කතානායකතුමා ප්‍රජාතාන්ත්‍රික නැහැ | දිනමිණ

කතානායකතුමා ප්‍රජාතාන්ත්‍රික නැහැ

රෝෂන් තුෂාර
අන්තර්ජාතික වෙළෙඳාම සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය බන්දුල ගුණවර්ධන

පසුගිය 14 වනදා පාර්ලිමේන්තුව නැවත රැස්වීමත් සමඟ මෙරට දේශපාලනය නැවත වටයකින් උණුසුම් වී තිබේ. එදින පාර්ලිමේන්තුවේ කටයුතු සිද්ධ වූ ආකාරයත්, එකී කටයුතුවලට ආණ්ඩු පක්ෂය සහ විරුද්ධ පක්ෂය ප්‍රතිචාර දැක් වූ ආකාරය පිළිබඳත් ආණ්ඩුවේ ඉදිරි කටයුතු සම්බන්ධවත් අදහස් දක්වමින් අන්තර්ජාතික වෙළෙඳාම සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැති හමුවට එක්වේ.

* ජනතා වරම තියෙනවානම් ඡන්දයට බය ඇයි
* 14 වනදා බහුතරය විමසීම කුමන්ත්‍රණයක්
* සද්දෙ වැඩි පැත්තට බහුතරය තියෙනවා කියා තීරණය කිරීම වැරදියි
* කතානායකවරයා 14 වනදා ව්‍යවස්ථාව බින්දා
* ආණ්ඩු පක්ෂය විරුද්ධ වුණේ ඡන්දයට නෙමෙයි කුමන්ත්‍රණයට

වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා හා කැබිනට් මණ්ඩලය කෙරෙහිත් ආණ්ඩුව කෙරෙහිත් වි‍ශ්වාසයක් නොමැති බවට ජනතා විමුක්ති පෙරමුණ පසුගිය 14 වැනිදා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කළා. මේ ගැන ඔබතුමාගේ අදහස කියන්න.

විපක්ෂයට 113ක් තිබුණේ නෑ. කතානායකතුමා සමඟ හැම මන්ත්‍රීවරයෙක්ම කළේ පට්ටපල් බොරුවක්. 113ක් තිබුණනම් පෙන්වන්න තිබුණනේ. අපි දැක්කනේ. මේ රටේ ජනතාව දැක්කා හැම මන්ත්‍රීවරයකුටම අංකයක් දීලා තිබුණා. 94 වඩා හිටියේ නෑ. මේ බහුතරය විමසීම පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවලට පටහැනිව පාර්ලිමේන්තු සම්ප්‍රදායට පටහැනිව කළ කුමන්ත්‍රණයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්.

නමුත් හිටපු අගමැතිතුමා සඳහන් කළේ එය ජනතා වරම තහවුරු කිරීමක් කියලා නේද?

ජනතා වරම, ජනතාව පිළිගන්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා කියලා යළි යළිත් තහවුරු වෙලා තියෙනවා. ආසන්නම ඡන්ද විමසීම ඒකට හොඳම පිළිතුර, ජනතා වරම තියෙනවානම් ඇයි ඡන්දයකට බය. ව්‍යවස්ථානුකූලව, නීත්‍යානුකූලව රටේ විධායක ජනාධිපතිවරයා පත්කළ මේ රටේ අගමැතිතුමා තමයි මහින්ද රාජපක්ෂ මහතා. ඔක්තෝම්බර් 26 දින අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ජනාධිපතිතුමා පත්කළ මහින්ද රාජපක්ෂ මහතා රටේ අගමැති කියලා නිත්‍යානුකූලව පාර්ලිමේන්තුව පිළිඅරගෙන තියෙනවා. ඒ බව කතානායකතුමන් පිළිගෙන තියෙන නිසා තමයි. ආණ්ඩුපක්ෂය දීලා, අගමැතිට ආණ්ඩු පක්ෂයේ ආසන පනවලා තිබුණේ.

බහුතර මතයට ගරු කිරීම ප්‍රජාතන්ත්‍රවාදය නේද? එසේනම් බහුතරය විමසීම නීත්‍යානුකූල නැහැ කියල ඔබතුමා කියන්නේ කොහොමද?

