විපක්ෂය පාර්ලිමේන්තු ක්‍රමයට කරන හානිය ශ්‍රී ලංකා තලයේ පූර්වාදර්ශයක් නොවිය යුතුයි | දිනමිණ

විපක්ෂය පාර්ලිමේන්තු ක්‍රමයට කරන හානිය ශ්‍රී ලංකා තලයේ පූර්වාදර්ශයක් නොවිය යුතුයි

රක්ෂණ ශ්‍රියන්ත

ඇමැති බන්දුල ගුණවර්ධන

කරූ ජයසූරිය මහතා සහ එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතා ඇතුළු විපක්ෂය ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ක්‍රමයට කරන මේ හානිය කිසිදු දිනක, මේ ශ්‍රී ලංකා තලයේ පුර්වාදර්ශයක් නොවිය යුතුය යන ස්ථාවරයේ තමන් පැහැදිලිව සිටින බව ජාත්‍යන්තර වෙළෙඳ සහ ආයෝජන ප්‍රවර්ධන ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

මෙය කිසි දවසක මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන මිනිසුන් ජීවත් වන රටක් ලෙස මේ අගමැතිවරයාට විරුද්ධව දෝෂාභියෝගය සම්මත කළ ආකාරය, අගමැති වරයකුට විරුද්ධව පමණක් නොව කිසිම අණ පනතක් සම්බන්ධයෙන් එදා කරු ජයසූරිය කතානයකවරයා අනුගමනය කළ ක්‍රියා පිළිවෙත පුර්වාදර්ශයක් නොවේවා යන්න තම ප්‍රාර්ථනය බවද, එය පුර්වාදර්ශයක් නොවීමට අවශ්‍ය නීතිමය විධි විධානත් අනාගත ස්ථාවර නියෝගවල ඇතුළත් කළ යුතුයි කියා තමා විශ්වාස කරන බවද ඇමැතිවරයා අවධාරණය කරයි.

ඇමැතිවරයා මෙසේ පැවසූවේ ඊයේ (18) කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති විශේෂ මාධ්‍ය හමුව අමතමිනි.

ජාත්‍යන්තර වෙළෙඳ සහ ආයෝජන ප්‍රවර්ධන ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද පැවසීය.

පාර්ලිමේන්තුව නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් ලෙස රටටත් ලෝකයටත් කියන්න තිබෙන්නේ ලංකා ඉතිහාසයේ කිසිම දිනක කිසිම කතානායක වරයෙක් යටතේ මෙවැනි යෝජනා සම්මතයක් විශ්වාසභංග යෝජනාවක් සම්මත වෙලා නැති බවත් අපේ දැනීමේ හා විශ්වාසයේ හැටියට ලෝකයේ පවතින ප්‍රජාතන්ත්‍රවාදී රටක පාර්ලිමේන්තුවක් තුළ කිසි දිනකත් මෙවැනි ආකාරයේ යෝජනාවක් සම්මත වෙලා නැති බවත් ලෝකයට ප්‍රකාශ කරන්න කැමැතියි. එයට හේතුව තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවත් පාර්ලිමේන්තුව මෙහෙයවන ස්ථාවර නියෝගත් පාර්ලිමේන්තුවක පවතින ඉතාම උත්තරීතර සම්ප්‍රදායනුත් සියල්ල කඩා බිඳ දමමින් 16 වැනිදා යළිත් පාර්ලිමේන්තුවක් කැදවිය නොහැකි ආකාරයටම පාර්ලිමේන්තු ක්‍රමය සම්පූර්ණයෙන් සුන්නද් දූවිලි කර දැමීමේ කාර්යය භාරය කතානායක කරූ ජයසූරිය මහතා විසින් ඉෂ්ඨ කරනු ලැබුවා.

කතානායකවරයකුට පාර්ලිමේන්තුවට අතුළුවීම සඳහා ගෞරවාන්විත ලෙස පිවිසිමේ දොරටුවක් තිබෙනවා. එතුමා පැමිණීමෙන් පසු අසුන් ගැනීම සඳහා නිෂ්චිත කතානායක අසුනක් තිබෙනවා. ඒ අසුනේ එතුමා අසුන් ගැනීමට ප්‍රථම වේත්‍රධාරීවරයා විසින් නිල වශයෙන් පාර්ලිමේන්තුව ආරම්භ කිරීමට අවශ්‍ය නීතිමය බලය ලැබෙන සෙන්කෝලය ඉදිරිපිට ගෙනවිත් තිබිය යුතු වෙනවා.

