ප්‍රජාතන්ත්‍රවාදයට සිදු වූ තුවාලය සුව කරන්න බෑ | දිනමිණ

ප්‍රජාතන්ත්‍රවාදයට සිදු වූ තුවාලය සුව කරන්න බෑ

ස්වර්ණා විජේකෝන්, රෝෂන් තුෂාර, සන්ධ්‍යා කරුණාරත්න

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට සිදුවූ තුවාලය මන්ත්‍රීවරුන්ට තුවාල සිදුවූ ආකාරයට බෙහෙත් දමා සුව කළ නොහැකි බවත්, මුළු ලෝකයම ඒ පිළිබඳව කතාකරන තත්ත්වයට පත්වූ බවත් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (16) පැවසීය.

ලෝක පාර්ලිමේන්තු ඉතිහාසයේ මෙවන් දෙයක් සිදුවූ දෙවැනි අවස්ථාව මෙය බවත්, එවැනි මොහොතක ප්‍රජාතන්ත්‍රවාදය තහවුරුකර පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කළ කතානායකවරයාට ස්තුති කරන බවත් වික්‍රමසිංහ මහතා පැවසීය.

පාර්ලිමේන්තුව සෙංකෝලය සහිතව ඕනෑම ස්ථානයක රැස්කිරීමට කතානායකවරයාට හැකි බවත්, කතානායක කරු ජයසූරිය මහතා ස්ථාවර නියෝග අනුව කටයුතු කර ඇති බවත් රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

කතානායකතුමා පාර්ලිමේන්තුව ආරම්භ කිරීමට නියමිත වේලාවට විනාඩි 45 පමණ පසුව පොලිසිය සමඟ සභාවට ආවා. සෙංකෝලය එතුමා සභාව තුළට රැගෙන ආවා. ඉන්පසුව පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සම්ප්‍රදායන් අනුගමනය කරමින් සභාවේ කටයුතු ආරම්භකර පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අත්හිටුවීමේ නිවේදනය සුමන්තිරන් මහතාට ඉදිරිපත් කරන්න අවස්ථාව දුන්නා. පසුගිය 14 වැනි දින අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ අගමැතිවරයාට හා කැබිනට් මණ්ඩලයට විශ්වාසය නෑ කියන විශ්වාසභංග යෝජනාව ඡන්ද විමසීමට ගත්තා.

කතානායකවරයාට බලය තියෙනවා ස්ථාවර නියෝග 47 (1) උප වගන්තිය යටතේ ඡන්ද විමසීමක් කිරීමේදී නමින් ඡන්දය ගන්න බැරි නම් කටහඬින් ඡන්දය ගන්න. කතානායකවරයාගේ එම ස්ථාවරයට ස්ථාවර නියෝග 42 යටතේ කවුරුවත් විරුද්ධ වුණේ නෑ. විශ්වාසභංග යෝජනාවට විරුද්ධව කිසිදු ඡන්දයක් ලැබුණේ නෑ.

පාර්ලිමේන්තු ඉතිහාසයේ මෙවන් ආකාරයට පාර්ලිමේන්තු රැස්වීම් පවත්වා තිබෙනවා. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට ජර්මන් ගුවන් හමුදාව බෝම්බ දැම්ම වෙලාවේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඒ අසල ගොඩනැගිල්ලක රැස් වුණා. විල්සන් චර්චිල් අගමැතිතුමාට ජාතික ආණ්ඩුවක් පිහිටුවන්න පුළුවන් වුණේ ඒ නිසයි.

අපි කතානායකවරයාට ස්තූති කරනවා.

පාර්ලිමේන්තුවට ගිනි තියපු ලෝක ඉතිහාසයේ දෙවැනි සිද්ධිය ලංකාවෙන් වාර්තා වෙනවා. කවුද මෙය අනුමත කරන්නේ.

පාඨලී චම්පික රණවක, රවුෆ් හකීම්, සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරු අදහස් දැක්වූහ.

නව අදහස දක්වන්න