කුමන්ත්‍රණයක් නීත්‍යානුකූලයි කියලා පිළිගන්න ජනතාව සූදානම් නෑ. මේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හොල්ලන්න පුළුවන් ජනතාවට පමණයි.

අද රැස්වුණේ මෙරට අටවෙනි පාර්ලිමේන්තුවේ තෙවන සැසිවාරය. 2018 නොවැම්බර් 14 දින පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය අනුව, පක්ෂ නායක තීරණය අනුව පාර්ලිමේන්තු වැඩපිළිවෙළේ සඳහන් වන්නේ කාර්යයන් දෙකයි. එකක් ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම සහ කැඳවීම පිළිබඳ ප්‍රකාශ පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් ප්‍රකාශයට පත් කිරීම, දෙක සභානායකවරයාගේ අනුදැනුම දැන්වීම පරිදි සභාව කල්තැබීම.

එහෙත් කතානායක කරු ජයසූරිය මහතා සඳහන් කළේ, ප්‍රජාතන්ත්‍රවාදයට අනුව බහුතරයට කන්දීමට සිදුවෙනවා කියලා නේද? 14දා ස්ථාවර නියෝග යටතේ එසේ කටයුතු කරන්න තමන්ට බලය තිබෙනවා කියලා කතානායකතුමා ප්‍රකාශ කළා.

කතානායකතුමා හැසිරුණේ අත්තනෝමතිකව, කුමන්ත්‍රණය පටන්ගත්තේ එතැනින්. කතානායකවරයෙක් ප්‍රජාතන්ත්‍රවාදී විය යුතුයි. අපක්ෂපාතී වියයුතුයි. පක්ෂග්‍රාහී වෙන්න බෑ. 14 වනදා පාර්ලිමේන්තුවේදී අපි එහෙම තත්ත්වයක් දැක්කේ නෑ.

1989 ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාට දෝෂාභියෝගය එල්ලවූ අවස්ථාව එදා සිටි කතානායක එම්. එච්. මොහොමඩ් මහතා කටයුතු කළ ආකාරය අපට මතකයි.

මීට පෙර කිසිම කතානායකවරයෙක් කරු ජයසූරිය මහතා වගේ පාර්ලිමේන්තු ඉතිහාසයේ හැසිරිලා නෑ. මේක සහමුලින්ම ස්ථාවර ‍නියෝග උල්ලංඝනය කිරීමක්. කාර්යයන් දෙකක්. නියමිත පාර්ලිමේන්තුවේ 125 වන ස්ථාවර නියෝගය අත්හිටුවන්න කියලා යෝජනා ඉදිරිපත් වන්නේ කොහොමද? සුමන්තිරන් මන්ත්‍රීතුමාගේ ඒ යෝජනාව ස්ථිර කරන්නේ ජ.වි.පෙ. විජිත හේරත් මහතා, ඒක ගෙනාවේ මොකටද? ඒ එක්කම අනුර කුමාර මන්ත්‍රීතුමා හිටිහැටියේ විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන්නේ කොහොමද?

විශ්වාසභංගයකට මුහුණදීමෙන් ආණ්ඩුවක ශක්තිමත්භාවය පෙන්වන්න පුළුවන් නේද?

විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන පිළිවෙළක්, සම්ප්‍රදායක්, ස්ථාවර නියෝගයක් තියෙනවා. විශ්වාසභංග යෝජනා හිටිහැටියේ ඉදිරිපත් කරන්නේ නෑ. මේක ඉදිරිපත් කළේ හිටිහැටියේ විජිත හේරත් මන්ත්‍රීතුමා හිටිහැටියෙම හිටිගමන් දුවල ගිහින් යම්කිසි ලියවිල්ලක් බාරදුන්නා. එහෙම විශ්වාසභංග යෝජනා ඉදිරිපත් කරනවද? කුමන්ත්‍රණ කරලා ඡන්ද ගන්න බෑ. දිගටම මං මගේ ආසනයේ ඉඳලා ඉල්ලුවේ බයි නේම් විමසන්න (නමින්) කියලයි.

විරෝධතා ඉදිරිපත් කළේ ආණ්ඩු පක්ෂයම නේද?

