මිනිසා නිසා වැනසෙන පරිසරය | දිනමිණ

මිනිසා නිසා වැනසෙන පරිසරය

වන සිව්පාවුන්ගේ නිජබිම් ආක්‍රමණය කරන මිනිසා හේතුවෙන් ජීවත්වීමේ තර්ජනයකට ලක්ව සිටින වන සතුන් සැඟවී සිට ගරිල්ලා ක්‍රමයට පහර දෙමින් තම වර්ගයා වෙනුවෙන් සටන් වදිති. විශේෂයෙන් වන අලින්ට මේ තර්ජනය බහුලව බලපා ඇත. ඇතැම් විට කණ්ඩායම් වශයෙන් ගම්මානවලට කඩා වැදී ගේ දොර වතු පිටි විනාශ කර පලා යති. මඟ රැක සිට පහර දෙන අවස්ථාද ඇත. අභ්‍යන්තර ගම්මානවලට හෝ නාගරික ප්‍රදේශවලට මෙම තර්ජනය නොමැති වුවත් ගොවිතැනෙන් රටක් ජීවත් කරවන ගොවි ජනතාවගේ හේන් කුඹුරු එක් රැයකින් විනාශ කර දමිමන් සිදුකරන හානිය අතිවිශාලය. පසුගිය සමයේ බිම් බෝම්බවලට හසු වීමෙන් වන අලින් විශාල වශයෙන් මිය ගිය අතර වර්තමානයේ හක්කපටස් විදුලිසර යෙදීම වැනි ම්ලේච්ඡ ක්‍රියාවලින් වනඅලින් බො‍හෝ සේ විනාශයට පත්වේ. මෑතකදී වාර්තා වූ සිදුවීම් අතර ජලාශවල ගිලීමෙන් වගා ළිංවලට වැටීමෙන් දුම්රියට හසුවීමෙන්, මිය යන සංඛ්‍යාව ඉහළ ගොස් ඇත. පාසල් යන දරුවන් හෝ වගා බිමේ සිටින ගොවියන් මරා දැමීම, ගොවීන්ගේ නිවාස විනාශ කිරීම, රැස්කර ගත් ධාන්‍ය විනාශ කිරීම සිදු වෙයි. මෙවැනි හානියක් සිදුවුවත් රටට විදේශ විනිමය උපයාදෙන සත්වයින් අතර වන අලියා සුවිශේෂී සත්වයෙකි. දෙස් විදෙස් සංචාරකයන් යාල, විල්පත්තු, මින්නේරිය, වස්ගමුව, උඩවලව වැනි උද්‍යාන වෙත යන්නේ වන අලින් සහිත වන අසිරිය විඳගන්නටය. රටට විදේශ විනිමය මෙන්ම ජනතාවගේ මානසික සුවපත් භාවය ඇති කරවමින් විනෝදාස්වාදය ලබා ගැනීමේ කොටස්කරුවකු ලෙසද වන අලියා කටුතු කරයි. වනඅලි සංඛ්‍යාව හාරදහසකට පමණ සීමා වී ඇති බවක් වාර්තා විය. අතීතයේ සිටම අප රට යටත් කරගත් විදේශිකයන් අලි ඇතුන් අල්ලා රට පැටවීම, ඇත් දළ ලබාගැනීම සඳහා ඇතුන් මරා දැමීම සිදුවිය. වන අලියා යනු එක්තරා අයුරකින් රටට සම්පතකි. එහෙත් අප රටේ අනෙකුත් අංශ සේම වන අලින් හෝ වන ගහනය රැක ගැනීමේ නිසි කළමනාකරණයක් නොමැතිකමින් දිනෙන් දින විනාශ වන අලි සංඛ්‍යාව වැඩිවෙමින් පවතී. අලි ආරක්ෂා කර ගැනීම සඳහා මහජන මුදලින් විශාල ප්‍රමාණයක් වාර්ෂිකව වැය කරයි. ඒ වෙනුවෙන් වෙනම දෙපාර්තමේන්තුවක්ද පිහිටුවා ඇත.

