පාර්ලිමේන්තුවට ආයුධ ගෙනා මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගන්න | දිනමිණ

පාර්ලිමේන්තුවට ආයුධ ගෙනා මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගන්න

මහින්ද අලුත්ගෙදර
ආචාර්ය විමල් ගීගනගේ හා සත්‍ය ගවේෂණ සංවිධානයේ සාමාජිකයන් සමඟ නීතිඥ ප්‍රේමනාත් එස්. දොලවත්ත මහත්වරු කොළඹ පොලිස් මූලස්ථානය වෙත පැමිණ පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන විමර්ශනයක් කරන මෙන් නඩුවක් ගොනුකිරීමට පැමිණි අවස්ථාව. ඡායාරූපය - විමල් කරුණාතිලක

තියුණු ආයුධ රැගෙන පාර්ලිමේන්තුවට පැමිණ ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන්ට පහරදීමට උත්සාහ කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රන්ජන් රාමනායක සහ පාලිත තෙවරප්පෙරුම මහත්වරු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ නීතීඥවරු පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනීසිටින උත්තරීතර පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් මෙලෙස ක්‍රියාකිරීම නරක පූර්වාදර්ශයක් වන බවද පෙරේදා (15) දවසේ මෙලෙස ක්‍රියාකළ එම මන්ත්‍රීවරුන් ඉදිරි දිනක දී කඩු, කිනිසි සමඟ පාර්ලිමේන්තුවට පැමිණීමට ඉඩ ඇති බවද සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ කැඳවුම්කරු ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා අවධාරණය කරයි.

රටට වැරැදි පූර්වාදර්ශයක් ලබාදෙමින් උත්තරීතර පාර්ලිමේන්තුව වෙත තියුණු ආයුධ රැගෙන ආ එම මන්ත්‍රීවරුන් දෙදෙනා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස සත්‍ය ගවේෂකයෝ සංවිධානය නියෝජනය කරන ප්‍රේම්නාත් සී. දොලවත්ත, නලින් සමරකෝන්, සමින්ද කෝනාර සහ හර්ෂණ රණසිංහ නීතීඥවරුන් ප්‍රමුඛ කණ්ඩායමක් විසින් පොලිස් මූලස්ථාන පරිශ්‍රයේ පිහිටි පොලිස් සහන මැදිරිය වෙත ඊයේ (16) පස්වරුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කළහ.

එහිදී අදහස් දක්වමින් සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ කැඳවුම්කරු ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පෙන්වා දුන්නේ මේ සිද්ධිය දැනගත් වහාම අංක යූ.ඩී.ආර් 110/66/01 අංකය යටතේ මිරිහාන පොලීසිය වෙත පෙරේදා (15) පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවත් මීට පෙරද පාර්ලිමේන්තුවේ ගැටුම් ඇතිවුණු අවස්ථා දැක තිබුණත් ඒ කිසිවක් අනුමත නොකරන බවත්ය.

රටේ ප්‍රජාතන්ත්‍රවාදය යනු ගහ ගැනීම නොවන බව පෙන්වාදුන් ඒ මහතා මෙලෙස ප්‍රචණ්ඩකාරී සිදුවීමක් පාර්ලිමේන්තුවේ සිදුවීම දෙවැනි වන්නේ ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට පමණක් බවද මෙහිදී රන්ජන් රාමනායක සහ පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරුන් තියුණු ආයුධ අතැතිව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට පහරදුන් බවද පෙන්වා දුන්නේය.

එක්සත් ජාතික පක්ෂය විසින් මෙලෙස නිර්මාණය කිරීමට උත්සාහ කරන වැරැදි පූර්වාදර්ශය මෙතැනින්ම අවසන් කළයුතු බව සඳහන් කළ දොලවත්ත මහතා එසේ නොවන්නේ නම් ඉදිරියේ දී ඔවුන් විසින් මීට වඩා දරුණු ලෙස හැසිරීමට ඉඩ තිබෙන බවද මේ පුද්ගලයන්ට දැඩි දඬුවම් ලබාදිය යුතු බවද කීවේය. මේ අතර ඒ මහතා පෙන්වා දුන්නේ පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී මෙවැනි ක්‍රියාවන් සිදුකළද රටේ අපරාධ නීතියේ ක්‍රියාකාරිත්වය අවලංගු නොවන බවත් එම නීතිය රටේ සෑම තැනකටම එක හා සමාන ලෙස වලංගු වන බවත්ය.

 

නව අදහස දක්වන්න