විසැඳුම ඡන්දය යි! | දිනමිණ

විසැඳුම ඡන්දය යි!

රටේ දේශපාලන තත්ත්වය තවදුරටත් උණුසුම් ය. පාර්ලිමේන්තුව පවත්වාගෙන යනු ලබන්නේ ද යම් කලබලකාරී පසුබිමක් යටතේ ය. මහජන අභිමතයට අනුව ගොඩනැඟුණු ශක්තිමත් හා ස්ථාවර ආණ්ඩුවක් රටට අවශ්‍ය බව ඉන් කියැවෙයි. එබඳු ආණ්ඩුවක් පිහිටුවා ගැනීම සඳහා ඇති එක ම ක්‍රමවේදය මහ මැතිවරණයක් පැවැත්වීම ය. රටේ බොහෝ පාර්ශ්ව වෙතින් මැතිවරණයක් පිළිබඳ යෝජනාව ඉදිරිපත් වී ඇත. ආගමික නායකයන්, විද්වතුන් මෙන් ම මහජනයාගෙන් බහුතරය ද මැතිවරණයක් පැවැත්වීමට එකඟ බව නිරීක්ෂණවලින් තවදුරටත් පැහැදිලි වෙයි. එය පවත්නා දේශපාලන අර්බුදය නිරාකරණය කරගැනීමට අදාළ උපායමාර්ගයක් ද වන්නේ ය.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පාර්ලිමේන්තුව තුළදී ඉදිරිපත් කළ විශේෂ ප්‍රකාශයෙන් කියැවෙන්නේ ද මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා සියලු පක්ෂවල සහයෝගය ලැබිය යුතුය යන්න ය. පවත්නා දේශපාලන අර්බුදයෙන් ගොඩ යා හැකි වෙනත් විකල්පයක් නැති බව ද රාජපක්ෂ මහතාගේ මතය වෙයි. ජනතාවගේ ඉල්ලීම වන්නේ ද මහ මැතිවරණයක් බව පැහැදිලි ය. ජනාධිපතිවරයාගේ ආධ්‍යාසය වී ඇත්තේ ද මැතිවරණයක් පවත්වා ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවීම ය. එයට බාධාවක් එල්ල වූයේ ජනාධිපතිවරයාගේ තීරණ අභියෝගයට ලක්කරමින් කණ්ඩායම් කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යෑම නිසා ය.

පැවැති ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය පුරවැසි සමාජවල දැඩි විවේචනයට ලක්වූ බව සත්‍යයෙකි. ජීවන බර දිනෙන් - දින ඉහළ ගියේය. තෙල් මිල සූත්‍රය මහජනයා දැඩි පීඩනයකට ලක්කළ ආර්ථික උපායමාර්ගයක් සේ හඳුන්වා දිය හැකි ය. එම සූත්‍රයට අනුව සෑම මාසයක ම දහවනදාට තෙල් මිල සංශෝධනය විය. බහුල ලෙසින් සිදුවූයේ මිල ඉහළ දැමීම ය. ඉන්ධන මිල ජාතික ආර්ථිකයේ ද, කුටුම්භ ආර්ථිකයේ ද බලපෑම්කාරී සාධකයකි. ඕනෑම ආණ්ඩුවක් එය කල්පනාකාරී ව හැසිරවිය යුතුය. මේ හැරෙන්නට ජනතාව වෙත පැටවුණු බදු බර පැවැති ආණ්ඩුවේ කඩාවැටීමට බලපෑ ප්‍රධාන සාධකයක් ද වන්නේ ය.

අපේ රටේ මහජනයාගේ චින්තනයට අනුව බටහිරකරණයට එහි ඉඩක් නැත. ජාතියේ උරුමය, ප්‍රෞඪ ශිෂ්ටාචාරය හා නිදහස පිළිබඳ සංකල්පයට ද අනුව බටහිරකරණය හා විජාතිකකරණය දැඩි ලෙස ප්‍රතික්ෂේප වෙයි. එහෙත් පැවැති රජය එය වටහාගත් බවක් පෙනෙන්නට තිබුණේ නැත. පසුගිය කාලය තුළ අස්සන් තැබුණු හා අස්සන් තැබීමට නියමිත වූ ද්විපාර්ශ්වික වෙළෙඳ ගිවිසුම් දෙස බලන විට ඒ තත්ත්වය හොඳින් තහවුරු වෙයි. රටේ වෘත්තීය සමිති මෙන් ම පොදු මහජනතාව ද ඊට එරෙහි ව විරෝධතා පැවැත්වූහ. එලෙස ම ගිය ආණ්ඩුවේ විදේශ ණය බර ඩො. බිලියන විසිඑකක් බව මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය විශේෂ ප්‍රකාශයෙන් දක්වන අදහස්වලට අනුව අපේ ආර්ථික ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ගවල පැහැදිලි වෙනසක් ඇතිවිය යුතුය. විශේෂයෙන් පොදු ජනයාට පීඩාවක් නො වන අයුරින් ආර්ථිකය හැසිරවීමට නායකයන් ක්‍රියා කළ යුතු ය. තෙල් මිල තවදුරටත් අඩු කළ යුතු බව ද රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ ය. පැවැති ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිවල මෙන් ම ඒවායෙහි ක්‍රියාකාරීත්වයේ ද ගැටලුකාරී බවක් තිබිණි. ආර්ථිකයට අදාළ තීරණවලදී අගමැතිවරයා හා ජනාධිපතිවරයා මත දෙකක සිට කටයුතු කර ඇති බව ද පැහැදිලි ය. එලෙස ජාතික ආර්ථිකයක් හැසිරවීම අපහසු ය.

