එෆ්. ඒ. පාපන්දු අවසන් පූර්ව වටයට කොළඹ-යුද හමුදාව සුදුසුකම් ලබති | දිනමිණ

එෆ්. ඒ. පාපන්දු අවසන් පූර්ව වටයට කොළඹ-යුද හමුදාව සුදුසුකම් ලබති

ප්‍රින්ස් ගුණසේකර

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය මෙහෙයවන අන්තර් ක්‍රීඩා සමාජ එෆ්. ඒ. කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට කොළඹ පාපන්දු සමාජය හා ශ්‍රී ලංකා යුද හමුදාව සුදුසුකම් ලබති. කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පෙරේදා පැවැති අර්ධ අවසන් පූර්ව වටයේදී කොළඹ පාපන්දු සමාජය වෙතින් දඩුවම් පහර 4-1ක් ලෙස වෙන්නප්පුව නිව්යංග්ස් පිල පරාජයට පත්වූ අතර, යුද හමුදාව වෙතින් ගෝල් 2-0ක් ලෙස ශ්‍රී ලංකා ගමානා ගමන මණ්ඩල පිල පරාජයට පත් විය.

කොළඹ පාපන්දු සමාජය හා වෙන්නප්පුව නිව්යංග්ස් ක්‍රීඩා සමාජය අතර තරගයේ නියමිත කාලයේදී දෙපිලම ගෝල් වාර්තා කිරීමට අසමත් වූහ. මේ තරගාවලිය පිළිමළුන් පිටු දැකීමේ ක්‍රමයට පැවැත්වෙන බැවින් තරගයේ තීරණය උදෙසා දඩුවම් පහර පිරිනැමුණි. කොළඹ පාපන්දු සමාජය වෙනුවෙන් දඩුවම් පහර සාර්ථකකර ගැනීමට චරිත් රත්නායක, මොහොමඩ් ෆසාල්, අහමඩ් ෂෙස්නී හා සර්වාන් ජොහාර් සමත් වූ අතර වෙන්නප්පුවට එකම ගෝලය මධුසංඛ කරුණාරත්න එක් කළේය.

යුද හමුදාව හා ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩල පිල අතර තරගයේ පළමු භාගයේදී යුද හමුදා පිල ගෝල් 1-0ක් ලෙස ඉදිරියෙන් සිටි අතර කසුන් ප්‍රදීප් 30වැනි මිනිත්තුවේදී එම ගෝලය වාර්තා කළේය. යුද හමුදා පිලේ නායක බණ්ඩාර වරකාගොඩ 70වැනි මිනිත්තුවේදී ගෝලයක් වාර්තා කිරීමෙන් ජයග්‍රහණය වඩාත් පහසු විය.

 

නව අදහස දක්වන්න