අගමැතිට - ආණ්ඩුවට එරෙහිව ගෙනෙන විශ්වාසභංගට මුහුණ දෙන්න සූදානම් | දිනමිණ

අගමැතිට - ආණ්ඩුවට එරෙහිව ගෙනෙන විශ්වාසභංගට මුහුණ දෙන්න සූදානම්

සමන්මලී ප්‍රියශාන්ති

විපක්ෂ කණ්ඩායම අගමැතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව නීත්‍යානුකූලව ගෙනෙන විශ්වාසභංග යෝජනාවට මුහුණ දීමට සුදානම් නමුත් කතානායකවරයා ආඥාදායකයකු, ඒකාධිපතිවරයකු ලෙස බහුතරය විමසීමට ගන්නා උත්සාහයට කිසිසේත් ඉඩ නොතබන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහා මර්ග හා මාර්ග සංවර්ධන ඇමැති එස්.බී.දිසානායක මහතා ප්‍රකාශ කෙළේය.

ඇමැතිවරයා හෙතෙම මේ අදහස් පළ කෙළේ මඟනැඟුම මහ මැඳුරේදී පැවැති මාධ්‍ය හමුවකට ඊයේ (15) සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමැතිවරයා මෙසේ ද පැවසිය.

තමන්ට නැති බලයක් හිමි කර ගනිමින් ඒකපාර්ශිකව තීන්දු තීරණ ගැනීමට කතානායකවරයා කටයුතු කිරීම නිසා පාර්ලිමේන්තුව හා රට තුළ දේශපාලන ගැටලුවක් නිර්මාණය වී තිබේනවා. මෙම ගැටලුවට ශ්‍රේෂ්ඨාධිකරණය දෙසැම්බර් 7 වැනිදා සාධාරණ විසඳුමක් ලබා දෙනු ඇති බව විශ්වාස කරනවා.

කතානායකවරයා ඊයේ පාර්ලිමේන්තුවට ආවේ වියරු වේශයකින් කියලා හිතෙනවා. එතුමා මානසික ආබාධයකින් ද ආවේ කියලා සැක හිතෙනවා. එතුමා පාර්ලිමේන්තුවට පැමිණි විගස අගමැතිවරයාව, ආණ්ඩුව, ඇමැතිවරු පිළිගන්නේ නැහැ කියලා පවසලා, දැන් මහින්ද රාජපක්ෂ මහතාට තමන්ගේ කතාව කරන්න කියලා කිව්වා.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 අනුව පාර්ලිමේන්තු කටයුතු සිදු කළ යුතු අනුපිළිවෙළක් දක්වා තිබෙනවා. එහි අංක එක වන්නේ අලුතින් මන්ත්‍රීවරයකු පැමිණියේ නම් දිවුරුම් ලබා දීමයි. අංක දෙක යටතේ ජනාධිපතිවරයාගේ සංදේශ කියවීමයි. අංක තුන කතානායකවරයාගේ කියවීමයි. අංක හතර ලිපි ලේඛන ඉදිරිපත් කිරීමයි.

කතානායකවරයා පෙරේදා ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරලා තිබුණා. ජනාධිපතිතුමාත් කතානායකවරයාගේ ලිපියේ කරුණු සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරලා ලිපියක් කතානායකවරයාට යවලා තිබුණා. ඒ ලිපිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර ඒ කිසිම දෙයක් ගැන අවධානය යොමු නොකර කතානායකවරයා මහින්ද රාජපක්ෂ මහතාගේ කතාව ඉදිරිපත් කරන්න කියලා කිව්වා. ඒ කතාවෙන් පස්සේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ කතාවට ඡන්දයක් ගන්න කියලා ලක්ෂ්මන් කිරිඇල්ල මහතා යෝජනාවක් කළා. මහින්ද රාජපක්ෂ මහතාව අගමැතිවරයා වශයෙන් පිළිගන්න එකට ඡන්දයක් තිබ්බා නම් ඒකට පිළිගැනීමක් තිබෙනවා. නමුත් අගමැතිතුමාගේ කතාවට ඡන්දයක් ගන්න හැදුවේ. මේ නිසා විශාල ප්‍රශ්නයක් පාර්ලිමේන්තුවේ සිදු වුණා. ගුටි බැට හුවමාරුවක් ද සිදු වුණා. තුන් හතර දෙනකුට තුවාල වුණා. විපක්ෂයේ මන්ත්‍රීවරු දෙදෙනක් පිහි දෙකක් ගෙනත් තිබුණා. දිලුම් අමුණුගම, ජයන්ත මන්ත්‍රීවරු තුවාල වුණා.

