ඇගේ මාව­ත අත්හදා බැලීමයි | දිනමිණ

ඇගේ මාව­ත අත්හදා බැලීමයි

ආහාරපාන රසවත්ව පිළියෙළ කිරීම සෑම කාන්තාවකටම කළ නොහැකි කාර්යයකි. වර්තමානයේ දී ඕනෑම ආහාරයක් රසගැන්වීම සඳහා රසකාරක වර්ග වෙළෙඳපොළේ දැක ගැනීමට පුළුවන.ඒ හේතුවෙන් ලෙහෙසියෙන් පහසුවෙන් කෑම පිළියෙළ කිරීමට අපහසු නැත. එසේ වුවත් පනස් හත් හැවිරිදි සින්න ගෝවින්ද කනපති සෙල්ල පාපා අද වන විට පෝෂණ ගුණයත් රසයත් ආරක්ෂා කරමින් රස කාරක නොයැඳූ නිර්මාණශිලී ආහාර නිෂ්පාදන තුළින් සමාජයේ යහපත් ප්‍රතිරූපයක් ගොඩනඟා ගෙන ඇත.

"මම කෑම වර්ග හදන්න පටන් අරගත්තේ 2003 අවුරුද්දේ. මම හිතුවා මේ වගේ දෙයක් කරොත් අනාගත‍ය හොඳ වේවි කියලා. මම මේ ස්වයං රැකියාව පටන් ගත්ත කාලේ මේ වගේ දේවල් කරන අය අද කාලේ වගේ හිටියේ නෑ. දැන් නම් සෑම ප්‍රදේශයකම විවිධ කෑම වර්ග හදන අය ඉන්නවා."

මම ඉස්සර ඉඳන්ම කිසිම රස කාරකයක් දාන්නේ නැතුව තමයි කෑම හැදුවේ. විවිධ කෑම හඳලා අත්හදා බැලීම් කරලා තමයි මම හරි විදිහට කෑම හඳන්න පුරුදු වුණේ.මගේ සැමියා අවුරුදු 55 විතර කාලයක් මැහුම් ක්ෂේත්‍රයේ සිටින පුද්ගලයෙක්. ඒ වුණත් මම කෑම හදන්න කැමති වුණේ මගේ මම මේ ක්ෂේත්‍රයට වැඩිපුර කැමැත්තක් දක්වන නිසයි''

මම කරවිල,කොහිල,රාබු,නෙළුම් අල අමුවෙන් අච්චාරු හදනවා. ඒ වාගේම පොළොස්,කොහිල, ලූණූ පකෝඩා හදනවා. ඒ වගේ අලුතින් බයිට් වර්ග කිහිපයක් මම මේ වනවිට පාරිභෝගිකයින්ට හඳුන්වා දීලා තියෙනවා. අච්චාරු වර්ග ලොකු ජෑම් බෝතල්වලට දාලා තමයි අලෙවි කරන්නේ. මගේ ළඟ තිබෙන කෑම වර්ගවල අවම මිල ප්‍රමාණය 100-120 ක් අතර වෙනවා.

සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට දේශීය ආහාරවර්ග කොපමණ ගුණදායක වනවා ද? , අපතේ යන ආහාර වලින් නිර්මාණශිලී ලෙස ආහාර නිෂ්පාදනය කරන්නේ කෙසේ ද? යන්න පිළිබඳව සෙල්ල පාපා මනා අවබෝධයෙන් කටයුතු කරන්නී ය. සමාජයේ මෙතෙක් දැක තිබෙන සුපුරුදු ආහාර වෙනුවට ඇය නවීන ආහාර වර්ග සකසන්නේ අභියෝග හමුවේ නොසැලෙන කාන්තාවක් පරිදි ය.

