පෙත්සම් පූර්ණ විනිසුරු මඬුල්ලක් හමුවෙහි කැඳවන්නැයි මෝසමක් | දිනමිණ

පෙත්සම් පූර්ණ විනිසුරු මඬුල්ලක් හමුවෙහි කැඳවන්නැයි මෝසමක්

නෙල්කා මැදගෙදර

පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් සහ මහ මැතිවරණයක් කැඳවමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව ගොනු කළ පෙත්සම් සියල්ල විනිසුරුවරුන් පස්දෙනකු හෝ ඊට වැඩි සාමාජික සංඛ්‍යාවකගෙන් යුතු පූර්ණ විනිසුරු මඬුල්ලක් හමුවෙහි කැඳවන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (16) මෝසමක් ගොනු කරන ලදී.

එම පෙත්සම්වලට මැදිහත් පාර්ශ්ව පෙත්සම්කරුවන් ලෙස ඉදිරිපත් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහාචාර්ය ජී. එල්. පීරිස්, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, වැල්ලවත්තගේ ජගත් සිසිර සේන ද සිල්වා, රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්න සුදත් ජයසුමන, නීතිඥ ප්‍රේමනාත් චමින්ද දොලවත්ත විසින් මේ මෝසම ඉදිරිපත් කර තිබේ. දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් ඉදිරිපත් කළ පෙත්සමට මැදිහත් පාර්ශ්වකරුවන් ලෙස මේ මෝසම ඉදිරිපත් කර ඇත. මේ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට මූලික වූ කරුණු අතිශයින්ම ජාතික සහ ව්‍යවස්ථාමය වැදගත්කමකින් යුතු බව මෝසමෙහි සඳහන් වේ. එමෙන්ම එම පෙත්සම්වලින් මතු කරන කරුණුවලට මුල් වූ ගැසට් නිවේදනය ජනතාවගේ ඡන්ද අයිතියට ඍජුවම බලපෑම් කරන්නක් බව ද එහි දැක්වේ.

රටේ නීතියට, සාමයට සහ රාජ්‍ය පාලනයට වැදගත් බලපෑමක් මතු කරන කරුණු මේ පෙත්සම් මගින් මතු කර ඇති නිසා පෙත්සම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 132 (3) ව්‍යවස්ථාව මගින් පනවා ඇති විධිවිධාන අනුව පංචපුද්ගල, සත් පුද්ගල හෝ පූර්ණ විනිසුරු මඬුල්ලක් හමුවෙහි කැඳවන ලෙස මෝසම මගින් ඉල්ලා තිබේ.

නව අදහස දක්වන්න