තහනම් උත්තේජක පරීක්ෂා දැල පුළුල් කිරීමට නව ජීව දත්ත පත්‍රිකාවක් | දිනමිණ

තහනම් උත්තේජක පරීක්ෂා දැල පුළුල් කිරීමට නව ජීව දත්ත පත්‍රිකාවක්

ප්‍රින්ස් ගුණසේකර

ඉදිරි වසර ආරම්භයේ සිට තහනම් උත්තේජක පරීක්ෂා පුළුල් කිරීමේ අරමුණින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජීව දත්ත පත්‍රිකාවක් හඳුන්වාදීමට ජාතික තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය සූදානම් වෙයි. ජාතික තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසන්නේ නව ක්‍රමය අනුව ක්‍රීඩක ක්‍රීඩිකාවන් වසරකට තුන්වතාවක් හෝ සිවු වතාවක් තහනම් උත්තේජක පරීක්ෂාවට ලක්කොට එහි ප්‍රතිඵලය ජීව දත්ත පත්‍රිකාවේ වෙන වෙනම සටහන් කිරීමට කටයුතු කරන බවයි.

රුධිර සාම්පල මගින් හෝ මුත්‍රා සාම්පල මගින් සිදු කෙරෙන තහනම් උත්තේජක පරීක්ෂාවලදී තහනම් උත්තේජක ගත් බවට එක එල්ලේම තහවුරු නොවුනද, රුධිර සාම්පලයේ යම් වෙනසක් හඳුනා ගතහොත් ඒ ඔස්සේ වැඩිදුර පරීක්ෂණ කොට තහනමක් පැනවීමට කටයුතු කරන බව ඒ මහතා පැවැසීය. තහනම් උත්තේජක සුලු ප්‍රමාණයක් භාවිතා කරන ක්‍රීඩක ක්‍රීඩිකාවක් වෙතොත් ඔහු හෝ ඇය මේ නව ජීව දත්ත පත්‍රිකා ක්‍රියාත්මක කිරීම යටතේ හඳුනාගත හැකි වනු ඇතැයි මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා සදහන් කළේය.

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජීව දත්ත පත්‍රිකා ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය ඉන්දියාවේ සාර්ථකවී ඇති අතර දකුණු ආසියාවේ අනෙක් එකම රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ. ලෝක තහනම් උත්තේජක මර්දන ඒජන්සියේ දැනුම්දීම මත දැනට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක රුධිර සාම්පල පරීක්ෂාව මගින් සිදු කෙරෙන තහනම් උත්තේජක පරීක්ෂා ඉතා සාර්ථක බැවින් එය ජීව දත්ත පත්‍රිකා ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදයට විශාල පහසුවක්වී ඇත.

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ රුධිර පරීක්ෂාව මගින් තහනම් උත්තේජක පරීක්ෂණ සිදු කිරීමේදී සියයට සියයක්ම නිවැරදි ප්‍රතිඵල ලැබෙන බවත්, කිසිදු අභියෝගයකින් තොරව තහනම් උත්තේජන සුලු වශයෙන් හෝ භාවිතා කොට ඇත්ද? නැද්ද? යන්න තහවුරු කරගත හැකි බව පිළිගත් මතය වේ.

තහනම් උත්තේජක භාවිතය තහවුරු කරගැනීමට සිදු කරන මූත්‍රා පරීක්ෂණය විදෙස් රටක රසායනාගාරයකදී සිදු කෙරෙන අතර ඒ සඳහා රුපියල් 25000ක් පමණ වැය වේ.

එහෙත් රුධිර සාම්පල පරීක්ෂණ මගින් තහනම් උත්තේජක පරීක්ෂණයක් සිදු කිරීමේදී මූත්‍රා සාම්පල පරීක්ෂාවට වඩා අධික මුදලක් වැය කිරීමට සිදුවනු ඇත. එහෙත් මුදල් ප්‍රමාණය අනුව නොව වඩාත් පහසුවෙන් තහනම් උත්තේජක ඇත්දැයි තහවුරු කර ගත හැකි ක්‍රමයක් ලෙස රුධිර සාම්පල පරීක්ෂාව සුදුසු බව ලෝක තහනම් උත්තේජක මර්දන ඒජන්සියයේ මතයවී තිබේ.

නව අදහස දක්වන්න