මම සොයාගත් ආහාර නිෂ්පාදනයක් තමයි අල කොකිස් . කොකිස් 08 ක් පැකට් එකට දාලා

රුපියල් 100 කට තමයි විකුණන්ණේ. මට මේ හැම දේකටම උදව් කරන්නේ මගේ දරුවොයි, ලේලීලයි. මේ ස්වයං රැකියාවට කැපවීම කියන දේ අනිවාර්යයෙන් තියෙන්න ඕනේ. ආවට ගියාට කෑම හදන්න බැහැ. බොහොම පරිස්සමෙන් තමයි කෑම හදන්න ඕන. අද කෑම වර්ගයක් හදලා , ඔක්කොම ටික එදාම අලෙවි කරන්න බැහැ. ටිකෙන් ටික අත්හදා බලලා කලබළවෙන්නේ නැතුව තමයි කෑම හදන්න ඕනේ.

මගේ කෑමවලට රසකාරක දාලා නැති ‍වුණත් නරක් වෙන්නේ නෑ. මම මගේ පාරිභෝගිකයින්ට කියන්නේ තෙත හැඳිවලින් ආහාර අර ගන්නේ නැතිව වියළි හැන්දක් භාවිතා කරන්න කියලයි. එතකොට නරක් වෙන්නේ නෑ. මම පෞද්ගලික සමිති සමාගම්වලින් මුදල් ගන්නවා.මම ඉදිරියේ දී ගොඩාක් ආහාර වර්ග නිෂ්පාදනය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මට නව ආහාර නිෂ්පාදන දැකලා රජයෙන් මට මූල්‍යමය ආධාරයක් කරනවා නම් මට පුළුවන් තව පස් දෙනෙකුට රැකියා අවස්ථාවන් ලබා දෙන්න.

මුදලක් අය කරගන්නේ නැතුව වුණත් මම ආහාර වර්ග සැකසීම පිළිබඳව දන්නේ නැති කෙනෙකුට කියලා දෙනවා. හැබැයි ඉගෙන ගත්තට පස්සේ නිකං ගෙවල්වලට වෙලා ඉඳලා හරියන්නේ නැහැ. වැරදියට හරි මුලදී හදන්න පටන් ගන්න ඕනේ. කම්මැලිව නිවසට වී කාලය ගත කරන සෑම කාන්තාවකටම සෙල්ල පාපා ආදර්ශයක් සපයන්නේ ප්‍රායෝගික ක්‍රියාකලාපයන් තුළිනි.

අපි වගේ කුඩා ස්වයං ව්‍යාපාරකයින්ගේ ආහාර වර්ග හදන බඩු වර්ග මිලෙන් අධිකයි.භාණ්ඩ මිලෙන් වැඩි වුණහම මිනිස්සු ස්වයං ව්‍යාපාරය අතරමඟ නතර කරනවා. අපි වගේ කාන්තාවන්ට රජයෙන් සහනයක් ලබා දෙනවනම් බොහෝම හොඳයි. මම දියතේ, සෙත්සිරිපායේ ප්‍රදර්ශනවලට යනවා. ඒ ස්ථානවලදී අපට අලුත් පාරිභෝගිකයින් හමුවන්නට පුළුවන්. ගොඩාක් ප්‍රදේශවල කිරි අපතේ යනවා. මම ඒ අපතේ යන කිරිවලට විසඳුමක් ලෙස පන්නීර් හැඳුවා. ඒ වාගේම මෝරු, එළඟිතෙල් හදන්න පුළුවන්.

මම අවුරුදු 08 ඉඳන් තමයි කෑම හදන්න ආශා වුණේ . එදා ඉඳන් අද වෙනකම්ම හදන කිසිම කෑමකට සුප්කැටයක්වත් දාලා නැහැ. ඇය අවසන් වරට ප්‍රකාශ කළේ වර්තමානයේ සමාජයේ සෑම කාන්තාවකටම මුළු ජීවිත කාලය පුරාව‍ටම මතක තබා ගත හැකි අපූරු පාඩමකි.

සටහන- මදාරා මුදලිගේ


නව අදහස දක්වන්න