචක්ෂණ බුද්ධිය මොකක්ද. ඒ නිසා සම්පූර්ණයෙන් නීති විරෝධි ලෙස, සම්ප්‍රදාය විරෝධීලෙස ස්ථාවර නියෝගවලට පටහැනිව හඩින් කොහොමද බහුතරය සොයන්නේ. මින් පැහැදිලව ප්‍රතිඵලයක් එන්නේ නැහැ. පාර්ලිමේන්තුව සන්සුන් කරලා මෙය සිදුකරන්න තිබුණා. කතානායකවරයාගේ පක්ෂග්‍රාහිකම නිසා එසේ සිදු කළේ නැහැ. ඉතිහාසයේ මේ ආකාරයට කතානයකවරු ක්‍රියාකර නැහැ.

කතානායකවරයා විසින් ජනපතිට එවු ලිපියේ සඳහන් වෙන්නේ විජිත හේරත් මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ යෝජනා දෙකයි. මේ ගැන සඳහන් කළ ලිපියක් තමයි ජනාධිපතිට එවා තිබුණේ. මෙහිදී අපේ තර්කය වන්නේ විධිමත් පාර්ලිමේන්තුවක් පැවතුණේ නැහැ. විධිමත් ආකාරයෙන් කරුණු දැක්වන්න අවස්ථාවක් ඇතිවුණේ නැහැ. ඒ නිසා විධිමත් පාර්ලිමේන්තුවක කටයුතු සිදුනොවුණු නිසා ඇතිවූ සියලු දේ අපි බැහැර කරනවා. ඔක්(26) නිකුත්වූ හිටපු අගමැති ඉවත්කිරීම, නව අගමැති පත් කිරීමයන ගැසට් පත්‍ර ගැන කිසිදු අධිකරණයක අභියෝගක් නැහැ. පාර්ලිමේන්තුව කල්දැමීම ගැන පමණක් අභියෝගයකට ලක්වී තියෙනවා. එවිට මේ ඉදිරිපත් කළ යෝජනාවම අර්ථ විරහිතයි. මේ කෙටුම්පත් කිරීමත් වැරදියි. පාර්ලිමේන්තු සම්ප්‍රදායට හෝ නීතියට මෙය පටහැනියි. කෙසේ වෙතත් කතානායකට බැහැ අගමැතිවරයෙක් පත් කරන්න හෝ ඉවත් කරන්න. ඒ නිසා තමයි ඒ අය උසාවි නොගියේ. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් තමයි උසාවි ගිහිල්ලා තියෙන්නේ ඒ ගැන දැන් අධිකරණයේ විභාග වෙනවා.