ජනාවාස වගාබිම් ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා පසුගිය කාලයේ ඉදිකළ අලි වැටවල් සුදු අලින් බවට පත්වී ඇති බව වාර්තා විය. සතා සිව්පාවාට පරිසරයට ආදරය කළ නිලධාරීන් තමන්ට හැකි උපරිම අයුරින් වන සතුන්ගේ ආරක්ෂාව ජනතාවගේ ආරක්ෂාවටත් කටයුතු කළහ. වර්තමානය වන විට මේ සියල්ල මුදල් මත පදනම් වූ ව්‍යාපාර බවට පත්ව ඇත. අලිවැට ගසන කොන්ත්‍රාත්කරුවා තම කාර්යයට වඩා මුදල් ගනුදෙනුවලට ප්‍රමුඛතාවය දැක්වීම නිසා නිසි ප්‍රමිතියකින් හෝ නඩත්තු කාල සීමාවන් පිළිබඳ පසුවිපරම් කිරීමක් දක්නට ඇත. මෙවන් තත්ත්වයක් යටතේ අලි වැට ඉදිකිරීම කිසියම් ප්‍රමිතියකට අනුව සිදුකළ යුතුය. ඉතා කෙටිකාලයකින් දිරාපත් වන ලී දඬු වෙනුවට පදම් කළ ලී කණු හෝ කොන්ක්‍රීට් කණු භාවිතා කළ හැක. වන උද්‍යාන ඇතුළත අලින්ට අවශ්‍ය තෘණ වගාවත්, ජලාශ ඉදිකිරීමත් ඒවා නිසි පරිදි නඩත්තු කිරීමත් නියං සමයේදී ජලාශවලින් ජලය පොම්ප කිරීමේ ක්‍රමවේදයකුත් සකස් කළ හැක. මීට වසර ගණනකට පෙර විදේශ ආධාර ලබන ව්‍යාපෘතියක් ලෙස මින්නේරිය උද්‍යානය තුළ වගාකර ඇති කටු උණ වගාවක් දක්නට ලැබුණි. මේ වගාව නිසා ස්වභාවික තෘණ වගාවන් විශාල ලෙස විනාශ වී ඇති අතර කටුඋණ වගාවෙන් ප්‍රදේශයම දැඩි අවහිරයකට පත්ව ඇත. කටු සහිත මෙම පරිසරයේ වන අලින්ට ජීවත්වීමට නොහැකි වීම නිසා වන අලින් එම ප්‍රදේශවලින් ඉවත්වීමේ තර්ජනය තුළ නැවත මහජන මුදල් වැයකර විශාල උණ පඳුරු ඉවත් කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර ඇති බවක්ද දක්නට ලැබුණි. විදේශීය සංචාරකයාට අපේ රටේ වැදගත්කම රඳා පවතින්නේ අප රටට ආවේණික වනගහණය, පරිසර පද්ධතිය, ගහකොළ, සතා සිව්පාවන්, පෞරාණික ඉදිකිරීම, ඇළ දොළ, ගංගා පද්ධති, දියඇලි, මුහුදු වෙරළ, ආගන්තුක සත්කාරය සහ දේශීය වෛද්‍ය ක්‍රම, ආහාර රටා සහ මනස්කාන්ත වටපිටා හේතුවෙනි. වර්තමාන තරඟකාරී ලෝකයේ මෙවැනි දර්ශනීය පරිසර පද්ධතියක් නොමැති රටවල් විශාල මුදල් වියදම් කරමින් එවැනි පද්ධතීන් අලුතින් නිර්මාණය කිරීමට කටයුතු කරයි. එහෙත් අප රටේ තිබෙන ස්වභාවික පරිසරය පවා විනාශ කරන විවිධ ශාක වර්ග, මල් වර්ග, දැව වර්ග ආනයනය කර දිගු කාලීනව අපගේ පරිසර පද්ධතියට සිදු කරන්නේ විශාල හානියකි. මීට වසර 30 – 40 පෙර වගා කළ කොස්, පොල්, දෙල්, අල, බතල වගාවත් හොර, සපු, මිල්ල, චීන, හැඩවක, නැදුන්, බුරුත වැනි වටිනා දැව වර්ග කපා විනාශ කර ඒ බිම්වල ෆයිනස්, ඇකේෂියා, ටර්පරන්ටයින් මෙන්ම පරිසර හා ආර්ථික හානි ඇති කරන කටුපොල් වගාවන් විවිධ ගෙවතු අලංකරණ ශාක වර්ගත් ප්‍රචලිත කරවා ඇත. පසුගිය කාලවල ඇති වූ දැඩි නියං කාලවල ජල උල්පත් සිඳීයාම, ගොවිතැන් විනාශ වීම, වර්ෂා කාලවලදී නාය යෑම, පස සේදී යාම, විශාල ලෙස ඇති වූ අතර විද්‍යාත්මක පර්යේෂණ නොකළත් එම ප්‍රදේශවල සිදුකරන නිරීක්ෂණවලදී පෙනී ගොස් ඇත්තේ ආගන්තුක ශාක වගා කිරීම නිසා මෙම හානිය සිදුවී ඇති බවයි. විවිධ ආධාර ව්‍යාපෘති යටතේ වරින් වර රටට පැමිණෙන මෙවැනි දේ දේශීය පරිසර පද්ධතියත්, ආර්ථික රටාවත්, ජල සම්පතත් විනාශ කිරීමේ දීර්ඝ කාලීන සැලසුම් විය හැක. මේ පිළිබඳව අවධියෙන් සිට කටයුතු කිරීම පරිසරයට සංවේදී මිනිසුන්ගේ යුතුකමකි. වර්තමානය වන විට එදා පරිසරයේ පැවති පරිසරයම සුවඳවත් කළ මල් වර්ග වෙනුවට ආනයනික පැළෑටි වර්ග ගෙවතු අලංකරණයට යොදා ඇත. ස්වභාවික පලතුරු වෙනුවට ආගන්තුක පලතුරු වර්ග හඳුන්වා දී ඇත. මේ නිසා අලංකාර පරිසරය විනාශ වන අතරම විවිධ රෝගවලට ලක්වන ජනතාවද වැඩිවෙමින් පවතී.

