මැතිසබය උණුසුම් වෙයි | දිනමිණ

මැතිසබය උණුසුම් වෙයි

ස්වර්ණා විජේකෝන්, රෝෂන් තුෂාර, සුභාෂිණි සේනානායක

පාර්ලිමේන්තු සම්ප්‍රදාය , ස්ථාවර නියෝග හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාවට නීති විරෝධි ඡන්ද විමසීමක් සිදු නොකරන්නැයි ආණ්ඩු පක්ෂය කළ ඉල්ලීම කතානායකවරයා විසින්  ඉවත දැමීම හේතුවෙන් පාර්ලිමේන්තුව තුළ උණුසුම් වාතාවරණයක් ඊයේ (14) ඇති විය.

සෙංකෝලය අදාළ පීඨිකාවේ නොමැතිව වුව ද එය පිළි ගනිමින් ඡන්ද විමසීමක් කිරීමට තමන්ට හැකිබව පවසමින් කතානායකවරයා විශ්වාසභංග යෝජනාව වෙත ඡන්ද විමසීම සිදුකළ අතර එම ක්‍රියාවලිය නීති විරෝධි බව පවසමින් ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරු සභා ගැබ මැදට විත් විරෝධතාව පළ කළහ. මෙම අවස්ථාවේදී සභාව තුළ ඇතිවු උණුසුම් වාතාවරණය හේතුවෙන් වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සෙංකෝලය තැන්පත් කරන අදාළ පීඨිකාවෙන් රැගෙන කතානායක ආසනයට සමීපව සුරක්ෂිතව දෑතෙහි රඳවාගෙන සිටියේය.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග නොසළකා දිනට අදාළ න්‍යාය පත්‍රයේ කටයුතු වලට පරිබාහිරව ඊයේ (14) පාර්ලිමේන්තුවේ කටයුතු කරන ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතා කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළ අතර එම ඉල්ලීමෙන් පසු මෙම උණුසුම් තත්ත්වය ආරම්භ විය.

ස්ථාවර නියෝග අනුව සභාවේ කටයුතු සිදුකළ යුතු බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය නොකරන ලෙසත් සභානායක, ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදි කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සෙංකෝලය තැන්පත් කිරිමෙන් පසුව කතනායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ පෙරවරු 10.00 ට (14) රැස්විය.

කතානායකවරයාගේ නිවේදන ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අට වන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරයේ වාර අවසාන කිරිමේ නිවේදනය හා අනෙකුත් නිවේදන පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා විසින් සභාවට ඉදිරිපත් කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අගමැතිත්වයෙන් යුතුව ආණ්ඩු පක්ෂය ආණ්ඩු පක්ෂයෙන් අසුනු ගෙන සිටි අතර හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලු විපක්ෂයේ මන්ත්‍රි ඇතුලු එක්සත් ජාතික පෙරමුණු කණ්ඩායම විපක්ෂයේ අසුන් ගෙන සිටියහ.

විපක්ෂයේ මන්ත්‍රි කණ්ඩායම ප්‍රජාතන්ත්‍රවාදය උ‍දෙසා යනුවෙන් සදහන් කළ කලු පැහැති සාටක පැළද සිටියහ.

ඊයේ දින පාර්ලිමේන්තුවේ කටයුතු ආවරණය සඳහා දෙස් විදෙස් මාධ්‍යවේදීන් රැසක්ද පැමිණ සිටි අතර කතානායක ගැලරිය තුළ තානාපතිවරුන් ඇතුළු විදෙස් නියෝජිතයින් රැසක්ද දක්නට වූහ. එම විදෙස් නියෝජිතයින් විසින් පාර්ලිමේන්තුවේ ඇතිවූ උණුසුම් වාතාවරණය ජංගම දූරකථන ඔස්සේ ඡායාරූප ගත කරන අයුරුද දක්නට ලැබිණ.

කතානායකවරයා සිය නිවේදන ඉදිරිපත් කරන අතරතුර ආණ්ඩු පක්ෂයේ අසුන් ගෙන සිටි රාජ්‍ය ඇමැති පියසේන ගමගේ මහතා සහ පසුගියදා විපක්ෂයට එක් වූ මනුෂ නානායක්කාර මහතා සභා ගැබ මැදින් විපක්ෂයට ගොස් අසුන් ගත්හ.