ආණ්ඩු පක්ෂය විරුද්ධ වූයේ ඡන්දෙට නෙවෙයි. මේ කුමන්ත්‍රණයටයි විරුද්ධ වුණේ. සභාවේ කටයුතු කරන්න මන්ත්‍රීවරු හසුරුවන්න කතානායකට පරිචයක් තිබිය යුතුයි. එහෙම නොකර හඬ මගින් ඡන්දය ගණන් කරන්න බහුතරය කියන්න කතානායකට බෑ. එහෙම ඡන්ද විමසීමක් සර්වසාධාරණ වලංගු ඡන්දයක් වෙන්නේ කොහොමද කියලා ජනතාවටත් ප්‍රශ්නයක්.

කතානායකතුමාට 122කගේ අත්සන් ලේඛනයක් බාරදුන්නා කියලයි විපක්ෂය කියන්නේ.

ලිස්ට් එකක් දීලා බහුතරය විමසන ක්‍රමයක්, සම්ප්‍රදායක් පාර්ලිමේන්තුවේ නෑ. අත්සන් ලේඛන ඕනතරම් තියෙන්න පුළුවන්. පාර්ලිමේන්තු කොරිඩෝවේ 150ක් හිටියා කියලා ඒ හැම ඡන්දයක්ම ලැබුණා කියලා ලැබෙනවා කියලා බහුතරය මනිනවනම් ඒක ප්‍රජාතන්ත්‍රවාදය ද? මා එක්ක කතාකරන මන්ත්‍රීවරු හැම කෙනෙක්ම මට පක්ෂ ද? මේක විහිළුවක්. පාර්ලිමේන්තු සම්ප්‍රදාය, නීතිය, ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්.

හිටපු අගමැතිතුමා රජයේ නිලධාරීන්ගෙන්, පොලිස් නිලධාරින්ගෙන් සුපුරුදු පරිදි වැඩ කරන්න කියලා ඉල්ලීමක් කළා. ඒ ඉල්ලීම ගැන මොකද කියන්නේ?

එතුමා හරි, අපිත් ඉල්ලන්නේ සුපුරුදු පරිදි වැඩ කරන්න. මේ රටේ නීත්‍යානුකූල අගමැති මහින්ද රාජපක්ෂ මහතා. රට විනාශයට ඇදගෙන යන මොහොතක, රටේ දේපළ කුණු කොල්ලයට විකුණන්න යන මොහොතක, මහ දවල් මහ බැංකුව මංකොල්ල කාපු හොරු ඉවත්කරන්න, රට බේරාගන්න රටේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය බලතල ප්‍රකාරව, ව්‍යවස්ථානුකූලව, රට ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණන පිරිස් ඉවත්කරලා රට බේරගත්ත පුද්ගලයෙක් අගමැතිතුමා ලෙස පසුගිය 26 දින පත් කළා. ඒ අගමැති තමයි රටේ පිළිගත් අගමැතිවරයා. කුමන්ත්‍රණ කරලා, විදෙස් තානාපතිවරු පාර්ලිමේන්තු කැඳවලා, විශ්වාසභංග යෝජනා ගෙනාවට අගමැති වෙනස් කරන්න බෑ. මේ සම්බන්ධයෙන් අපි ජනාධිපතිතුමාත් එක්ක කතාකරල තීරණයක් ගන්නවා. අගමැති පත් කිරීම, හිටපු අගමැති ඉවත් කිරීමට, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දු ලැබිලා නෑ. පාර්ලිමේන්තුව විසුරුවාහැර ඡන්දය පැවැත්වීමේ ගැසට් නිවේදනය ක්‍රියාත්මකවීම ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවා තිබෙනවා. හැබැයි ශ්‍රේෂ්ඨාධිකරණය අවසන් තීන්දුවක් දීලා නෑ. ශ්‍රේෂ්ඨාධිකරණය අවසන් තීන්දුවක් දීලා කියන අදහසින් කවුරුහෝ ක්‍රියාකරනවනම් ඒක වැරදියි. ජනතා ජයග්‍රහණය, ජනතා අපේක්ෂාව වැඩි ඈතක නෙමෙයි කියලා කෑගහන ඔය කවුරුත් දැනගත යුතුයි.

නව අදහස දක්වන්න