කතානායකවරයා පැමිණීමට පෙර පාර්ලිමේන්තු මහලේකම්වරයා අතිරේඛ ලේකම්වරුන් ඒ ඉදිරිපිට වාඩිවී සිටිය යුතු වෙනවා. ඊට පසු කතානායක තුමා විසින් පාර්ලිමේන්තුව අමතා සාමාන්‍ය කටයුතු කළ යුතුයි. මේ තමයි සෑම කතානායකවරයෙක්ම කුමන අර්බුදයක් යටතේ වුවත් අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය. ලංකා ඉතිහාසයේ මීට වඩා දරුණු ව්‍යවස්ථා පිළිබඳ අර්බුදයක් ඇතිවුණා රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ යුගයේදී.

එතුමාට විරුද්ධව එම රජයේ සිටි වගකිවයුතු කැබිනට් අමාත්‍යවරුන් වන ලලිත් ඇතුලත්මුදලි මැතිතුමා, ගාමිණී දිසානායක මැතිතුමා, ජී.එම්. ප්‍රේමචන්ද්‍ර මැතිතුමා ප්‍රමුඛ අද අපේ පාර්ලිමේන්තුවේ ඉන්න ලක්ෂ්මන් සෙනවිරත්න මැතිතුමාත් ඇතුළු රවීන්ද්‍ර සමරවීර මැතිතුමාලත් ඇතුළු අය අස්සන් කරලා දෝෂාභියෝගයක් එවකට කතානායක එම්.එච්.මොහොමඩ් මහතාට භාරදුන්නා.

එකී දෝෂාභියෝගයට මමත් ජෝන් සෙනවිරත්න හිටපු ඇමැතිතුමාත් දෙන්නාම විපක්ෂයේ මන්ත්‍රීවරු ලෙස අස්සන් කරලා තිබෙනවා. රටේ ජනාධිපතිවරයාට විරුද්ධව දෝෂාභියෝගයක් ලැබී තිබෙන කිසිම අවස්ථාවකත් එදා එම්.එච්.මොහොමඩ් කතානායකවරයා පාර්ලිමේන්තුව මෙවැනි නින්දා සහගත තත්ත්වයකට පත් කිරීම කවදාවත් කරේ නැහැ. විවිධ සිද්ධි ඇතිවුනා. දෝෂාභියෝගයට අස්සන් කළ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු ටික වෙලාවකට පස්සේ කිව්වා අපි දෝෂාභියෝගයකට අස්සන් කළේ නැහැ කියලා.

අස්සන් කළ අය අස්සන් නොකළ බවට ලිපි ලේඛන භාර දුන්නා. පාර්ලිමේන්තුව කල් තැබුවා. කල්තබා රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා එන්න කලින් පාර්ලිමේන්තුව ඇතුලේ යාග හෝම පැවැත්වුවා කියා කියලා තිබුණා. අපේ පුටුවල තෙල් ගෑවා කියා තිබුණා සර්ව ලෝක වශි කර්මයෙන්. ඒ අවස්ථාවේ රිචඩ් පතිරණ මන්ත්‍රී තුමා එස්.එල්.ගුණසේකර මන්ත්‍රීතුමන් මේ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ඇමැතීමට විරුද්ධව නැගිටලා පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුළ කතා කළා. නමුත් අභීතව ඇවිල්ලා රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව අමතලා මන්ත්‍රීවරුන්ගේ විවිධ බාදා මැද්දේ කතාව අඛණ්ඩව කරගෙන ගියා.

ඒක තමයි ලංකාවේ පාර්ලිමේන්තුව. නමුත් සිකුරාදා ඔබලා දැක්කා පාර්ලිමේන්තුවට කතානායකවරයා පැමිණෙන දොරටුව නැතිව පස්සා දොරෙන් විශාල පොලිස් බල ඇණියක් සමඟ පැමිණිලා පොලිස් බල ඇණිය ඉදිරියෙන් තබාගෙන වෙනත් පුටුවක් ඔසවාගෙන ඇවිල්ලා කතානායක අසුන නොවන එකක මැද්දේ තියන්න ඕන සෙංකෝලය මුල්ලක තියාගෙන කටහඬින් කෑගහලා මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධ විශ්වාසභංගය සම්මතයි කිව්වා. අනුර කුමාර තෙමේද එය එක හඩින් අනුමත කළා. සුමන්තිරන් මැතිතුමා සහ විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මැතිතුමාද එලෙසින්ම අනුමත කළා.