අවුරුදු තුනහමාරක් පැවැති ඒ ආණ්ඩුවේ දුෂණ, රාජ්‍ය දේපොළ විකිණීමට දක්වන කැමැත්ත, මහ බැංකු මංකොල්ලය, ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය මේ වැනි කරුණු මෙන්ම රටේ ආර්ථික කඩා වැටීම, ජීවන වියදම ඉහළ යාම, රුපියල කඩා වැටීම, බදු බරින් ජනතාවගේ ගෙළ සිර කිරීම, ජාතික ආර්ථික සභාව සම්පුර්ණයෙන්ම හිතා මතා අකර්මණ්‍ය කිරීම වැනි කරුණු අවබෝධ වීමෙන් පසු ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කර දමනවා. ජාතික ආණ්ඩුවෙන් සන්ධානය ඉවත් වීමත් සමඟ 49 කැබිනට්ටුව අකර්මණ්‍ය වුණා. ඒ අනුව අපි දන්නවා අගමැති හා කැබිනට් මණ්ඩලය අහෝසි වෙනවා. ඒ සමඟ ජනාධිපතිවරයාට නව අගමැතිවරයෙක් හා නව ආණ්ඩුවක් පත් කරන්න හැකියාව ලැබෙනවා. ඒ අනුව අපි අලුත් ආණ්ඩුවක් හැදුවා. මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ලෙස පත් වුණා.

ජාතික ආණ්ඩුව අහෝසි වු විට කැබිනට් මණ්ඩලය හා අගමැතිවරයා ඉවත් වීමෙන් හා ජනාධිපතිවරයා ලිපියක් මඟින් ඉවත් කිරීමෙන් යන දෙආකාරයෙන්ම මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතාව ආකාර දෙකකින් ඉවත් කරනු ලැබෙනවා. මේ දෙකම ව්‍යවස්ථානුකූලයි. මේවා වැරදියි ව්‍යවස්ථා විරෝධී කියලා උසාවි ගියේ නැහැ. මේ අතරේ අලුත් ආණ්ඩුවක් හැදුවට පසු මන්ත්‍රීවරු එහාට මෙහාට යන්න සල්ලි එහාට මෙහාට හුවමාරු වෙන්න ගත්තා. මමත් ඒ මන්ත්‍රීවරු ගැනීමේ ව්‍යාපාරයේ සිටියා. නමුත් අපි එක සත පහක් දෙන්න කතා කෙළේ නැහැ. නමුත් මන්ත්‍රීවරු වෙන්දේසීයේ විකිණෙන තත්ත්වයක් මතු වුණා. ඒ තත්ත්වය රටට, පාර්ලිමේන්තුවට, ප්‍රජාතන්ත්‍රවාදයට හොඳ නැහැ. මේ ගැන දැඩි කම්පාවකින් ජනාධිපතිවරයා සිටියේ. ඒ අනුව අලුත් නාඩගමක් කතානායකවරයා නටන්න ගත්තා. 113 පෙන්වන්න ඕනේ කිව්වා. එදා 41 ක් පමණක් සිටියදී රනිල්ව අගමැති කළා. 161 ක් තිබුණ දී.මූ ජයරත්න මහතාව ඉවත් කළා. එදා 113 පෙන්නන්න කියලා කතානායකවරයා කිසිවෙකුට අභියෝග කළේ නැහැ. ඒ වගේම 2005 දී චන්ද්‍රිකා මැතිණිය මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙස පත් කළ විට ආසන 105 ක් තිබුණා. එදා ආණ්ඩුව තිබුණ වුවත් කතානායකවරයා තෝරන විට ආණ්ඩුව ඉදිරිපත් කළ ඩිව් ගුණසේකර නෙවෙයි තේරුනේ. විපක්ෂයෙන් ඉදිරිපත් කළ වි.ජ.මු ලොකුබණ්ඩාර මහතාවයි. එදා මහින්දගෙන් ඇහැවේ නැහැ 113 කෝ කියලා. අගමැතිවරයාට නව ආණ්ඩුවට විරුද්ධව නීත්‍යනුකූලව ගෙනෙන දෝෂාභියෝගයකට අපි මුහුණ දෙනවා. එය කතානායකවරයාට බාර දීමෙන් පසු න්‍යාය පුස්තකයකට දාලා අවම දවස් 5 ක් තියන්න ඕනේ. පසුව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කමිටුව රැස් වෙලා ඒ ගැන දින නියම කරලා, විවාද කරන්න අවශ්‍යයි.

