ව්‍යවස්ථාව රකිමින් ස්ථිර ආණ්ඩුවක් පිහිටුවන්න | දිනමිණ

ව්‍යවස්ථාව රකිමින් ස්ථිර ආණ්ඩුවක් පිහිටුවන්න

පාර්ලිමේන්තු සම්ප්‍රදාය හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව දේශපාලනික සදාචාරයන් ආරක්ෂා කරමින් ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන ලෙස තමන්වහන්සේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව මල්වතු පාර්ශ්වයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යවමින් කියා සිටිති. මහා නායක හිමියන් යැවූ එම ලිපියේ වැඩි දුරටත් මෙසේ ද සඳහන් වෙයි.

පසුගියදා නව අගමැතිවරයකු පත්කිරීමත්, නව කැබිනට් මණ්ඩලයක් පත්කිරීමත් පිළිබඳ පක්ෂ විපක්ෂ දෙපාර්ශ්වයේම පිරිස් හා විවිධ දේශපාලනික මත දරන කණ්ඩායම් මෙන්ම රටවැසියන් හා දෙස් - විදෙස් දෙපාර්ශ්වයම ද මේ වන විට රට පත්ව ඇති දේශපාලනික අරාජිකත්වය පිළිබඳ විවිධ මත දරන බව සැමට පැහැදිලිව පෙනෙන්නට ඇත.

රටේ ආර්ථිකමය, සමාජමය, දේශපාලනිකමය මෙන්ම ආගමික වශයෙන් මෙලෙස දිනෙන් දින පිරිහීම තුළින් රටේ පැවැත්ම ඉතා ඉක්මනින් බිඳ වැටෙන බව පැහැදිලි සත්‍යයකි. මේ වන විට රාජ්‍ය ආයතන, කාර්යාල, දෙපාර්තමේන්තු ආදී සියලු තැන්හි කටයුතු මෙන්ම සාමාන්‍ය ජන ජීවිතයට බලපාන රාජ්‍ය ක්‍රමවේදයන් ද සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇත. එවන් පසුබිමක් තුළ රටේ පළමු පුරවැසියා වශයෙන් ඔබතුමාට දේශපාලනික වශයෙන් ඇති සුජාතභාවයන් සුරක්ෂිත කිරීමේ වගකීම නිසි ලෙස පවත්වාගෙන යා යුතුව ඇති බව අපගේ හැඟීමයි. පාර්ලිමේන්තු සම්ප්‍රදාය හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව දේශපාලනික සදාචාරයන් සංරක්ෂණය කරමින් ස්ථිර ආණ්ඩුවක් පිහිටුවීම සඳහා කටයුතු කිරීම තුළින් රටේ දැනට පවතින දැඩි අර්බුදකාරී තත්ත්වය සමනය කොට ජනතාවගේ අභිවෘද්ධිය සුරක්ෂිත කරමින් තිරසාර රටක් ඇති කිරීමට නිසි පියවර ගත යුතු මොහොතකට රට පත්ව ඇති බව ද පෙනී යයි.

එහෙයින් පවතින දැඩි අර්බුදකාරී තත්ත්වය හමුවේ ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් පාර්ලිමේන්තුව රැස්කොට මේ පිළිබඳ කඩිනම් තීරණයක් ගැනීම වඩාත් යෝග්‍ය බව අපගේ හැඟීමයි. ඒ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලවත්, දේශපාලනික සදාචාරාත්මකභාවයත් ආරක්ෂා කරමින් සුදුසු නිසි පියවරක් ගැනීමට හැකිවේ යැයි අප විශ්වාස කරමු. ඒ තුළින් රටේ සියලුම අංශයන්ගේ බිඳ වැටීම නවතාලිය හැකිවා සේම පොදු මහජනතාවගේ අභිවෘද්ධිය හා යහපැවැත්මත් රටේ සාමකාමී සහජීවනයත් ආරක්ෂා කර ගත හැකි බව කරුණාධ්‍යාශයෙන් යුතුව සිහිපත් කර සිටිමු.

ඔබට ත්‍රිවිධ රත්නයේ හා ශ්‍රී දළදා වහන්සේගේ ආශිර්වාදය නොමඳව ලැබේවායි ආශිංසනය කරම්හ.


නව අදහස දක්වන්න