ගයන්ත කරුණාතිලක මහතා විසින් තමන් පැළද සිටි කලු පැහැති සාටකය පියසේන ගමගේ මහතාට පලදවන අයුරු දක්නට ලැබිණි.

මෙම මන්ත්‍රිවරුන් සභා ගැබ මැදින් විපක්ෂයට යන අවස්ථාවේ සභාවේ ඔල්වරසන් හඩ මෙන්ම හූ හඩද අසන්නට ලැබිණි.

හූ හඩ පැතිරෙන්නට වූයෙන් කතානායකවරයා පාර්ලිමේන්තුවේ ‍ගෞරවය රකින මෙන් සියලු මන්ත්‍රිවරුන්ගෙන් ඉල්ලා සිටියහ.

කතානායක කරු ජයසූරිය මහතා සභාව අමතමින්

පාර්ලිමේන්තුවට අද සුවිශේෂි දිනයක් බවත්. රටේත් ජාත්‍යන්තරයේත් අවධානය යොමු වී ඇති මෙවැනි මොහොතක මන්ත්‍රිවරුන්ගේ පාර්ලිමේන්තුවේ ගෞරවයත් රටේ අභිමානයත් ආරක්ෂාවන පරිදි කටයුතු කරන ලෙසත් සියලු මන්ත්‍රිවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

යාපනය දිස්ත්‍රික් මන්ත්‍රි එම් ඒ සුමන්තිරන් මහතා

125 වන ස්ථාවර නියෝගය අත්හිටුවීමන් පාර්ලිමේන්තුව මෙහෙයවන ලෙස මා ඉල්ලා සිටිනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා (ජවිපෙ)

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අත්හිටුවීමේ යෝජනාව ස්ථිර කරනවා.

සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව කටයුකු කිරිම පාර්ලිමේන්තු සම්ප්‍රදායයි .අද දිනයේ පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට අනුව ජනාධිපතිවරයාගේ නිවේදන ඉදිරිපත් කිරිමෙන් පසුව පාර්ලිමේන්තුව කල් තැබීම කතානායකවරයා සිදු කළ යුතුයි.පාර්ලිමේන්තු ස්ථාවර නියෝග ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යටයි. සියල්ල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යටයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්නට ඔබටත් මටත් බැහැ. කතානායකවරයාටත් බැහැ. අද දිනයේ න්‍යාය පත්‍රයේ ‍මූලික කටයුතු දෙකට අමතරව කිසිවක් නැහැ. ඒ අනුව පාර්ලිමේන්තු සම්ප්‍රදාය හා ස්ථාවර නියෝග අනුව මෙවැනි යෝජනාවක් භාරගත හැක්කේ කල් තබන පාර්ලිමේන්ව නැවත රැස් කිරිමෙන් පසුවයි.

සභානායකවරයාගේ කතාව අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා යෝජනා පත්‍රයක් දිවගොස් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත භාර දෙනු දක්නට ලැබිණි.

සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා

විජිත හේරත් මන්ත්‍රීවරයා විසින් යෝජනාව භාර දුන්නේ දැන්.ඒ අනුව පැහැදිලියි යෝජනාවක් නොතිබූ බවට. මෙවැනි යෝජනාවක් භාර දුන්නොත් ඒ ගැන විවාදයක් හරි සාකච්ඡා කිරීමක් හරි ඡන්ද විමසීමක් හරි කළ හැක්කේ න්‍යාය පුස්තකයට ඇතුළත් කිරිමෙන් පසුවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා

සුමන්තිරන් මහතා ඉදිරිපත් කළේ ස්ථාවර නියෝග වලට අදාළ යෝජනාවයි. මම ඉදිරිපත් කරන්නේ විශ්වාසය කඩවීම පිළිබඳ යෝජනාවක්. ජනාධිපතිවරයා පාර්ලිමේන්තු විසුරුවා හැරීම, නව අගමැතිවරයකු පත්කිරිම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි. එමෙන්ම නීතිය ඉදිරියේ බල ශුන්‍ය කිසිදු වලංගු භාවයක් නොමැති අතර මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුව තුළ විශ්වාසය නොමැති බවට යෝජනාවක් මම ඉදිරිපත් කරන්නේ. පටලවා ගන්න එපා.‍මේ යෝජනා දෙකක්.