එහිදී ඒ අය ජයග්‍රහණය කළොත් අගමැතිවරයා ඉවත් වෙනවා. නැවත අගමැතිවරයකු පත් කිරීම ජනාධිපතිවරයා වෙත පැවරෙනවා. එහිදී කිසිසේත් රනිල් වික්‍රමසිංහට හෝ අකිල විරාජ් කාරියවසම් පත් කරන්න කියලා කාටවත් කියන්න බැහැ. බහුතර කැමැත්ත කාටද කියලා ජනාධිපතිවරයා තීරණය කරලා අගමැතිවරයා පත් කරනවා. නමුත් මේ කතානායකවරයා නැති බලයක් අරගෙන කටයුතු කරනවා. මෙය විශාල අර්බුදයක් දක්වා යන නිසා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. මේකට පක්ෂ 10 ක් අභියෝග කළා. ශ්‍රේෂ්ඨාධිකරණයේදී නීතිපති කිව්වා මේවා නොසලකා හරින්න කියලා. නමුත් අග්‍රවිනිශ්චකාරවරයා එසේ කෙළේ නැහැ. එය විභාග කරන්න තීරණය කළ එක හොඳයි. සයිටම් ළමයින්ගේ ප්‍රශ්නයේදීත් ශ්‍රේෂ්ඨාධිකරණය දීර්ඝ කාලයක් අර ගෙන දරුවන්ට සාධාරණ වෙන විසඳුමක් දුන්නා. නමුත් පාර්ලිමේන්තුව විසුරුවාලීම සම්බන්ධයෙන් වු නඩුව ගැන දුන්න තීන්දුව රනිල් වික්‍රමසිංහ මහතා සහ කතානායකවරයා, එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පිරිසක් බාර ගෙන තිබෙන්නේ අගමැතිවරයා ඉවරයි ආණ්ඩුව ඉවරයි කියලා. මේ මානසික පිස්සුවක්. ඒ නිසා අපි ශ්‍රේෂ්ඨාධිකරණය මීට වඩා පුළුල් විනිශ්චකාර මණ්ඩලයක් සමඟ මේ පිළිබඳ සාධාරණ තීන්දුවක් 7 වැනිදා දෙයි කියලා හිතනවා. ජනාධිපතිතුමා කෙළේ 225 කට විසදගන්න බැරි ගැටලුව විසදන්න මේ රටේ ලක්ෂ එකසිය පනහකට අධික පිරිසකට බාර දීමයි. එය නීති විරෝධී කියලා ශ්‍රේෂ්ඨාධිකරණය කියනු ඇතැයි විශ්වාස කරන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගයට පාර්ලිමේන්තුවත් ඇතුල් කළා නම් අද මතු වු ගැටුම් ඇති නොවෙන්න තිබුණා. එය අපේ නීතිඥවරුන්ට අතපසු වෙන්න ඇති. ඒ නිසා පාර්ලිමේන්තුව අර්බුදයක් මෙන්ම විසදා ගත නොහැකි ගැටලුවක් මතු වෙලා තිබෙනවා. කතානායකවරයා මේ ගැටලුව විසදන්න නොවෙයි තවත් අවුල් කරන්නට කටයුතු කළා. මේ විදිහට යන්න බැහැ.

