සිරිකොත නායක පුරප්පාඩුව | දිනමිණ

සිරිකොත නායක පුරප්පාඩුව

එජාප නිර්ප්‍රභූන්ගේ ගැලවුම්කාරයා වන සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් එජාප ග්‍රාමීය, නිර්ප්‍රභූ ඡන්ද පදනම තෘප්තිමත් වීමට සමගාමීව අති සංකීර්ණ අභියෝගයක් නිර්මාණය වනු ඇති බව මේ පිළිබඳ අවධානය යොමු කරන දේශපාලන විචාරකයින්ගේ අදහසයි. ඒ සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් වන සංකීර්ණතාවයයි. මේ සංකීර්ණතාවය එජාපයට සදාකාලික හිතවත් සුළුජන ඡන්ද පදනම තුළ දැඩි සංකීර්ණතා ඇති කරනු ඇති බව ඔවුන්ගේ අදහසයි.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ වෙනසක් මේ මැතිවරණයේ දී ද සිදු නොවන බව එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පසුගිය දා බී.බී.සීය සමඟ පැවැති සංවාදයක දී අවධාරණය කර තිබුණා. පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් ප්‍රකාශයට පත් කර තිබිය දී සිදු වූ එජාප මහ ලේකම්වරයාගේ ප්‍රකාශය ගැන මේ වන විට බොහෝ දෙනකුගේ, විශේෂයෙන් එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ දැඩි අවධානය යොමු වී තිබෙනවා.

එජාප පාක්ෂිකයන්ගේ මේ මතය හුදු අහම්බයක් හෝ ක්ෂණික අදහසක් යැයි කීමේ කිසිදු හැකියාවක් නැහැ. වත්මන් අසාර්ථක්වය තුළ නිර්මාණය වූවක් යැයි කියා එය බැහැර කිරීමේ හැකියාවක් ද නැහැ. ඒ රනිල් වික්‍රමසිංහ විරෝධයට එජාපය තුළ වසර 25කට ආසන්න ඉතිහාසයක් තිබෙන නිසයි. මේ තත්ත්වය සරලව පැහැදිලි කළහොත් 1995 දී එජාප නායකත්වයට රනිල් වික්‍රමසිංහ මහතා පත්වීමත් සමඟ මේ විරෝධය අඛණ්ඩව පැවතුණා. යම් යම් අවස්ථාවල එය තීව්‍රර වෙමින් ද යළි සමහන් වෙමින් ද ඒකාකාරව තිබුණා. කොටින්ම රනිල් විරෝධය එජාපයේ ඓතිහාසික ව්‍යාධියක් වශයෙන් සැලකිය හැකියි.

එජාප ප්‍රභූ පන්තියේ සැලසුම

වත්මන් තත්ත්වය තුළ වඩාත් තීව්‍රර වනු ඇතැයි සැලකිය හැකි එජාප නායකත්ව අර්බුදය හේතුවෙන් පසුගිය කාලය තුළ එජාපයේ බලය අල්ලාගෙන සිටින ප්‍රභූ පන්තිය සහ නිර්ප්‍රභූ පන්තිය අතර බරපතළ ගැටුමක් නිර්මාණය වනු ඇතැයි විශ්වාස කළ හැකියි. ඒ වික්‍රමසිංහ මහතාගේ නායකත්වය තව දුරටත් පවත්වාගෙන යාමට හෝ වික්‍රමසිංහ මහතා වෙනුවට තමන්ගේ පන්තියේම අනුප්‍රාප්තිකයකු පත් කර ගැනීමට මාරාන්තික උත්සාහයක් එජාපයේ ප්‍රභූ පන්තිය විසින් ගනු ඇතැයි විශ්වාස කළ හැකි නිසයි. මේ සඳහා ප්‍රයත්නයක් මීට මාස කිහිපයකට පෙරද අති සූක්ෂම ලෙස දියත් වුණා. ඒ එජාප නායකත්වය සඳහා නවීන් දිසානායක මහතා පත් කර ගැනීම සඳහායි එහි දී ඔවුන්ගේ සැලසුම වුණේ, 2025 දී එජාප නායකත්වයට නවීන් දිසානායක මහතා ගෙන ඒමයි. ඒ සඳහා දිවංගත ගාමිණි දිසානායක මහතාට ඉතා සමීපව කටයුතු කළ ප්‍රබලයින් පිරිසක් මූලික සැලසුම් පවා සකස් කර තිබුණා. මෙම සැලසුම ක්‍රියාත්මක කළ එජාප ප්‍රභූවරයා ඇතුළු පිරිසගේ අදහස වුණේ, එජාපයට සහාය දක්වන උඩරට හා පහත රට ප්‍රභූ පන්තිය සජිත් ප්‍රේමදාස මහතා නොඉවසන හෙයින් වික්‍රමසිංහ මහතාගේ අනුප්‍රාප්තිකයා ලෙස නවීන් දිසානායක මහතා නම් කිරීම කල් තියා සැලසුම් කළ යුතු බවයි. ඒ සඳහා සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කරගත් මාධ්‍ය මෙහෙයුමක් අති සියුම් ආකාරයෙන් දියත් කළ යුතු බවත් ඔවුන් සාකච්ඡා කළා.එහෙත් මිට මාස කිහිපයකට පමන පෙර එජාප ප්‍රභූ පන්තිය එම මෙහෙයුම හකුලා ගැනීමට පියවර ගත්තා. ඊට හේතු නිශ්චිත නැතත් ඒ වන විට රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය පදවිය හරහා එජාපයේ බලය තහවුරු කර ගෙන සිටීම හා 2020 ජනාධිපතිවරණයට වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වීම නිශ්චිත කොට තිබීම හේතු වුණා යැයි අනුමාන කළ හැකියි. එහෙත් අනපේක්ෂිත ආකාරයෙන් නිර්මාණය වූ වත්මන් තත්ත්වය තුළ 2025 ඉලක්ක කොටගෙන සැලසුම් සකස් කළ එජාපයේ ප්‍රභූ කල්ලිය පියවර කිහිපයක් ඉදිරියට පැමිණ කෙසේ හෝ එජාප නායකත්වය ප්‍රභූ පන්තිය තුළම ම රඳවා ගැනීමට සටන් කරනු ඇතැයි විශ්වාස කළ හැකියි.