කතානායක කරූ ජයසූරිය මහතා

මේ යෝජනාවට සභාව එකඟද? බහුතරයක් එකඟ බව ‍පේනවා. ප්‍රජාතන්ත්‍රවාදය අනුව බහුතරයේ මතය පිළිගැනීමට මට සිදුවෙනවා.

ඇමැති විමල් වීරවංශ මහතා

විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කර ඒ සඳහා කටයුතු කිරීමට යම් කාලයක් ගත යුතුයි. එය ගෙනාපු දවසෙම ඡන්ද විමසීමක් සිදුකරන සම්ප්‍රදායක් නැහැ.මෙය පාර්ලිමේන්තු ස්ථාවර නියෝග උල්ලංඝණය කිරීමක්. නීති විරෝධි ක්‍රීයාවලියක්.

පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා

ඡන්දයක් ගන්න. ඡන්දයක් ගන්න.

කතානායකවරයා

බහුතරය එකඟයි. ඒ නිසා ඡන්දයක් ගන්නවා.

මේ අවස්ථාවේ අනුර කුමාර දිසානායක මහතා විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අදාළ යෝජනාව ස්ථිර කළේය.

මෙම අවස්ථාවේ ආණ්ඩු පක්ෂයේ මැති ඇමතවරු සභාව මැදට විත් විරෝධතාවය පළකළ අතර සෙංකෝලය අදාළ පීඨිකාවේ නොමැතිව ඡන්ද විමසීමක් කළ නොහැකි බවට දිගින් දිගටම ප්‍රකාශ කරන්නට විය.

වේත්‍රධාරි වරයා සෙංකෝලය අතැතිව කතානායකවරයාගේ වම් පසට ආසන්නව රැඳී සිටියේය.

කතානායක කරූ ජයසූරිය මහතා

සෙංකෝලය තිබෙනවා. එය මම පිළිගන්නවා. 143 යටතේ මට බලතල තිබෙනවා ඡන්ද විමසීමක් සිදුකරන්නට. සීනුව නාද කරන්න.

(එහෙත් සීනුව නාද කිරීමක් සිදු නොවීය.)

මෙම අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා කතානායක අසුන වෙත දුව ගොස් නමින් ඡන්දය විමසන ලෙස ඉල්ලා සිටියේය.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු මහලේකම්වරයා සීනුව නාද කිරීමක් හෝ නමින් ඡන්ද විමසීමක් සිදුකිරීමට සූදානම් බවක් ‍දක්නට නොලැබිණ.

කතානායක කරූ ජයසූරිය මහතා

කරුණාකර තම තමන්ගේ ආසන වලට යන්න . එසේ නැතිනම් හඬින් හා පෙනුමෙන් ඡන්ද විමසීම සිදුකරන්න මට වෙනවා.

මෙම අවස්ථාවේ දි විපක්ෂයේ මන්ත්‍රීවරු සියළු දෙනා නැගී සිටි අත්දෙකම ඔසවා ඡන්ද විමසීම ප්‍රකාශ ක‍රනු දක්නට ලැබිණ.ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු සභා ගැබ මැදම රැදී සිටිමින් විවිධ දෑ ප්‍රකාශ කරන්නට වූහ.

කතානායක කරූ ජයසූරිය මහතා

පාර්ලිමේන්තුවේ හඬ අනුව අගමැති වරයාට බහුතරයක් නොමැති බව ප්‍රකාශ කරනවා. පාර්ලිමේන්තුව හෙට කැඳවනවාද,26 කැඳවනවාද.එය සභාව විසින් තීරණය කරන්න.

පාර්ලිමේන්තුව අද පෙරවරු 10.00 ට කැඳවන බව නිවේදනය කළ කතානායකවරයා සභාව කල්තැබීමට පියවර ගත්තේය.


නව අදහස දක්වන්න