ආර්ථික කළමනාකරණයේ අවුල මෙන් ම අධික බදු බර පැවැති ආණ්ඩුව පිරිහීමට බලපෑ ප්‍රධාන සාධක දෙකක් ලෙස පෙන්වා දිය හැකි ය. මේ තත්ත්වය යටතේ වික්‍රමසිංහ ආණ්ඩුව සමාජයේ දැඩි විවේචනයට ලක්විය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ මහජනයා මැතිවරණයක් ඉල්ලා සිටින තැනකට තල්ලු වීමය. මැතිවරණ කල්තැබීම පිළිබඳ චෝදනාවක් ද ගිය ආණ්ඩුවට තිබේ. පළාත් පාලන ආයතන සඳහා ඡන්දය පැවැත්වූයේ නියමිත කාලය ඉක්මවා මහජන උද්ඝෝෂණ ද ඇති වූ පසුව ය. පළාත් සභා හයක් විසිරුවා ඇතත්; තව ම ඡන්ද පවත්වා නැත. මේවා මහජන නොසන්සුන්තාවට හේතු ලෙස දැක්විය හැකි ය.

රටේ දැන් පවතින දේශපාලන අවුල සංකීර්ණ ‍හේතු - සාධක ගණනාවක් මත ඇති වූ දෙයක් ලෙස සැලැකිය හැකි ය. ඒ අතර ආර්ථික පසුබෑම ප්‍රධාන කරුණක් බව පැහැදිලිය. රුපියලේ අගය පිරිහීමට විසැඳුම් ලබාදීමේ දී ගිය ආණ්ඩුව සාර්ථක වූයේ නැත. මේ හැරෙන්නට දේශීය කර්මාන්ත ශීඝ්‍රයෙන් පිරිහෙන්නට පටන් ගත්තේය. අපනයන ක්ෂේත්‍රය දුර්වල විය. විදේශ විනිමය ඉපැයීම් පසුබෑමට ලක්විය. ශීඝ්‍ර සංවර්ධනයක් අපේක්ෂා කරන රටකට මේ අයුරින් ආර්ථිකය පවත්වාගෙන යෑම බරපතළ තත්ත්වයකි. ජනාධිපතිවරයා සියල්ල සැලැකිල්ලට ගෙන තීන්දු ගෙන ඇතැ’යි සිතීම තාර්කික ය.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ ජනාධිපතිවරයා අන්තර්කාලීන ආණ්ඩුවක් පත්කර ඇති බව ය. ඒ මැතිවරණයකින් පසු ස්ථාවර ආණ්ඩුවක් පත්කරනතුරු රජය පවත්වා ගැනීම සඳහා ය. අන්තර්කාලීන ආණ්ඩුවේ වගකීම වන්නේ මහජන අභිමතයට අනුව ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවකාශ සැලැසීමත් ය. ජනතාවගේ ජීවන බර අඩු කිරීම සඳහා පියවර ගැනීමත් යැයි කිව හැකි ය. ඒ අනුව මැතිවරණයක් පැවැත්වීම සඳහා සහාය ලබා දෙන්නැ’යි අගමැතිවරයා සෙසු පක්ෂවලින් ඉල්ලා සිටියේය. එලෙස ම ජනතාවගේ ආර්ථික පීඩනය අවම කිරීම සඳහා පියවර ගණනාවක් ද ගත්තේ ය. එය සාධනීය තත්ත්වයකි.

අපේ රටට පළමුව අවශ්‍ය වන්නේ ‍සාමකාමී හා ශීලාචාර දේශපාලන පසුබිමකි. දෙවනුව අවශ්‍ය වන්නේ ශක්තිමත් ස්ථාවර ආණ්ඩුවකි. තෙවනුව අවශ්‍ය වන්නේ ආර්ථිකය හා සමාජය ගොඩනඟන ප්‍රතිපත්ති හා සැලැසුම් ය. මේ සියල්ල ගොඩනැගිය හැක්කේ අලුත් ප්‍රවේශයක් ඔස්සේ ය. අලුත් ප්‍රවේශය නම්; මහ මැතිවරණය යි. මහ මැතිවරණයකින් බලයට පත්වන ආණ්ඩුවකට කිසිවකුට අභියෝග කළ නො හැකි ය. එය මහජන ආණ්ඩුවක් බැවිනි. මහජනයා ඉදිරියට යෑමට දේශපාලකයන් බිය විය යුතු නැත. මහජනයා නියම තීන්දුව ලබා දෙනු ඇත. එවිට බල තරගයක් ඇති නොවේ.

 

නව අදහස දක්වන්න