විමල් වීරවංශ ඇතුළු 6කට එරෙහිව චෝදනා පත්‍රය පෙබ:11දා විභාගයට | දිනමිණ

විමල් වීරවංශ ඇතුළු 6කට එරෙහිව චෝදනා පත්‍රය පෙබ:11දා විභාගයට

සිරන්ජනි කුමාරි

එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණ පවත්වා මංමාවත් අවහිර කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු විත්තිකරුවන් හයදෙනෙකුට එරෙහිව කුරුඳුවත්ත පොලිසිය ඊයේ (16) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ ගොනු කළ චෝදනා පත්‍රය ලබන පෙබරවාරි 11 වැනි දිනට විභාගයට ගැනීමට මහෙස්ත්‍රාත්වරිය දින නියම කළාය.

පොලිසිය විසින් මුලින් සැකකරුවන් හත්දෙනෙකු නම් කර තිබුණ ද පසුව අදාළ ලොරි රථ රියැදුරු සොයා ගත නොහැකි බවට අධිකරණයට දැන්වීමෙන් අනතුරුව පුර්වගාමී මහෙස්ත්‍රාත්වරයා සංශෝධිත පැමිණිල්ලක් ගොනු කරන ලෙසට පොලිසියට කරන ලද නියෝගයක් අනුව කුරුඳුවත්ත පොලිසිය ඊයේ(16) මේ සංශෝධිත පැමිණිල්ල සැකකරුවන්ට එරෙහිව අධිකරණය හමුවේ ගොනු කරනු ලැබිණි.

අධිකරණය විසින් විත්තිකරුවන්ට එරෙහිව මේ චෝදනා පත්‍රය කියවා දීමෙන් අනතුරුව ඔවුන් නිවැරදිකරුවන් බවට අධිකරණය හමුවේ පැවසීමෙන් පසු නඩුව මෙසේ විභාගය සඳහා දින නියම කෙරිණ.

එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණ පවත්වා මංමාවත් අවහිර කරගෙන මහජන පීඩාවක් ඇති කළ බවට චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු හයදෙනෙකුට එරෙහිව කුරුඳුවත්ත පොලිසිය මේ සංශෝධිත පැමිණිල්ල අධිකරණය හමුවේ ගොනු කර තිබිණි.

2016 වසරේ එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ දී තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණ පවත්වා මංමාවත් අවහිර කර මහජන පීඩාවක් ඇති කළ බවට චෝදනා කරමින් විමල් වීරවංශ ඇතුළු සැකකරුවන් හය දෙනෙකු අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි.

මේ සැකකරුවන් අතර හිටපු නියෝජ්‍ය ඇමැති වීරකුමාර දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර, පියසිරි විජේනායක, මොහොමඩ් මුසම්මිල්, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රොජර් සෙනෙවිරත්න මහත්වරුන් ද ඇතුළත් විණ.

එහිදී පොලීසිය විසින් ඉදිරිපත් කළ චෝදනා පත්‍රය විභාගයට ගැනීමට දින නියම කළ මහේස්ත්‍රාත්වරිය සාක්ෂිකරුවන් මීළඟ දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කළාය.


නව අදහස දක්වන්න