පාර්ලිමේන්තුවේ මේ හැසිරීම ගැන කණගාටුවක් දුකක් තිබෙනවා. මන්ත්‍රීවරු ලේ පෙරාගෙන, මරා ගෙන සත්තු වගේ හැසිරීම අපි අනුමත කරන්නේ නැහැ.

මේ විශ්වාසභංගය ගෙන්නේ මේ රටේ වසර තිහක් පැවැති යුද්ධය නිම කරලා ලක්ෂ ගණනක ජනතාවට නිදහසේ බියෙන් සැකෙන් තොරව ජීවත් වීමට ඉඩ ප්‍රස්ථාව ලබා දුන් රාජ්‍ය නායකයෙකුට එරෙහිවයි. පසුගිය පළාත් පාලන ඡන්දයේදී අලුත් පක්ෂයක් බිහි කරගෙන කටයුතු කරනවා. අපි ශ්‍රි ලංකා නිදහස් පක්ෂය හා පොදු ජන පෙරමුණ එක්ව සියයට 60 කට එහා ගිය ජනවරමක් ලබා ගන්න කටයුතු කරනවා. ගියවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඡන්දවලින් සියයට 95 ක් ගියේ පොදුජන පෙරමුණටයි. ඒ ඡන්ද දුන්නේ මහින්ද රාජපක්ෂ මහතාටයි. පළමු වතාවට ලංකා ඉතිහාසයේ සුළු ජාතික ඡන්ද 2015 දී මෛත්‍රීපාල සිරිසේන මහතා විශ්වාස කරලා උතුරු නැඟෙනහිර ඇතුළුව ඡන්දය දුන්නා. ඒ නිසා අපිට සියයට 60 ට එහා යන්න පුළුවන්. මේ රටේ ජනතාවට විශ්වාස කළ හැකි එකම සන්ධානය තමයි මහින්ද -මෛත්‍රී එකතු වුණු සන්ධානය. ඒ නිසා මේ රටේ ජනතාවට අවශ්‍යතාවක් ලබෙයි අලුත් කණ්ඩායමක් තෝරා ගන්න. අපි ඡන්දයට මුහුණ දෙන්න බිය නැහැ. අපට අනෙකුත් සියලු පක්ෂවල සහය ලැබෙනවා. ඒ අනුව අපි පාර්ලිමේන්තුවේ 125 කට වැඩි බහුතරයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබා ගන්නවා.

අගමැතිවරයාට එරෙහිව විශ්වාස භංගයක් ගෙන ආවට ගැටලුවක් නැහැ. අපි දන්වා ටී.එන්.ඒ පිරිසක්, රිෂාඩ් බදියුදීන්ගේ පිරිසක්, මුස්ලිම් ක්‍රොංගසයේ පිරිසක් මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධව ඡන්දය දෙන්නේ නැහැ. ඒ නිසා විශ්වාසභංගය ජය ගැනීම ගැන ගැටලුවක් අපිට නැහැ යැයි හේ කීවේය.

ඡායාරූපය - දුෂ්මන්ත මායාදුන්න

නව අදහස දක්වන්න