ලංගම තවදුරටත් පරපුටු ආයතනයක් වෙන්නේ නෑ | දිනමිණ

ලංගම තවදුරටත් පරපුටු ආයතනයක් වෙන්නේ නෑ

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය තව දුරටත් පරපුටු ආයතනයක් වගේ මහා භාණ්ඩාගාරයෙන් යැපෙන්න බලාගෙන සිටින්නේ නැතිව, ශක්තිමත් මූල්‍ය ආයතනයක් බවට පත් කිරීමට හැකිවීම පිළිබඳ තමා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයන්ට ගෞරවය පුද කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංගම ඩිපෝ ඉතා ක්‍රමානුකූලව මූල්‍යමය පාලනයක් තුළින්, ඉතිරි කරගත් මුදලින් නව බස්රථ මිල දී ගැනීමට හැකිවී තිබෙන බව ද, බස් රථ 1000ක් මිල දී ගැනීමට භාණ්ඩාගාරයෙන් ලබාදෙන බව ප්‍රකාශ කළ මුදල් නොලැබුණත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අඩපණ නොවී පවත්වා‍ගත යුතු බැවින්, මෙලෙස ලාබ ලබන ඩිපෝ විසින් නව බස් රථ මිල දී ගන්නා බව ද ඇමැතිවරයා පවසයි.

ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ අදහස් පළ කළේ ලාබ ලබන ඩිපෝ කිහිපයක් විසින් මිල දී ගන්නා ලද නව බස් රථ 14ක් එම ඩිපෝවලට බාරදීම සඳහා ඊයේ (15) නාරාහේන්පිට, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති උත්සවයකදීය.

ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රාදේශීය ඩිපෝ 106න්, ඩිපෝ 85ක් පමණ ලාබ ලබමින් පවතින අතර, එම ඩිපෝ මගින් උත්පාදනය කරනු ලබන ආදායම හා ලාබ උපයෝගි කර ගනිමින් මගී සේවා පුළුල් කිරීම සඳහා අවශ්‍ය නව බස්රථ මිල දී ගැනීම මේ වන විට ආරම්භ කර ඇත. පසුගිය දා හැටන් ඩිපෝව මගින් බස් රථ 12ක් මිලදීගෙන ඇති අතර, පොළොන්නරුව, වෙන්නප්පුව, මහරගම, කුලියාපිටිය යන ප්‍රාදේශීය ඩිපෝ මගින් මිල දී ගත් බස්රථ 14ක් එම ඩිපෝවලට බාරදීම ඊයේ (15) සිදුකෙරිණි.

ඒ අනුව පොළොන්නරුව ඩිපෝව සඳහා බස්රථ 07ක් වෙන්නප්පුව ඩිපෝව සඳහා බස් රථ 02ක්, මහරගම ඩිපෝව සඳහා බස්රථ 02ක්, කුලියාපිටිය ඩිපෝව සඳහා බස්රථ 01ක් හා හැටන් ඩිපෝව සඳහා තවත් බස්රථ 02ක් බාරදීම ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් සිදු කරන ලදී.

මේ බස් රථයක් රුපියල් මිලියන 6.9ක වටිනාකමකින් යුක්ත වන අතර, මුළු වටිනාකම රුපියල් මිලියන 96.6ක් වේ.

සාමාන්‍ය බස් රථවලට අමතරව අධිවේගී මාර්ගයේ ධාවනය සඳහා සුඛෝපභෝගී බස් රථ 09ක්ද මිල දී ගැනීමට පොළොන්නරුව, කටුබැද්ද, මහරගම හා මධ්‍යම බස් රථ කාර්යාලය කටයුතු කර ඇත. මේ සුඛෝපභෝගී බස් රථයක මිල රුපියල් මිලියන 17.1 කි. එම බස් රථ නවයේ මුළු වටිනාකම රුපියල් මිලියන 153.9ක් වේ. මිලදීගත් මේ බස්රථ ඉදිරි දිනවල දී මගී සේවා සඳහා යෙදවීමට කටයුතු කරන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි. මෙහි දී තව දුරටත් අදහස් දැක් වූ ඇමැතිවරයා, කල්බදු ලීසිං ක්‍රමය යටතේ තවත් බස් රථ 300ක් මිල දී ගන්න තීරණය කරලා තියෙනවා. ඒ වගේම ඉන්දියානු ණය මත බස් රථ 500ක් ගැනීමටත් තීරණය කරල තියෙනවා. මේ බස් රථ මිල දී ගත්තායින් පසුව ලංගම බස් රථ ඇණිය වැඩිවී ලංගමයට ආදායම වැඩිවේවි.

එමෙන්ම පසුගිය දා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම නිසා මසකට රුපියල් ලක්ෂ 2000ක මුදලක් (මිලියන 200) ශ්‍රී ලංගමයට අමතරව වැය වෙනවා. සෑම ඩිපෝවක් විසින්ම මේ අමතර මුදල උපයා ගන්න කටයුතු කරන්න ඕන. එසේ කරන්න බැරි වුණොත් පරණ කාලයේ වගේ නියමිත දිනයට වැටුප් ගෙවාගන්න බැරි වේවි. භාණ්ඩාගාරය මේ වැටුප් වැඩි කිරීමට එකඟ වුණේ භාණ්ඩාගාරයට බරක් නොවී ශ්‍රී ලංගමය විසින්ම මේ අමතර මුදල උපයා ගන්නා බවට විශ්වාසය මත යැයි ද පැවැසීය.

මේ අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් ජී. එස්. විතානගේ, ලංගම සභාපති රමාල් සිරිවර්ධන යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගි වූහ.

නව අදහස දක්වන්න