ඉහළ ගැලරියේ සිටි විදේශ රටවල බටහිර රටවල තානාපතිවරුන් මෙය ඉතාම නිවැරැදි පාර්ලිමේන්තු සම්ප්‍රදායක් ලෙස අමන්දානන්දයට පත්වු බව තමයි බලාගෙන සිටි අපිට දැනුනේ. මම අහනවා ලෝකයේ කොහේ හරි පාර්ලිමේන්තුවක විශ්වාසභංග යෝජනාවක් රටක අග්‍රාමාත්‍යවරයාට විරුද්ධව පොලිස් බල ඇණියක් ගෙනැල්ලා පොලිස් බල ඇණිය සමඟ සභා ගැබට ඇතුළු වෙලා පොලිස් හමුදාවේ ආරක්ෂාව ඇතිව ඊට පිටුපසින් කෘතිම පුටුවක වාඩිවෙලා විකෘති කෘතිම ආකාරයකට පාර්ලිමේන්තුවේ මුල්ලකට ගිහිල්ලා ව්‍යවස්ථාදායකය යෝජනාවක් කලින් සම්මත වුණා කියලා කිව්වාම ඒක නීත්‍යානුකූලද.

මේ ක්‍රියාව ලංකා ඉතිහාසයේ පුර්වාදර්ශයක් ලෙස ගත්තොත් පාර්ලිමේන්තුවේ විවිධ අණ පනත් සම්මතවිමත් මෙලෙසින් කළොත් විපක්ෂයේ විරෝධතා නොතකා පුටුවක් කොහෙන් හරි ගෙනැල්ලා මුල්ලක තියලා ආණ්ඩු පැත්තේ ඉදන් සියලුම අණ පනත් සම්මත වුණොත් එදාට එය වැරැදියි කියා කියන්නේ කොහොමද පුර්වාදර්ශයක් නම්. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ යෝජනා කිසිවක් නීත්‍යානුකූලව සම්මතවු පාර්ලිමේන්තු යෝජනා ලෙස පිළි ගන්නේ නැත්තේ. රටේ විධායක ජනාධිපතිවරයා මේ සම්මතවු කිසිම යෝජනාවක් අග්‍රාමාත්‍යතුමාට විරුද්ධව නිසි ක්‍රමවේදය අනුව සම්මතවුවායැයි සලකන්නේ නැහැ.

සලකන්න බැහැ. ජනාධිපතිපුටුවේ කවුරු වාඩි වෙලා හිටියත් මාධ්‍යවේදීන් ලෙස මෙලෙසින් ව්‍යවස්ථාදායකයේ අණපනත් සම්මත කිරීම මතු යම් දවසක මේ ආකාරයෙන් කළොත් එදාට සම්බන්ධන් මන්ත්‍රීතුමා ජනතා විමුක්ති පෙරමුණ සුමන්දිරම් මන්ත්‍රීතුමාලා ඇතුළු අනෙක් පක්ෂ නායකයෝ ඒ පැත්තේ හිටපු මේ ක්‍රමවේදය අනුමත කරනවානම් ලංකාවට මේක කැන්ගරු පාර්ලිමේන්තුවක්, මෙවැනි පාර්ලිමේන්තුවක් පවත්වාගෙන යාමෙන් ව්‍යවස්ථාදායකය නිසි ලෙස රටේ ක්‍රියාත්මක කරන්න බැරි වෙනවා.විධායකය, අධිකරණය තිබෙනවා.

ව්‍යවස්ථාදායකය සම්මත කර දෙන නීතිය යුක්තිය පසිඳලීමේ කාර්ය භාරය තමයි ශ්‍රේෂ්ඨාධිකරණය අතුළු අධිකරණය විසින් කරන්නේ. එතකොට අධිකරණය පිළිගනියිද මෙලෙසින් බලහත්කාරයෙන් පොලිසියත් එක්ක ඇවිල්ලා නීතියක් සම්මත කර දුන්නාම. අපරාධ නඩු විධාන සංග්‍රහය, සිවිල් නඩු විධාන සංග්‍රහය, මුදල් නීති පනත, අය වැය ලේඛනය මේවා ඔක්කොම මේ විදියට සම්මත කරන්න පටන් ගත්තොත් කිසිදු විරෝධතාවයක් නොසලකා එදාට මේ රටේ පාර්ලිමේන්තු ක්‍රමයට අත්වෙන ඉරණම කුමක්ද. මෙය එතරම් වැදගත් නොවෙන්න පුළුවන් ජනතා විමුක්ති පෙරමුණට. මක්නිසාද යත් අපි 89 පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන විට ජනතා විමුක්ති පෙරමුණේ තිබුණු මතය තමයි හොර පාර්ලිමේන්තුව වර්ජනය කරව්. පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන අයට දඩුවම මරණයයි. අපි මරණ දඩුවම අතේ තියාගෙන තමයි 89 පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වුණේ. ඔවුන්ගේ ප්‍රකාශන තමයි පාර්ලිමේන්තු මැතිවරණයට හෝ ඕනැම ඡන්දයකට ඡන්දය දෙන්න යන පළමුවෙන් පස් දෙනාට දඩුවම මරණය.

නව අදහස දක්වන්න