‘ගජ‘ නිසා උතුරු වෙරළාසන්න ජනතාවට අනතුරු ඇඟවීමක් | දිනමිණ

‘ගජ‘ නිසා උතුරු වෙරළාසන්න ජනතාවට අනතුරු ඇඟවීමක්

මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ‘ගජ‘ සුළි කුණාටුව ඉදිරි පැය 6 තුළ දී බටහිරට බරව, නිරිත දෙසට ගමන් කරමින් තවදුරටත් චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇතැයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපේක්‍ෂා කරනු ලැබේ. 
 
අනතුරුව මෙම පද්ධතිය අද (15) සවස් කාලයේ ශ්‍රී ලංකාවේ උතුරු වෙරළ තීරය ආසන්නයෙන් ගමන් කොට, දකුණු තමිල්නාඩු වෙරළ තීරයට ගමන් කරනු ඇති බවට කාලගුණ නිවේදනයේ දැක්වේ.
 
ඉහත පද්ධතියේ බලපෑම හේතුවෙන්, අද සවස් කාලයේ සිට උතුරු පළාතේ සුළඟේ වේගය හා වැසි තත්වයේ වැඩි වීමක් ආපේක්ෂා කෙරේ. මන්නාරම සිට කන්කසන්තුරේ දක්වා වන වෙරළ ආසන්න පහත් ගොඩබිම් ප්‍රදේශ මුහුදු ජලයෙන් යටවිය හැකිය.
 
උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි, නිවේදනයේ සඳහන් වේ. අනුරාධපුර හා පුත්තලම දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වීමට ඉඩ තිබේ. අද සවස් කාලයේ උතුරු පළාත හරහා හමන සුළඟේ වේගය පැයට කිලෝමීටර 80ත් 100ත් අතර විය හැකියි.
 
මධ්‍යම, සබරගමුව හා බස්නාහිර පළාත්වල ඇතැම් ප්‍රදේශවල උදෑසන කාලයේ දී මීදුම් තත්වයක් දැකිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
 

නව අදහස දක්වන්න