ජවිපෙ හැමදාම කළේ රටේ වැඩ කඩාකප්පල් කිරීමයි | දිනමිණ

ජවිපෙ හැමදාම කළේ රටේ වැඩ කඩාකප්පල් කිරීමයි

අද මේ රටේ සීනි කර්මාන්ත ශාලාවලින් නිෂ්පාදනය කරන ස්ප්‍රීතුවලට සාධාරණ මිලක් හැමෝම පිටරටින් ස්ප්‍රීතු ගෙනල්ලා මත්පැන් නිෂ්පාදනය කරනවා. මම මත්පැන්වලට විරුද්ධයි. නමුත් රටේ නිෂ්පාදන වලට තැනක් තිබිය යුතුයි. ඒ නිසා පිටරටින් ගෙන්වල ස්ප්‍රීතු සීමා කොට රටේ නිෂ්පාදනවලට මිලක් ලබා දිය යුතු යැයි හිටපු ජ්‍යෙෂ්ඨ ඇමැති පී. දයාරත්න මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා එසේ ප්‍රකාශ කළේ හිඟුරාණ සීනි ආයතනයේ ඉඩම්වල වී වගා කිරීමට සැරසුණු කණ්ඩායමකට විරුද්ධව දීඝවාපිය උක් වගා කලාපයේ සේවකයන් විසින් පවත්වන ලද විරෝධතා රැස්වීමකට එක් වෙමිනි. මෙහිදී වැඩිදුරටත් කතා කළ දයාරත්න මහතා මෙසේ ද ප්‍රකාශ කළේය.

මේ සීනි ආයතනය අවුරුදු 10ක් පමණ වහලා තිබුණා. එදා කී දහසක් අසරණ ණා ද? උක් ගොවීන්, සේවකයන්, ට්‍රැක්ටර් හිමියන් කී දාහක් අසරණ වුණාද? එදා හිඟුරාන නගරය පාළු වුණා. තිබුණු කඩ වැහුණා. මේ සියල්ල වුණේ එක් පුද්ගලයෙකුගේ පොරොන්දුවක් ඉෂ්ට කරන්න ගිහිල්ලා. එදා මම විතරයි මේ ආයතනය රැක ගන්න ඕනෑ. නැවත විවෘත කරන්න ඕනෑ කියලා පාර්ලිමේන්තුවේ කතා කළේ . එදා මේ දිස්ත්‍රික්කයේ හිටපු එකම දේශපාලනඥයෙක්වත් කතා කළේ නැහැ. මට සහයෝගය දුන්නේ නැහැ. නමුත් කොහොමහරි මේ ආයතනය පසු කාලයක දී පෞද්ගලික සමාගමකට දුන්නා. ඔවුන් මෙය ගොඩනගන්න රුපියල් මිලියන 3000ක් විතර වියදම් කළා. පෞද්ගලික ආයතනයක් ගත්තා වුණත් රජයෙන් කළා වුණත් ඒ මුදල් වියදම් කරන්න ඕනෑ.

ගල්ඔය වැවිලි සමාගමේ සහ දැන් දමන කොට්ඨාසය තුළ යම්කිසි දියුණුවක් ලබා තියෙනවා. දේශපාලන වාසි තකා මේ ආයතනය වහන්න දෙන්න බැහැ. වී වගා කළ යුතු ඉඩම්වල වී වගා කරන්න ඕනෑ. උක් වගා කළ යුතු ඉඩම්වල උක් වගා කළ යුතුයි. හැමදෙනාම හිතාගන්න කවුරු මොන බේගල් කිවුවත් විරෝධතා පැවැත්වූවත් මේ ඉඩම් අයිති රජයට. ඒවායේ කාවදාවත් තමන්ට හිතෙන හිතෙන දේවල් කරන්න බැහැ. මේ සමාගම මේක දාලා ගියත් මේ ඉඩම් ඔවුන්ට ගෙනියන්න බැහැ. ඒවා රජයට අයිතියි. ඒවායේ උක් වගා කළ යුතුමයි. එය මේ ඉඩම් දෙනකොට ගත්ත නීතිමය තීරණයි.

ගල්ඔය වැවිලි සමාගම විධායක අධ්‍යක්ෂ ගාමිණි රත්නායක මහතා- මේ ආයතනයේ අපි ගොඩ ගත්තේ ඉතාම අමාරුවෙන්. දැන් අපි රටට අවශ්‍ය සීනිවලින් 10%ක් නිෂ්පාදනය කරනවා.අක්කර 4600ක් පමණ උක් වගා කරනවා. අක්කර 12500ක් අපිට වගා කරන්න පුළුවන්. රුපියල් මිලියන 600ක් පමණ වැය කර ස්කාගාරය ආරම්භ කළා. අවුරුදු 60ක් පමණ තිස්සේ ප්‍ර දේශයේ ජනතාවට ප්‍රශ්නයක්ව තිබූ ‘‘බැගෑස්‘‘ (අළු) ප්‍රශ්න රුපියල් මිලියන 90ක් පමණ වියදම් කර විසඳුවා.

අපද්‍රව්‍ය වශයෙන් පිටකරන දේවලින් අපි කොම්පොස්ට් පොහොර නිෂ්පාදනය කරනවා. ගොවියන් 7000ක් පමණ සිටිනවා. නිෂ්පාදන වාරයේදී ප්‍රදේශයේ ට්‍රැක්ටර් 500ක් පමණ සේවයේ යොදවනවා. ගොවියන්ට 6.5% ක පොළියට ණය ලබා දෙනවා. උක් ටොන් 1කට රුපියල් 5000ක් ගෙවනවා. අපේ සේවකයන්ට හොඳ වැටුපත් ලබා දෙන්න. මේ අතර තමයි ජනතා විමුක්ති පෙරමුණ ඇවිල්ලා සමහර ගොවි ජනතාව බොරැවෙන් මුලා කරලා ආයතනයේ කටයුතු කඩා කප්පල් කරන්න හදන්නේ. ඔවුන් කවදාවත් රටේ හොඳ වැඩක් කර නැහැ.කඩාකප්පල් වැඩම තමයි කළේ. ඒ එක්කෙනෙකුටවත් බිම් අඟලකවත් වී වගා කරන්න අපි ඉඩ දෙන්නේ නෑ.

මුවංගල රාජමහා විහාරාධිපති ඇතිමලේ ආනන්ද හිමි, හිටපු පළිත් සභා මන්ත්‍රි ඩබ්ලිව්.ජි. වීරසංහ, හිටපු පළාත් සභා මන්ත්‍රි මංජුල ප්‍රනාන්දු, ගොවි සංවිධානයේ සභාපති ලලිත් ගුණරත්න, ප්‍රාදේශීය සභා සභාපති මංගල ගුණවර්ධන, ප්‍රාදේශීය සභා මන්ත්‍රි කීර්ති රණසිංහ මහත්වරු ද මෙහිදී කතා කළහ.

රවීන්ද්‍ර මැදගෙදර - අම්පාර සමූහ

නව අදහස දක්වන්න