ජාතික ඒකාබද්ධතා සංහිඳියා සහ රාජ්‍ය භාෂා ඇමැති වාසුදේව නානයක්කාර මහතා... ආණ්ඩුවක් පත් කරන්නේ ජනාධිපතිවරයා තමන්ට අයිති විධායක බලය ක්‍රියාත්මක කරමින්. එතුමාට ඒ බලය එන්නේ මුළු රටේම ලබා දෙන ඡන්දයෙන්. එතුමාගේ කටයුතුවල කොටසක් තමයි ජනතාපරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක කරන්න. එහි එක වගකීමක් තමයි ආණ්ඩුවක් පවත්වාගෙන යෑම. එතුමා ආණ්ඩුවක් පවත්වා ගැනීමට තීරණය කිරීම තමයි මේ අය කියන්නේ බලශූන්‍යයි කියලා. නීති විරෝධියි කියලා. ඒ සම්බන්ධව තමයි යෝජනාවක් නීතිවිරෝධිව හා රීති විරෝධිව ගෙන තියෙන්නේ. එය නීති විරෝධිව රීතිවිරෝධිව සම්මත වුණා යැයි කියන්නේ. නිකමට මෙය නීත්‍යානුකුලව සම්මත වුණා කියමු. එහෙත් ජනාධිපතිගේ බලය නැතිවෙන්නේ නැහැ. ඒ මහතාගේ බලය තියෙනවා. ඒ මහතා පත් කළ පත්වීම් තියෙනවා. අපි පිළිගන්නේ නැහැ ව්‍යවස්ථාව අනුව විශ්වාසභංග යෝජනාවක් සම්මත වුණා කියලා. ඒ අය රණ්ඩු කරනවා අපි ආණ්ඩු කරනවා. ආණ්ඩුව දිගටම යනවා. අද කතානායකවරයා ජනාධිපති වෙත ලිපියක් යවලා දුරකතන ඇමතුමක් දීලා තියෙනවා. එහිදි කතානාකයට ජනාධිපති පවසා තියෙනවා අගමැති පත්කරන්නේ විධියක ජනාධිපතියි නැතිව කතානායක නොවේ කියලා එහිදී කතානායකවරයා ලිස්සා ගොස් තියෙනවා. අද පාර්ලිමේන්තුවේදී අපි කතාකරන්න සූදානම් වෙන විට කතානායක ගණන් ගත්තේ නැහැ. අද න්‍යාය පත්‍රයක් තිබුණේ නැහැ කතානායකගේ අතේ තියෙන න්‍යායපත්‍රයක් අනුව තමයි පාර්ලිමේන්තුව මෙහෙයවුයේ. පාර්ලිමේන්තුවේ අද තිබූ සීමිත න්‍යාය පත්‍රයට අනුව නොවේ කතානායක කටයුතු කළේ. කතානායකවරයා න්‍යාය පත්‍රයක් සකස් කරන්නේ පාර්ලිමේන්තු කටයුතු කමිටුවක් මගිනි. එසේ නොකර නීතියකට රීතියකට නැති කැලෑ නීතියට පැවැති කමිටුවකින් තමයි කටයුතු කළේ. ඒ නිසා ව්‍යවස්ථාදායකය හා විධායකය අතර තිබෙන මේ පරස්පරය විසඳන්න මහාමැතිවරණයක් අත්‍යවශ්‍යයි. ඒ අධිකරණයත් අවධානය යොමුකරයි කියාලා හිතෙනවා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා...විජිත හේරත් මහතා දුවගෙන ගිහිල්ලා මහලේකම්ට ලබාදුන්නේ විශ්වාසභංග යෝජනාව නම් එය සාමන්‍ය යෙන් කතානායකවරයා කියවිය යුතුයි. එය කතානායකවරයා මහාලේකම්ගෙන් ඉල්ලා ගත්තේ නැහැ. එතකොට කොහොමද මේ ලිපියේ තියෙන දේවල් කතානායක දන්නේ. එසේ නැතිව කතා නායකවරයා ඒ ගැන ඡන්ද විමසනවා. මේක නාටකයක්. රනිල් වික්‍රමසිංහ මහතා මෙතැන රඟපෑ නළුනිළියන්ට මුදල් ගෙවලා තමයි ඇවිත් තියෙන්නේ. සම්පූර්ණ ව්‍යවස්ථා විරෝධි ස්ථාවර නියෝගවලට පටහැනිව තමයි ක්‍රියා කළේ. යෝජනාව හරියට කිව්වේ නැති නිසා තමයි සවස මෙවැනි ලිපියක් ජනාධිපතිට එවන්නේ. තමුන්නාන්සේලා පුළුවන් නම් අංගොඩ ගිහිල්ලා බලන්න ඇත්ත කරු ජයසූරිය මහතා එහෙ ඉන්නවාද කියලා. මොකද සිහි විකල්වූ කතානායකවරයෙක්ට පමණයි අද හැසිරුණු විදිහට පාර්ලිමේන්තුවේ හැසිරෙන්න පුළුවන්. එවැනි අයකුට පමණයි සම්මත වුණා යැයි කියන යෝජනාවක් ගැන ජනාධිපතිට දන්වන්න පුළුවන්. අද ඡන්දවලට බය අය තමයි ඔය ඡන්ද එපා කියන්නේ. එතැන සිටින එක් කණ්ඩායමක් එදා ඡන්දය දමන අයගේ අත් කැපුවා. එක් පිරිසක් මැතිවරණ සිතියම හකුළා දැම්මා. එල්.ටී.ටී.ඊ. එකේ න්‍යාය පත්‍රයට වැඩකරන අනෙක් අයත් මැතිවරණ විරුද්ධව සිටින අයයි. අපේ පැත්තේ සිටින්නේ සෑමදාම ඡන්ද ඕනේ කිව්ව අයයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර ප්‍රියදර්ශන මහතා... ව්‍යවස්ථාදායකයට අගැමැතිවරයෙක් පත් කරන්න බැහැ.ඒ කටයුත්ත කරන්න හැකිවන්නේ ජනාධිපතිට පමණයි. ජනාධිපතිවරයා නිකුත් කරන ගැසට් පත්‍රයක් පාර්ලිමේන්තුවට නීති විරෝධියි කියන්න බැහැ. ව්‍යවස්ථාදයකය, විධායකය හා අධිකරණය තිරිංග දමා තද කරන්නේ නැතිව තමයි අරගෙන යන්නේ. එය නැවතුණොත් ව්‍යවස්ථා අර්බුදයක් ඇති වෙනවා. ඒ නිසා කතානායකවරයා මේ දිගටම කරගෙන යන්නේ ව්‍යවස්ථාදායක අර්බුදයක් ඇති කරන්නයි. එතුමා කලින් අගමැති මහින්ද රාජපක්ෂ පත් කළා . පසුව එය පිළිගන්නේ නැහැ කිව්වා. අද නිර්ලජ්ජිත වැඩ කොටසක් සිදුකළා. වසර විසිපහක් පමණ තිස්සේ අපි පාරලිමේන්තුවේ මන්ත්‍රීවරුන් ලෙස අපි කටයුතු කරනවා. විශ්වාසභංග යෝජනා ඉදිරිපත් කරන ආකාරයක් තියෙනවා නමුත් අද සිදුවුණේ හරිම නිර්ලජ්ජිත ක්‍රියවක්. කිසිම සදාචාරාත්මක කතානායක වරයෙක් මේ ආකාරයට කටයුතු කරන්නේ නැහැ.

මේ අවස්ථාවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.බී. ඒකනායක මහතා ද එක්විය.


නව අදහස දක්වන්න