ජනපතිගේ ආරාධනයෙන් අගමැති ධුරය බාර ගත්තා | දිනමිණ

ජනපතිගේ ආරාධනයෙන් අගමැති ධුරය බාර ගත්තා

ස්වර්ණා විජේකෝන්
රෝෂන් තුෂාර
මහින්ද අලුත්ගෙදර

උදාවන්නට ගිය අභාග්‍ය සම්පන්න තත්ත්වයෙන් මාතෘභූමිය මුදාගැනීම සඳහා ජනාධිපතිවරයාගේ ආරාධනයට අනුව තමා අග්‍රාමාත්‍ය ධුරයේ වගකීම බාරගත් බව විශේෂ ප්‍රකාශයක් කරමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (15) අවධාරණය කළේය.

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව පැවැති ආණ්ඩුව වසර හතරකට ආසන්න කාලයක් බලයේ සිටි අතර, තවත් වසරක පමණ කාලයක් ඔවුනට ඉතිරිව තිබූ බව පෙන්වා දුන් ඒ මහතා එම කාලය ද ඉදිරියට යාමට ඉඩදෙන්නට තිබූ නමුත් රටට සිදුවීමට ගිය මහා විපත්තිදායක තත්ත්වයෙන් මුදාගැනීම සඳහා තම යුතුකම ඉටු කරන බව ද පැවැසීය.

පැවැති ආණ්ඩුවට රටේ ප්‍රශ්න විසඳීමට නොහැකි බවට අවබෝධ වූ හෙයින් ජනාධිපතිවරයා තමාට රට බාර ගන්නා ලෙස ආරාධනා කළ බව ද ඒ අනුව තමා අගමැතිවරයා වශයෙන් දිවුරුම් දුන් ගමන් රටපුරා නව බලාපොරොත්තු සහගත හැඟීමක් ජනිත වූ බව ද අගමැතිවරයා පෙන්වා දුන්නේය.

එහි දී වැඩි දුරටත් පාර්ලිමේන්තුව ඇමතූ අගමැති මහින්ද රාජපක්ෂ මහතා,

මන්ත්‍රී වුණත්, අගමැති වුණත් නිකම්ම නිකම් මහින්ද රාජපක්ෂ වුණත් මම මහින්ද රාජපක්ෂ තමයි. මම මෙහි ජනාධිපතිකම් අගමැතිකම් කරලා තිබෙනවා. ඒ නිසා මේ අගමැතිකම මට ලොකු නැහැ. මම කුඩා කාලයේ සිට මේ පාර්ලිමේන්තුවට ඇවිත් තිබෙනවා. ඉතිහාසයේ මේ පාර්ලිමේන්තුවේ ඊයේ තරම් අඳුරු දවසක් දැක්කේ නැහැ. කුඩා කාලයේ සිටම මා ඉපදුනු දවසේ සිටම පාර්ලිමේන්තුවට පැමිණ තිබෙනවා. ඒ නිසා ඇමැතිකම්, අගමැතිකම් ප්‍රශ්නයක් නැහැ. නව ආණ්ඩුවක් පිහිටුවීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා විසින් පැහැදිලි කර තිබෙනවා. පසුගිය ඔක්තෝබර් මාසය වන විට ජනතාව සිටියේ විශාල පීඩනයකින්.

රජයේ දේපළ විදේශිකයන්ට විකිණීම

ඉන්ධන මිල සූත්‍රය, රුපියල කඩා වැටීම, ජීවන වියදම දිනෙන් දින වැඩිවීම, කිසිදාක අත්නොදුටු ආකාරයේ බදුබර, මහ බැංකු මංකොල්ලය නිසා දෙගුණයකින් වැඩිවුණු පොලී අනුපාතය, රටේ වරායවල්, ගුවන් තොටුපොළ, රජයට අයත් ලාභදායී ව්‍යාපෘති ඇතුළු සියලු රජයේ දේපළ විදේශිකයන්ට විකිණීමට සැරසීම, ඉඩම් සින්නක්කරව විදේශිකයන්ට විකිණීමට නව නීති සැකසීම, විද්වතුන් හා දේශීය ව්‍යාපාරිකයන්ගේ මතය නොසලකා විදෙස් ගිණුම්වලට එළඹීම, ආයෝජකයන්ගෙන් මහා පරිමාණ අල්ලස් ඉල්ලීම වැනි කාරණා නිසා පැවැති ආණ්ඩුව ගැන රටේ විශාල අප්‍රසාදයක් තිබුණා. අපි අද රාත්‍රියේත් ඉන්ධන මිල පහත හෙළනවා. මම ඒ ඉන්ධන මිල අඩු කරන්න කියා ඇමැතිවරයාට උපදෙස් දෙනවා.

