මැතිසබයට පොලිසිය කැඳවීමෙන් මන්ත්‍රී විරෝධය ඇති වුණා | දිනමිණ

මැතිසබයට පොලිසිය කැඳවීමෙන් මන්ත්‍රී විරෝධය ඇති වුණා

බුද්ධිකා ඉඹුලාන

නැති බලයක් කරු පෙන්වන්න හදනවා
විශ්වාසභංගය නිත්‍යානුකූලව ගෙනාවොත් ජනපති අවශ්‍ය පියවර ගන්නවා

පාර්ලිමේන්තුවේ වර්තමානයේ සිද්ධවෙන දේවල් අනුව ඉදිරියේදී යම් කිසි අයකු මියගියහොත්, එහි වගකීමත් කතානායකවරයා බාර ගත යුතු බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.

මේ ගැටුම කතානායකවරයා නිර්මාණය කළ දෙයක් හෙයින් එහි වගකීම අනිවාර්යයෙන්ම කථානායකවරයා බාරගත යුතු යැයිද ඇමැතිවරයා කියයි.

ඇමැතිවරයා මේ බව කියා සිටියේ පෙරේදා (17දා) අගුණකොළපැලැස්ස ආසන බල මණ්ඩල රැස්වීමට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ ඇමැතිවරයා, කැබිනට් මණ්ඩලය හෝ අගමැතිවරයා පත් කිරීම හෝ ආණ්ඩුවක් විසුරුවා හැරීමට හෝ බලතළ කතානායකවරයාට නැහැ. එම බලතළ තියෙන්නේ ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයාට පමණයි. කතානායකවරයා කියන්නේ නිර්පාක්ෂික මධ්‍යස්ථ පුද්ගලයෙක්. ඔහුට ජනාධිපතිවරයෙක් කියන හෝ කරන දෙය විනිශ්චය කළ නොහැකියි. කථානායකවරයා කුමන පක්ෂයකින් පත්වුණත් ඔහු එම තනතුරට පත්වුවාට පසු මධ්‍යස්ථව කටයුතු කළ යුතුයි.

නමුත් අද සිදුවන්නේ කුමක්ද? කථානායකවරයා තමන්ගේ බලතළවලට එහා ගොස් කටයුතු කරන ආකාරයක් පෙනෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ව්‍යවස්ථානුකූලව තමන්ට ලැබී තිබෙන බලතළ අනුව තම අභිමතය පරිදි පාර්ලිමේන්තුවේ වැඩි කැමැත්තක් ඇති මන්ත්‍රිවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ මහත්තයාව අගමැති තනතුරට පත් කළා. ඒක වැරැදි නම් එත්සත් ජාතික පක්ෂයට තිබුණා ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් අර්ථනිරූපණයක් ගන්න. නමුත් ඔවුන් එහෙම කළේ නැහැ. ඒ වෙනුවට කළේ පාර්ලිමේන්තුව කඩාකප්පල් කරමින් කෑකෝ ගසමින් කඩාකප්පල්කාරී ලෙස හැසිරීමයි. මෙය ප්‍රජාතන්ත්‍රවාදය නොවෙයි.

අනික ඉතිහාසයේ පළමු වතාවට කතානායකවරයෙක් පාර්ලිමේන්තුවට පසුගියදා ආවේ පොලිස් භට පිරිසක් එක්ක. ඒ නිසා තමයි සමහර මන්ත්‍රිවරු ඊට විරෝධය පෑවේ. මං හිතන්නේ නෑ කතානායකවරයා පෙරපරිදිම ආවා නම් ඔය කිසි කෙනෙක් එතුමාට පහර දෙයි කියලා. ස්ථාවර නියෝග අනුව කතානායකවරයෙකුට බලතළ රැසක් පාර්ලිමේන්තුව තුළ ගත හැකිව තිබෙනවා. මම නම් එදා කතානායකවරයා මගේ ඇහැට දැක්කේ නැහැ. නමුත් ඇමතුම් උපකරණයකින් කථාකරනවා ඇහෙනවා. ඔහු කොහේද ඉන්නේ කියා පෙනෙන්නේ නැහැ. මං හිතුවේ එතුමා කාර්යාලයේ ඉඳගෙන පාර්ලිමේන්තුව අමතනවා කියලයි. එහෙම කරලා විශ්වාසභංගයක් ඉදිරිපත් කරනවා කිව්වා. විශ්වාසභංගයක් ගෙනෙනවා නම් ඒක පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට අඩු තරමින් කියවන්නවත් ඉදිරිපත් කළ යුතුයි. එහෙම දෙයක් නැහැ. එක්කෙනෙක් යෝජනා කළා. තව කෙනෙක් සම්මත කළා. විධිමත් ක්‍රමයකට ඡන්දයක් තිබුණේ නැහැ. මම අදත් හඬ අනුව තීන්දුව දෙනවා කිව්වා. බහුතරයෙන් සම්මතයි කිව්වා. ආපහු ගියා. මේකද පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය. මේකද ස්ථාවර නියෝග. මේ විදියට කතානායකවරයා කටයුතු කළ නිසා තමයි එවැනි සිද්ධියක් සිදුවුනේ.

මේ යන විදියට අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුව තුළ මරණයක් සිදුවෙන්නත් පුළුවන්. එහෙම වුණොත් එහි වගකීම කතාථානායකවරයා විසින් බාර ගත යුතුයි. ඒ නිසා අපි කියන්නේ දැන්වත් නීතියට අනුව කටයුතු කරන්න කියලයි.

විශ්වාසභංගයක් නීත්‍යානුකූලව ඉදිරිපත් කරන්නේ කොහොමද කියලා ජනාධිපතිවරයා දැනුම් දී තිබෙනවා. ඒ විදියට කටයුතු කරන්න. එතකොට ජනාධිපතිවරයා එහි ප්‍රතිපල අනුව අවශ්‍ය පියවර ගනීවි. එහෙම නැතිව තමන්ට ඕනැ ඕනැ විදිහට මේ සම්බන්ධව අර්ථකථනය කළහොත් සිදුවන්නේ මහා විනාශයක්. ඒ විනාශයේ පළමු වග උත්තරකාරයා වන්නේ කථානායකවරයා බවත් මම ප්‍රකාශ කරනවා යැයිද ඇමැතිවරයා පැවසීය.

මෙම සාකච්ඡාවට ආසන බල මණ්ඩල නියෝජිතයින් විශාල පිරිසක් සහභාගි වූහ.

නව අදහස දක්වන්න