රටේ සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගෙන තිරසර සංවර්ධනයක් උදාකර ගනිමු | දිනමිණ

රටේ සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගෙන තිරසර සංවර්ධනයක් උදාකර ගනිමු

‘විද්‍යා හා තාක්ෂණයේ නිම්වළලු පුළුල් වෙමින් නවෝත්පාදන සංකල්පය ඉස්මතු කරමින් පවතින අවධියක ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල රටට අදාළ ක්ෂේත්‍ර සම්බන්ධව පර්යේෂණ පවත්වා ඒවායේ ප්‍රතිඵල රටේ යහපතට ඉදිරිපත් කළ යුතු යැයි ජාතික විද්‍යා පදනමේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨය මගින් සංවිධාන කරන ලද තුන්වන අන්තර් ජාතික ශුද්ධ හා ව්‍යවහාරික විද්‍යාව පිළිබඳ පර්යේෂණ සමුළුවේ ආරාධිත දේශනය පවත්වමිනි.

මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතා මෙසේද පැවසීය.

විසිවන සියවස උදාවීමෙන් පසුව ලෝකයේ බලවත් රටවල් අතර ලෝක යුද්ධ දෙකක් ඇති වූ නමුත් මේ කාලය තුළ විද්‍යා හා කාර්මික ක්ෂේත්‍රයේ විශාල පිබිදීමක් ඇති වුණා. විද්‍යා හා කාර්මික දියුණුව නිසා ගමනාගමනය පණිවිඩ හුවමාරුව, ගුවන් යානා. නාවික යාත්‍රා නිෂ්පාදනයත් සමඟ ගමනාගමනයේ පහසුකම් ඇති වුණා.

මෝටර් රථ නිෂ්පාදනය ගුවන් විදුලිය සොයා ගැනීම, ඉන්ධන සොයා ගැනීම, විදුලිය විදුලි බලය සොයා ගැනීම, විදුලි මෝටරය නිපදවීම, දුරකථනය ඇතුළු සියල්ල විද්‍යා ගවේෂණ හා පර්යේෂණවල ප්‍රතිඵලයි. මේ විද්‍යාත්මක පසුබිම තුළ මිනිසා මෙන්ම රටවල් රටවල් අතර හුදකලා බව ඉවත්වී නව ලොවකට පිවිසීමේ දොරටු විවෘත වුණා.

විද්‍යා ගවේෂණ හා පර්යේෂණවල දියුණුව හා නව සොයාගැනීම් නිසා මුළු මිනිස් සංහතියම නැතිකළ හැකි පරමානු බෝම්බයේ සිට මිසයිල දක්වා වූ නවීන යුද අවි පවා නිපදවී තිබෙනවා. භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව යන අංශයන්ගේ පර්යේෂණ හා නව සොයා ගැනීම් නිසා මිනිසාගේ ආයු කාලයට වැළ‍ඳෙන රෝගාබාධ හා ප්‍රතිකාර මෙන්ම ඖෂධ නිෂ්පාදන සොයාගෙන තිබෙනවා. මේ සියල්ල විද්‍යාව තුළින් ලබාගත් පර්යේෂණවල ප්‍රතිඵලයි.

මේ වනවිට තොරතුරු තාක්ෂණයේ පර්යේෂණ හා නව සොයා ගැනීම් හමුවේ පරිගණකය, අන්තර්ජාලය වැනි දේ විද්‍යාත්මක ලෝකයේ දැකගත හැකිවෙනවා. එසේ නම් මේ අප ගමන් කරන්නේ තොරතුරු තාක්ෂණයේ නිම්වළලු පුළුල් වෙමින් පවතින අවධියකයි.

තිරසාර සංවර්ධනය යන තේමාව යටතේ අප රටද ඉදිරියට යා යුතුයි. මෙහිදී ශ්‍රී ලංකාවේ තිබෙන සම්පත්වලින් උපරිම ප්‍රයෝජනයක් ලබාගෙන රටේ තිරසාර සංවර්ධනයක් උදාකරන්නේ කෙසේද එහිදී ජනගහණයට සරිලන ආහාර, නිවාස, රැකියා සෞඛ්‍ය හා අධ්‍යාපනික පහසුකම් ඇතිකර ගන්නේ කෙසේද කියා විද්‍යාව හා විද්‍යා පර්යේෂණ ගවේෂණ පවත්වා ඒවායේ ප්‍රතිඵල රටේ යහපත පිණිස ඉදිරිපත් කිරීම ශ්‍රී ලංක‍ාවේ විශ්වවිද්‍යාල තුළින් බලාපොරොත්තු වන්නේ යයිද එහිදී ජාතික විද්‍යා පදනමද විවිධ අංශවලින් මුල්‍යමය මෙන්ම අනෙකුත් අංශවලින්ද සහාය ලබා දෙන්නේයයි ජාතික විද්‍යා පදනමේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතා පැවසීය.

තුන්වන අන්තර් ජාතික ශුද්ධ හා ව්‍යවහාරික විද්‍යාව පිළිබඳ පර්යේෂණ සමුළුවේ මුඛ්‍ය දේශනය පාරිසරික විද්‍යාව වනගහණය හා වන ජීවීන් පිළිබඳව සිංගප්පූරු විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය එඩ්වඩ් එල් වෙබ් (Edward L.Webb) මහතා විසින් පැවැත්වීය.

කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨය මගින් සංවිධාන කර තිබූ මේ තුන්වන අන්තර් ජාතික විද්‍යා සම්මේලනයේදී කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඩී.එම්.සේමසිංහ, කැලණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කවුන්සිලයේ සභාපති මහාචාර්ය එන්.පී. සුනිල් චන්ද්‍ර, සම්මේලනයේ සම්බන්ධිකාරක මහාචාර්ය එල්.ඩී.අමරසිංහ මහත්වරුද කතා කළහ. පිළිගැනීමේ කතාව කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය බී.එම්.ජයවර්ධන මහත්මිය සිදු කළාය.

මේ අන්තර් ජාතික විද්‍යා සමුළුවට දේශීය හා විදේශීය නියෝජිතයන් 300කට අධික පිරිසක් සහභාගි වී සිටි අතර විද්‍යා පර්යේෂණ නිබන්ධන 200කට අධික සංඛ්‍යාවක් ඉදිරිපත් කර තිබුණි.

උඩුගම්පොළ සමූහ


නව අදහස දක්වන්න