ගජ සුළි කුණාටුවෙන් යාපනයේ පවුල් 205ක් අවතැන් වෙලා | දිනමිණ

ගජ සුළි කුණාටුවෙන් යාපනයේ පවුල් 205ක් අවතැන් වෙලා

වව්නියාව උතුර සමූහ බන්දුල සෙනෙවිරත්න
සුළි කුණාටුව හේතුවෙන් යාපනයේ නිවාස මතට ගස් කඩා වැටී තිබූ අයුරු..

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ හටගෙන ඇති ගජ සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ පවුල් 205කට අයත් පුද්ගලයන් 405 දෙනෙකු අවතැන්වී ඇතැයි යාපනය ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

සුළඟේ බලපෑම හේතුවෙන් යාපනයේ නිවාස 100කට පමණ හානි සිදුව ඇති අතර ඉන් නිවාස 75 පමණ සම්පූර්ණ ලෙස හානි සිදුව ඇතැයිද ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කරයි.

අධික සුළං තත්ත්වය හේතුවෙන් නිවාස මතට ගස් කඩා වැටීම හේතුවෙන් වැඩි පිරිසක් අවතැන්ව සිටින අතර මේ සුළි කුණාටුව හේතුවෙන් උතුරේ සෙසු දිස්ත්‍රික්ක වන වවුනියාව, මුලතිව්, මන්නාරම හා කිළිනොච්චියට මෙතෙක් කිසිදු හානියක් සිදුව නොමැති බවද ආපදා කළමනාකරණ නිලධාරීහු පවසති. මේ සුළි කුණාටු තත්ත්වයෙන් වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ යාපනය කයිට්ස් ප්‍රදේශයටය. එහි පවුල් 105 අයත් 270 දෙනෙක් අවතැන්ව සිටී.

ඩෙල්ෆ් මුහුදු ප්‍රදේශයටද මේ සුළඟේ බලපෑම දැඩි ලෙස පැවතුණි. ඉදිරියේ දී සුළි කුණාටු තත්ත්වය වර්ධනය විය හැකි බැවින් අවතැන් වන පිරිස ඉහළ යා හැකි බව පවසන ආපදා කළමනාකරණ ඒකකය ප්‍රදේශවාසීන්ට දැඩි අවධානයෙන් පසුවන ලෙස ආරක්ෂක අංශ උපදෙස් ලබා දී ඇත.

ගජ සුළි කුණාටුව හේතුවෙන් උතුරේ ධීවරයන් දෙවන දිනටත් 16 වැනි දින ධීවර කටයුතුවලින් ඉවත්ව සිටියේය.

 


නව අදහස දක්වන්න