එජාපයේ ප්‍රභූ පන්තිය රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවට එකම විකල්පය වශයෙන් නවීන් දිසානායක මහතා හෝ එය අසාර්ථක වුවහොත් කරු ජයසූරිය මහතා වෙනුවෙන් මාරාන්තික සටනක් දෙනු ඇතැයි විශ්වාස කළ හැකියි. එජාපයේ ග්‍රාමීය හා අර්ධ නාගරික ඡන්දදායකයින් මත පදනම් වූ නිර්ප්‍රභූ පන්තිය මේ වන විටත් තම නායකයා, ගැලවුම්කාරයා වශයෙන් සජිත් ප්‍රේමදාස මහතා තෝරාගෙන අවසන් බවත් පැහැදිලි කරුණක්. රනිල් වික්‍රමසිංහ මහතාට කිසිදා නොතිබූ, වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන දුර්වලතාව වූ ‘‘ගමේ ඡන්දදායකයාට කතා කිරීමේ ශක්තිය’’ සජිත් ප්‍රේමදාස මහතාට ඇති බව ඔවුන්ගේ මූලික තර්කයයි. අනෙක් අතින් නවීන් දිසානායක මහතාට හා කරු ජයසූරිය මහතාට එල්ල වන ප්‍රධාන චෝදනාව වන ‘‘පක්ෂ හැරදා යාමේ චෝදනාවෙන් ද සජිත් ප්‍රේමදාස මහතාට මුක්තියක් හිමිවී තිබෙනවා. මේ තත්ත්වය තුළ රනිල් - නවීන් - කරු ත්‍රිත්වයම එජාපයේ නිර්ප්‍රභූ පන්තිය තුළ බල රහිත තත්ත්වයක් නිර්මාණය කරගෙන තිබෙනවා

. එජාප නිර්ප්‍රභූන්ගේ ගැලවුම්කාරයා වන සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් එජාප ග්‍රාමීය, නිර්ප්‍රභූ ඡන්ද පදනම තෘප්තිමත් වීමට සමගාමීව අති සංකීර්ණ අභියෝගයක් නිර්මාණය වනු ඇති බව මේ පිළිබඳ අවධානය යොමු කරන දේශපාලන විචාරකයින්ගේ අදහසයි. ඒ සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් වන සංකීර්ණතාවයයි. මේ සංකීර්ණතාවය එජාපයට සදාකාලික හිතවත් සුළුජන ඡන්ද පදනම තුළ දැඩි සංකීර්ණතා ඇති කරනු ඇති බව ඔවුන්ගේ අදහසයි. විශේෂයෙන් දෙමළ ජනතාවගේ මූලික අවශ්‍යතාවක්, ඉල්ලීමක් වන ජනවාර්ගික ගැටලූවට තිරසර විසඳුමක් ලබා ගැනීම හෙවත් බලය බෙදා හැරීම සජිත් ප්‍රේමදාස මහතා වෙතින් කොතරම් සාධනීය ආකාරයෙන් ඉටුකර ගැනීමට හැකියාව ලැබේද යන්න ගැටලූ සහගත බවයි දේශපාලන විශ්ලේෂකයින්ගේ අදහස වන්නේ. මෙහි දී ඔවුන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ ජාතික ගැටලූව, බලය බෙදා හැරීම සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ දැක්ම වඩාත් සමීප වන්නේ මහින්ද රාජපක්ෂ මහතාට බවයි.

