නෙස්ලේ තෙවැනි කිරි ශීතා­ගා­රය මන්නා­රමට | දිනමිණ

නෙස්ලේ තෙවැනි කිරි ශීතා­ගා­රය මන්නා­රමට

ප්‍රදේශවාසී කිරි ගෙවිළියන් සවිබල ගැන්වීමේ විශිෂ්ට පියවරක් මෙරට තුළ කිරි ආශ්‍රිත නිෂ්පාදන සංවර්ධනයෙහිලා තම ශක්තිමත් දායකත්වය තවදුරටත් ක්‍රියාත්මක කරමින් නෙස්ලේ සමාගම සිය තෙවැනි කිරි ශීතාගාරය මන්නාරම දිස්ත්‍රික්කයේ උතුරු මඩු ප්‍රදේශයේදී පසුගියදා විවෘත කළේය. ශ්‍රී ලංකාව ඝර්ම කලාපීය රටක්වන බැවින් කිරි ශීතාගාර පැවතීම අතිශය වැදගත්වන අතර රැස්කරගන්නා කිරි කුරුණෑගල පිහිටි නෙස්ලේ කර්මාන්තශාලාව වෙත ගෙන යන තෙක් නැවුම්ව තබාගැනීමට මෙම ශීතාගාර උපකාරී වේ. මෙම ව්‍යාපෘතිය, දැනට ශ්‍රී ලංකාවේ කිරි ගොවීන් 20,000කට පමණ සහාය දක්වන දිවයින පුරා නෙස්ලේහි පුළුල් කිරි එකතුකිරීමේ ජාලයේ දිගුවක් ලෙස සඳහන් කළ හැක.

මෙම නව ශීතාගාරය මඩු ප්‍රදේශයේ වෙසෙන කිරි ගොවීන් 300 දෙනෙකුට පමණ නිසි වෙළෙඳපොළක් බිහිකරදෙමින් ප්‍රතිලාභ සලසා දෙන අතර ඔවුන්ගෙන් වැඩිදෙනා කාන්තාවන් වීම කැපීපෙනේ. “අපි දේශීය කිරි ගොවීන් හා දිගින් දිගටම එක්ව කටයුතු කරන නිසාත්, උසස් ප්‍රමිතියේ කිරි නිෂ්පාදනය සඳහා අවශ්‍ය පුහුණුව සහ සම්පත් ඔවුන්ට සපයන නිසාත් අපගේ කිරි සැපයුම් ජාලයේ වර්ධනයට සමගාමීව අපගේ කිරි නිෂ්පාදන ධාරිතාව වැඩිදියුණු කිරීමටත් පියවර ගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය ස්වයංපෝෂිත කිරීම සඳහා දායකවීමට ආරම්භයේ සිට මේ දක්වා අපි දිගු ගමනක් පැමිණ තිබෙනවා. ඒ තුළ අද වන විට උසස් ප්‍රමිතියේ කිරි දේශීය කිරි ගොවීන්ගෙන් ලබාගැනීමට අපට හැකිවීමත් මහත් සතුටක්. ඒ වගේම දේශීය ශ්‍රම බලකාය තුළ කාන්තා දායකත්වයේ වර්ධනය අවශ්‍යම මොහොතක අපගේ කිරි ගොවි ජාලයේ සියයට 30 පමණ දෙනා කාන්තාවන් වීමත් අපට විශාල අභිමානයක්. දියුණු සහ සැමගේ සහභාගීත්වයෙන් දේශීය කිරි කර්මාන්තයක් සංවර්ධනය කිරීම මඟින් උසස් ප්‍රමිතියේ කිරි නිෂ්පාදන සාධාරණ මිලකට අපිට වෙළෙඳපොළට නිකුත් කිරීමට හැකිවෙනවා වගේම ග්‍රාමීය සංවර්ධනය හා ආර්ථික වර්ධනය අත්කරගැනීමට එය ගාමක ශක්තියක් බවටත් පත්වනවා” යනුවෙන් නෙස්ලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ෂිවානි හෙග්ඬේ මහත්මිය පැවසුවාය.

නව අදහස දක්වන්න