විශ්වාසභංගය සම්මත වීමට නම් | දිනමිණ

විශ්වාසභංගය සම්මත වීමට නම්

අගමැතිතුමාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනවිත් එය නීත්‍යනුකූලව සම්මත කර ගැනීමට නම් පාර්ලිමේන්තුව අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ගයන් :

1. අගමැතිතුමාට විරුද්ධව විශ්වාසභංග යෝජනාව කතානායකතුමාට භාරදිය යුතුය. ඒ සඳහා අවම වශයෙන් මන්ත්‍රීවරු 20 දෙනකු අත්සන් කළ යුතුය.

2. පාර්ලිමේන්තු මහලේකම් හරහා එම යෝජනාවේ නීත්‍යනුකූලභාවය කතානායකතුමා විමසිය යුතුය.

3. එම යෝජනාව ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවට සහ ස්ථාවර නියෝගවලට අනුකූල බව මහලේකම්තුමා විසින් කතානායකතුමාට දැනුම් දිය යුතුය.

4. එම යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට (Order Book) ඇතුළත් කළ යුතුය.

5. එම න්‍යාය පුස්තකය සිකුරාදා දිනයේදී මුද්‍ර‍ය කර සියලුම මන්ත්‍රීවරුන්ට බෙදා හැරිය යුතුය.

6. වැඩකරන දින පහකට පසුව එම යෝජනාව පාර්ලිමේන්තුවේ විවාදයට භාජනය කිරීමට අවස්ථාව සැලසිය යුතුය.

7. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවෙන් එම න්‍යාය පුස්තකයේ තිබෙන කටයුතු ගැන සලකා බලා ප්‍ර‍මුඛස්ථානය දිය යුත්තේ කුමන කටයුත්තකට දැයි තීරණය කළ යුතුය. (Committee on Parliamentary Business headed by the Speaker) මෙම කාරක සභාවේ මූලාසනය කතානායකතුමා ගන්නා අතර, සභා නායක, ආණ්ඩු පක්ෂයේ ප්‍ර‍ධාන සංවිධායක ඇතුළු ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂවලින් සමන්විත මන්ත්‍රීන් කණ්ඩායමක් ඇතුළත් විය යුතුය. එසේම විපක්ෂ නායකතුමා ඇතුළු විපක්ෂයේ පක්ෂ නියෝජනය කරමින් විපක්ෂයෙන් නම් කරන ලද කණ්ඩායමක් ඇතුළත් විය යුතුය. තවද, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ද, නියෝජ්‍ය කාරක සභා සභාපති ද මෙම කමිටුවේ සාමාජිකයන්ය. ඒ අනුව, න්‍යාය පුස්තකයේ සඳහන් වී ඇති ආණ්ඩුවේ කටයුතුවල ප්‍ර‍මුඛස්ථානය නියම කරන්නේ සභා නායකවරයාය.

8. මෙවැනි විශ්වාසභංග යෝජනාවක් න්‍යාය පුස්තකයට ඇතුළත්වූ පසු එය පාර්ලිමේන්තුවේ විවාද කිරීම සඳහා සභා නායකතුමාගේ සහ ආණ්ඩු පක්ෂයේ කැමැත්ත ඇතිව පාර්ලිමේන්තුවේ විවාද කිරීම සඳහා ලබා දිය හැකි ආසන්නතම දිනය තීරණය කළ යුතුය.

9. එම දිනයේ න්‍යාය පත්‍ර‍යට මෙම යෝජනාව ඇතුළත් කොට අදාළ දිනයට විවාදයට ගන්නා බවට දැනුම් දිය යුතුය.

10. එම විශ්වාසභංගය විවාද කිරීම සඳහා ආණ්ඩු පක්ෂයටත් විපක්ෂයටත් අවශ්‍ය කාලය පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් තීරණය කළ යුතුය.

11. අදාළ දිනයේ දී විවාදය පවත්වා ඡන්දය විමසීම සහ එය ප්‍ර‍කාශ කළ යුතුය.

12. එදින පාර්ලිමේන්තුවේ විවාදය පිළිබඳ හැන්සාඩ් වාර්තාව නිකුත් කළ යුතුය. ඉහත කී සියලුම ක්‍රියාවලියන් ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවට ද, ස්ථාවර නියෝගවලට ද, පාර්ලිමේන්තු සම්ප්‍ර‍දායන් සහ ක්‍රියා පටිපාටියන්වලට අනුකූලව සිදු කිරීමට පාර්ලමේන්තුව වගබලා ගත යුතුය.

නව අදහස දක්වන්න