අපි දැක්කා ජනාධිපතිවරයා පසුගිය කාලයේ එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික කළමනාකරණ කමිටුව විසුරුවල රටට වෙමින් තිබෙන විනාශය අවම කර ගන්න යම් උත්සාහයක් ගන්නවා. මේ කාරණා ගැන අගමැතිවරයා සමඟ කැබිනට් මණ්ඩලයේ බහින්බස්වීම් ගැනත් අපිට අහන්න ලැබුණා. ඒ අවස්ථාවේ තමයි පොලිසියේ පිරිසකුත් හවුල් වෙලා ජනාධිපතිවරයාවත් හිටපු ආරක්ෂක ලේකම්වරයාවත් ඝාතනය කරන්න එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් කුමන්ත්‍රණය කළා යැයි කියන ආරංචිය පටිගත කරපු සාක්ෂිත් සහිතව අපිට අහන්න ලැබෙන්නේ. තත්ත්වය එතනට ගියාට පස්සේ තමයි ජනාධිපතිවරයා තීන්දු කළේ ආණ්ඩුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ශ්වය ඉවත් කර ගන්න.

එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවෙන් ඉවත් වනවාත් සමඟම පැවතුණු සභාග ආණ්ඩුව විසිරුණා. ඒ අවස්ථාවේ දී ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔහුට ලැබී ඇති බලතල අනුව මට ආරාධනා කළා අග්‍රමාත්‍ය ධුරය බාරගෙන ආණ්ඩුවක් පිහිටුවන්න කියලා. ඒ අවස්ථාවේ දී මට තෝරා ගැනීමක් තිබුණා එක්කෝ ඒ ආරාධනය පිළිගන්න, නැතිනම් ප්‍රතික්ෂේප කරන්න. මට ඕනිනම් කියන්න තිබුණා එක්සත් ජාතික පක්ෂය සමඟ අවුරුදු 4කට කිට්ටු කාලයක් හිටපු විදියට ඉතිරි ටිකත් හිටපුදෙන් කියලා. තව අවුරුද්දයි තිබුණේ. නමුත් අපි තමයි විපක්ෂයේ ප්‍රධාන බලවේගය. අපි තමයි රටේ ලොකුම දේශපාලන පක්ෂය.

රටේ නව බලාපොරොත්තු ඇති වුණා

අපිට යුතුකමක් තිබෙනවා මුළු රටටම වෙන්න ගිය මහා වින්නැහියක් වළක්වා ගන්න රටේ ජනාධිපතිවරයා අපිට රට බාර දෙනකොට ඒ වගකීම බාර ගන්න. ඒ අනුව මම ඒ වගකීම බාර ගත්තා. මම දිවුරුම් දුන් ගමන්ම රටේ නව බලාපොරොත්තු ඇති වුණා. ඒ වගේම මට තිබුණු ප්‍රශ්නය තමයි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව තවත් අවුරුද්දක් තිබුණා නම් රටට මොනවායින් මොනවා වෙයිද කියන එක. 2015 ජනවාරියේ සිට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විදේශ විනිමය ණය විතරක් අමෙරිකානු ඩොලර් බිලියන 21ක් ලබාගෙන තිබෙනවා. මේ ඉවක් බවක් නැති ණය ගැනිල්ල තමයි රටට වෙමින් තිබුණු ලොකුම විනාශය. අපි පිහිටෙවුවේ මහා මැතිවරණයක් පවත්වන තුරු අන්තර්කාලීන ආණ්ඩුවක් පමණයි.