සජිත් හමුවේ ඇති අභියෝග

මේ තත්ත්වයම මානව හිමිකම්, ජාත්‍යන්තර සම්බන්ධතා, විශේෂයෙන් බටහිර සමඟ සබඳතා, රාජ්‍යය නවීකරණය හා ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ද දැකිය හැකි බව ඔවුන් පෙන්වා දෙනවා. පසුගිය දශක කිහිපය පුරා දේශපාලනයේ නිරත වුවත් ජාතික දේශපාලන ගැටලූ ගැන මුනිවත රකිමින් සිටි සජිත් ප්‍රේමදාස මහතා යම් හෙයකින් එජාප නායකත්වයට පත් වුවහොත්, ජාතික දේශපාලන කරුණු ගැන තම මතය පැහැදිලි කිරීමේ දැඩි අභියෝගයකට මුහුණ දෙනු ඇතැයි ඔවුන් පෙන්වා දෙනවා.

අනෙක් අතින් සජිත් ප්‍රේමදාස මහතාට එජාපයේ සමස්ත බලය ගොනු කර ගැනීමේ අභියෝගයට ද මුහුණ දීමට සිදුවනු ඇති බව ද පැහැදිලියි. රණසිංහ ප්‍රේමදාස මහතා නොඉවසූ ආකාරයෙන් ම එජාප ප්‍රභූ පන්තිය සජිත් ප්‍රේමදාස මහතා නොඉවසන තත්ත්වය තුළ ප්‍රේමදාස මහතාට යළිත් සුපුරුදු කල්ලිවාදයට මුහුණ දීමට සිදුවනු ඇති බවත් එය මගහැර යා නොහැකි අභියෝගයක් වනු ඇති බවත් ඉතාම පැහැදිලියි. මේ තත්ත්වය පියා මෙන් ප්‍රේමදාස මහතා ද පක්ෂය තුළ බෙලහීන කිරීමට සේම නිරන්තයෙන්ම අභියෝගයට ලක්වීමේ ද හැකියාවක් නිර්මාණය කරනු ඇති බව පැහැදිලියි. මේ තත්ත්වයට එජාප නායකත්වයට කවුරුන් පත් වුවත් මුහුණ දීමට සිදුවන අභියෝගයක් .

සැබෑ අභියෝගය

එජාප නායකත්වයට කවුරුන් පත් වුවත් ප්‍රායෝගික දේශපාලනය තුළ පවතින ප්‍රවණතා බැහැර කළ නොහැකියි .එයට හේතුව 2015 අගෝස්තු 17 මහ මැතිවරණයට සාපේක්ෂව ඉදිරි මහ මැතිවරණය එජාපයට වඩා මහින්ද රාජපක්ෂ මහතාට වඩාත් වාසිදායක වී තිබීමයි.

එජාපය පසුගිය පාලන සමය තුළ කළ කී බොහෝ දේ තුළ තරුණයින්, වෘත්තිකයින් ඇතුළු කණ්ඩායම්වල විශ්වාසය බිඳ ගෙන ඇති අතර සුළුජන ප්‍රජාව තුළ ද පිළිගැනීම අභියෝගයට ලක්කර ගෙන තිබෙනවා. පසුගිය මහ මැතිවරණයේදි පොරොන්දු වූ ආකාරයට ආර්ථික වර්ධනයක් ලබා නොගැනීම, රැකියා ලක්ෂ 10ක් බිහි නොකිරීම ඇතුළු කරුණු තරුණ ප්‍රජාව අතරත්, මහ බැංකු බැඳුම්කර වංචාව, අලූත් ව්‍යවස්ථාව සම්පාදනය නොකිරීම, දේශපාලන විසඳුම පමා කිරීම ආදි කරුණු උගත් මැද පාන්තිකයින් අතරත් එජාපයට එරෙහි මතයක් නිර්මාණය කර තිබෙනවා. යම් ආකාරයකින් සජිත් ප්‍රේමදාස මහතා නායකත්වයට පත් වුවහොත් එම මතය තව දුරටත් වර්ධනය විය හැකියි.