මා ඉහතින් සඳහන් කළ පරිදි වන අලින්ට සිදුවන හානි පිළිබඳ සැලකීමේදී පසුගිය සතියේ අනුරාධපුර මහව ප්‍රදේශයේදී දුම්රියට හසුවී මිය ගිය වන අලින් කිහිපදෙනෙකු දක්නට ලැබුණි. සංවර්ධන කාර්යයේදී අලිමංකඩ පිළිබඳව සැලකිලිමත්ව කටයුතු කිරීම පරිසරය ආරක්ෂා කිරීමට හේතුවකි. දුම්රිය මාර්ග හරහා වන අලි මාරු වීම සුලභ තත්ත්වයකි. මේ තත්ත්වය පාලනය කර ගැනීම සඳහා ක්‍රමවේදයන් සොයා බැලිය යුතුය. ඉදිකර ඇති දුම්රිය මාර්ග වෙනස් කළ නොහැකිය. එසේම වන අලින් මාරු වන ස්ථානද දෛනිකව වෙනස් නොවේ. එබැවින් අවම වශයෙන් වන අලින් මාරුවන ස්ථානවලදී උමං මාර්ගයක් සකස් කර දුම්රිය පාලම් ඉදිකළ හැකිනම් දිනපතා සිදුවන මෙවැනි හානි වළක්වා ගත හැක. මේ එකම විසඳුම නොවන අතර විකල්ප ක්‍රියාමාර්ග කෙරෙහි අවධානය යොමු කිරීමට මෙය අවස්ථාවක් කරගත හැක.

සෝමදාස කන්දෙගේ
මාතර


නව අදහස දක්වන්න