මැතිවරණ සිතියම හකුළා දැම්මා 

ඒ නිසා තමයි, ඒකාබද්ධ විපක්ෂයේ සුළු පිරිසක් පමණක් ආණ්ඩුවේ ඇමැතිකම් බාර ගත්තේ. රට ප්‍රපාතයට යනවත් එක්කම අපි එ්කාබද්ධය හැටියට පසුගිය කාලයේ දිගින් දිගටම මහා මැතිවරණයක් ඉල්ලා සිටියා. නමුත් පැවැති ආණ්ඩුව මැතිවරණ සිතියම හකුලලයි තිබුණේ. 2015 වසරේ මාර්තු මාසයේ විසුරුවපු පළාත් පාලන ආයතවලට ඡන්දයක් පවත්වා ගන්න අවුරුදු තුනක් ගියා. පළාත් පාලන මැතිවරණ ක්‍රමය වෙනස් කරලා, සීමා නිර්ණය ගැටලු තිබෙනවා කියලා ඡන්දය කල් දැම්මා. උසාවියේ නඩු දාලා පළාත් පාලන ඡන්දය නොතියන තැනට වැඩ සලස්සන්න හදනකොට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සීමා නිර්ණ ගැටලු නැති පළාත් පාලන ආයතන සඳහා ඡන්දය පවත්වන්න සූදානම් වුණහම තමයි ආණ්ඩුව අවසානයේ දී ඒ මැතිවරණයත් පැවැත්වූයේ.

අද වන විට සබරගමුව, උතුරු මැද හා නැ‍ඟෙනහිර පළාත් සභා විසුරුවා අවුරුද්දකට වැඩි කාලයක් ගතවී තිබෙනවා. පසුගිය මාසය වන විට උතුරු පළාත් සභාව ඇතුළු තවත් පළාත් සභා තුනක් විසිරිලා ගියා. නමුත් ඡන්ද නෑ. ජනාධිපතිවරයා ව්‍යවස්ථාවෙන් තමාට හිමි බලතල අනුව පාර්ලිමේන්තුව විසිරුවලා ඡන්දයක් කැ‍ඳෙවුවාම, ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා තිබෙනවා මැතිවරණයක් පවත්වන්නට විරුද්ධව. මේ පාර්ශ්වම තමයි ගිය අවුරුද්දේ කිසිම හිරිකිතයක්, ලැජ්ජාවක් නැතිව පළාත් පාලන ඡන්දයත් පළාත් සභා ඡන්දයත් දින නියමයක් නැතිව කල් දාගන්න, වෙනත් කාරණාවලට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තිබුණු පනත් කෙටුම්පත්වලට කාරක සභා අවස්ථාවේ දී පස්සා දොරෙන් සංශෝධන ගෙනල්ලා ඡන්ද ක්‍රමයත් මුළුමනින්ම අවුල් කරලා එ් ඡන්ද කල් දාගත්තේ.

එජාප-ජවිපෙ මැතිවරණවලට බය වෙලා

මේ රටේ ජනතාවගේ ඡන්දය දැමීමේ අයිතිය එදත් මේ පිරිස විසින්ම පැහැර ගත්තා. අද මම පාර්ලිමේන්තුවට එනකොට දැක්කා පෝස්ටරයක් ‘මහ මැතිවරණයකින් මූලික මිනිස් අයිතිවාසිකම් කැඩෙන්නේ කාගේ ද ?’ මේක වැදගත් ප්‍රශ්නයක්. අපේ රටේ 1947, 1951, 1956, 1960 පත් වෙච්ච සියලුම පාර්ලිමේන්තු කලින් විසුරුවලා මහා මැතිවරණ තිබ්බේ ජනතාවට තම පරමාධිපත්‍ය බලය තුළින් තමාට කැමැති ආණ්ඩුවක් පත්කර ගන්න ඉඩ දෙන්නයි. ඒකෙන් තමයි ඒ කාලේ ජනතාවගේ පරමාධිපත්‍යය බලය රැකුනේ. පැවැති ආණ්ඩුවට මේ රටේ ප්‍රශ්න විසඳන්න බැහැ කියලා අවබෝධ වුණු නිසා තමයි ජනාධිපතිවරයා මට රට බාර ගන්න කියලා කිවුවේ. මම අගමැති හැටියට දිවුරුම් දීපු ගමන්ම රට පුරා නව බලාපොරොත්තු සහගත හැඟීමක් පැතිර ගියා.