සිදුවිය හැකි දේ

අනෙක් අතට මහින්ද රාජපක්ෂ මහතා විසින් අත්පත් කරගෙන තිබෙන මෙරට ජනගහනයෙන් සියයට 75ක් පමණ වන සිංහල ජනතාව අතර හා සියයට 69ක් පමණ වන සිංහල බෞද්ධ ජනතාව අතර ඉහළ පොදු පිළිගැනීමට අභියෝග කළ හැකි ශක්තියක් සජිත් ප්‍රේමදාස මහතාට තිබෙනු ඇතැයි කිසිසේත් විශ්වාස කළ නොහැකියි. සජිත් ඉල්ලන බව කියන ගම තුළ, දුප්පත් මිනිසුන් තුළ ප්‍රේමදාස මහතාට වඩා දැවැන්ත පිළිගැනීමක් මේ වන විට මහින්ද රාජපක්ෂ මහතාට තිබෙනවා. ඒ බව පසුගිය 2005 සිට අඛණ්ඩව අපට දැකගත හැකි වුණා. ගමේ ඡ‍න්ද පදනමේ දී මහින්ද රාජපක්ෂ මහතාගේ ආසන්නයට පැමිණීමේ හැකියාවක් සජිත් ප්‍රේමදාස මහතාට නැහැ. අනෙක් අතින් මතවාදී තලයේ දී සජිත් ප්‍රේමදාස මහතා ‘‘පුංචි මහින්ද ’’ චරිතයට ප්‍රවේශ වීමට කැමැති වුවත් සිංහල බෞද්ධ ගමට සේම කඩුවෙල, මහරගම, කෝට්ටේ, ආදි නාගරික සිංහල බෞද්ධ ජනතාවට ආමන්ත්‍රණය කිරීමේ හැකියාවක් ද සජිත් ප්‍රේමදාස මහතාට හෝ වෙනත් එජාප නායකයකුට තිබේදැයි සැක සහිතයි. නමුත් සිංහල බෞද්ධ ගමට සේම නගරිකයින්ට ද එකසේ ආමන්ත්‍රණය කරමින් ඔවුන්ගේ නොවෙනස් විශ්වාසය දිනා ගැනීමේ හැකියාව මහින්ද රාජපක්ෂ මහතා වර්ණවත් ලෙස ප්‍රකට කර තිබෙනවා.

2015 අගෝස්තු මහ මැතිවරණයේ දී දකුණෙන් එජාපය ලැබූ සාපේක්ෂ ජයග්‍රහණය තුළ සුළුජන ඡන්ද ඉටුකළ කාර්යභාරය මෙවර මහ මැතිවරණයේ දී ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වේද ? යන්න ගැන මේ වන විට දැඩි අවිනිශ්චිතභාවයක් තිබෙනවා. විශේෂයෙන් සජිත් ආගමනයක් සිදු වුවහොත් එම ඡන්ද පදනම දැඩි සේ දුර්වල විය හැකියි. . මෙය එජාපයට ඇතැම් දිස්ත්‍රික්ක ජයග්‍රහණය කිරීමට තිබෙන අවස්ථාව දුර්වල කිරීමට ප්‍රමුඛ හේතුවක් විය හැකියි.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් සියවස් 1/4ක කාලයක් එජාපයේ මහ පුටුව අල්ලාගෙන සිටීම සහ ජාතික තලයේ දෙවැනි පෙළ නායකත්වයක් බිහි නොකිරීමේ ඛේදවාචකයේ අවසන් හෝරාව මේ වන විට ළඟා වී තිබෙනවා. ඒ නිසා පාක්ෂිකයින්ගේ විශ්වාස හා පිළිගැනීම අහිමිකර ගත් අසාර්ථක නායකයෙක් හා දශක දෙකක් පමණ දේශපාලනය කළත් ජාතික දේශපාලන ප්‍රතිරූපයක් හෝ ප්‍රතිපත්තියක් නිර්මාණය කර නොගත් ප්‍රාදේශීය දේශපාලනඥයා අතර බල අරගයක් නිර්මාණය වීම අනිවාර්යයි. එජාපයේ මේ නායකයනට සටන් වැඳීමට සිදුවන්නේ දැවැන්ත පරාජයන් හමුවේ පවා නොවැටී සිටි මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ කණ්ඩායම සමගයි. එජාපයේ සාදාකාලික ව්‍යාධියක් වන ප්‍රභූ නිර්ප්‍රභූ ගැටුම යළි මහින්දාගමනයක් සඳහා පාවඩ එලනු ඇති බව මේ අනුව පැහැදිලි කරුණක්.

ඉන්ද්‍රජිත් හේවාවිතාරණ


නව අදහස දක්වන්න