බහුතරය නියමානුකූලව පෙන්වන්න | දිනමිණ

බහුතරය නියමානුකූලව පෙන්වන්න

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කතානායක කරු ජයසූරිය මහතා වෙත දැනුම් දී තිබුණේ පාර්ලිමේන්තු සම්ප්‍රදායට ගරු කරමින් බහුතරය නියමානුකූලව පෙන්වා සිටින ලෙසය. එසේම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවට මන්ත්‍රීවරුන්ගේ නමින් ඡන්දය විමසන ලෙස ද ජනාධිපතිවරයා පෙරේදා (15) කථානායක කරු ජයසූරිය මහතා සහ පක්ෂ නායකයන් හමුවූ අවස්ථාවේදී දැනුම් දී තිබුණි.

කතානායක කරු ජයසූරිය මහතා සහ එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ හා දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් පෙරේදා (15) හමු වූ අවස්ථාවේ දී ජනාධිපතිවරයා ඒ බව දැනුම් දී තිබුණි.

පැය දෙකක පමණ දීර්ඝ කාලයක් පුරා පැවැති මෙම සාකච්ඡාවේ දී රටේ පවතින දේශපාලන තත්ත්වය පුළුල් ලෙස සාකච්ඡාවට බඳුන් කෙරිණි. එහි දී පාර්ලිමේන්තුවේ බහුතරය තමන් සතු වන බව ප්‍රකාශ කළ එම පක්ෂ නායක කණ්ඩායම එය පිළිගන්නා ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටි අතර, තමන් සෑමවිටම ව්‍යවස්ථාවට අනුව කටයුතු කරන බවත්, ඊට ගරු කරන බවත් ජනාධිපතිතුමා අවධාරණය කළේය. ඒ අනුව පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගරු කරමින් තම බහුතරය නියමානුකූලව පෙන්වා සිටින ලෙස ජනාධිපතිතුමා ඔවුන්ට දැනුම් දුන්නේය.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවේ අංක 01 වගන්තිය ඉවත් කිරීම සහ යළි හෙට දිනයේ දී එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිළිබඳත් මෙහි දී අවධානය යොමු වූ අතර, ඡන්ද විමසීම මන්ත්‍රීවරුන්ගේ නමින් සිදු කරන ලෙස ජනාධිපතිතුමා නියෝජිත පිරිසගෙන් ඉල්ලා සිටියේ ය.

ඊට අනුව පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන්නැයි ප්‍රකාශ කළ ජනාධිපතිතුමා ඒ සම්බන්ධයෙන් ව්‍යවස්ථානුකූලව කටයුතු කළ හැකි බව නියෝජිත පිරිසට දැනුම් දුන්නේය.

එසේම පාර්ලිමේන්තුව තුළ සාමය තහවුරු කරමින් ප්‍රජාතන්ත්‍රවාදය සහ ස්ථාවර නියෝගවලට අනුව කටයුතු කරන ලෙස ගරු ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී.

නව අදහස දක්වන්න