අපේ කතානායකවරයා බටහිර තානාපති කාර්යාල හා තමන්ගේ පක්ෂය එක්ක එකතුවෙලා රටේ ව්‍යවස්ථාවටත්, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලටත් පටහැනිව මට විරුද්ධව ‘ශබ්දය අනුව’ විශ්වාසභංග යෝජනාවක් සම්මත කර ගත්තයි කියලා කියනවා. සද්දෙන් බැහැ යෝජනා සම්මත කර ගන්න. වැදගත් විදියට ඡන්දයක් ගන්න තිබුණා. කතානායකවරයාගේ ඊනියා විශ්වාසභංගයෙන් පස්සේ හිටපු අගමැතිවරයා නැවතත් අගමැති වෙයි කියලා හිටපු ඇමැතිවරු ඒ ගොල්ලන්ට කලින් තිබ්බ අමාත්‍යාංශවලටත් ගිහිල්ලා තිබෙනවා. රටේ අගමැතිවරයා ඇතුළු ඇමැති මණ්ඩලය පත් කරන්නේ ජනාධිපතිවරයා. පාර්ලිමේන්තුවට හෝ කතානායකවරයාට ඒ බලය ව්‍යවස්ථාවෙන් දීලා නැහැ.

පරමාධිපත්‍ය බලය ඇත්තේ ජනතාවට

නමුත් දැන් මෙතන පාර්ලිමේන්තුවේ දෙපාර්ශ්වයක් අතර මත ගැටුමක් තිබෙනවා. මේ ආරවුල පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනා අතරේ විසඳා ගන්න හදන්නේ නැතිව මේ රටේ ලක්ෂ 150ක් ඉක්ම වන ඡන්දදායක ජනතාවට බාර දෙමුයි කියලා මම යෝජනා කරනවා. ඒකයි පාර්ලිමේන්තු සම්ප්‍රදාය. දේශපාලනඥයෝ හැටියට අපි හැමෝම තේරුම් ගන්න ඕන, අපේ ව්‍යවස්ථාවට අනුව පරමාධිපත්‍ය බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට නොවෙයි, ජනතාවටයි කියන එක. මම සන්තෝෂ වෙනවා ජනතා විමුක්ති පෙරමුණ ඊයේ කිවුවා පාර්ලිමේන්තුව විසුරුවලා ඡන්දයකට යන්න යෝජනාවක් ආවොත් ඒ ගොල්ලෝ ඒකට පක්ෂ වෙනවා කියලා.

විශ්‍රාම වැටුප ගැන පමණක් හිතන්න එපා

එක්සත් ජාතික පක්ෂය ඒ ගැන දරන ස්ථාවරය මොකක්ද කියලා මේ පාර්ලිමේන්තුව තුළ අද ප්‍රකාශයක් කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ජනතාවට තමන්ගේ අභිමතය අනුව නව රජයක් තෝරා පත් කර ගන්න සාධාරණ, යුක්තිසහගත මැතිවරණයක් පවත්වන්න මා සමඟ අත්වැල් බැඳ ගන්නා ලෙස පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන්ම මම ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා. විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් හිතන්න එපා. කතානායකවරයා එක්සත් ජාතික පක්ෂය හා බටහිර තානාපති කාර්යාල එක්ව ව්‍යවස්ථාවටත්, රටේ නීතියට හා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලටත් පටහැනිව කටයුතු කරනවා. කතානායකවරයා පත් කරන විට විපක්ෂයත් ආණ්ඩු පක්ෂයත් එක් වුණා. එයින් අපේක්ෂා කළේ ඔබ ස්වාධීන වෙයි කියලයි. ස්වාධීන කතානායකවරයෙක් අපි බලාපොරොත්තු වන්නේ. පක්ෂග්‍රාහී කෙනෙක් නෙවෙයි. එක්සත් ජාතික පක්ෂයේ හා බටහිර යාළුවන් වෙනුවෙන් කතානායකවරයා පෙනී සිටීම ගැන කනගාටුව පළ කරනවා යැයි පැවැසීය.


නව අදහස දක්වන්න