වැව් රක්ෂිතවල අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීම ඉබි ගමනේ | දිනමිණ

වැව් රක්ෂිතවල අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීම ඉබි ගමනේ

අනුරාධපුර අතිරේක දිස්ත්‍රික් සමූහ නිමල් නිජේසිංහ

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශවලට අයත් වැව් රක්ෂිතවල අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීම ඉබිගමනින් සිදුවන බව ගොවි සංවිධාන ඇතුළු ජනතා සංවිධාන අවධාරණය කරති.

මේ ව්‍යසනය සම්බන්ධව දිගින් දිගටම අනුරාධපුර දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීම්වල දී විවිධ පාර්ශවයන් විසින් කරුණු දක්වා ඇතත් මේ දක්වා මේ නීති විරෝධී ක්‍රියාකාරකම් වැළැක්වීමට අදාළ අංශ අපොහොසත් වී ඇතැයි ද ජනතා සංවිධාන පෙන්වා දෙති.

ඇතැම් විට රක්ෂිත ඉඩම්වලින් ඉවත්ව යන ලෙසට මූලික නිවේදන සහ විවිධ ලියවිලි භාර දීමට යන වාරිමාර්ග නිලධාරීන් ඇතුළු රජයේ නිලධාරීන්ට තරජන ගර්ජන කරමින් එම නිවෙදන සහ දැනුම් දීම් භාර ගැනීම ඇතැම් අනවසර පදිංචිකරුවන් ප්‍රතික්ෂේප කරන බවට ද වාර්තා වේ. මේ අතර වාරි රක්ෂිත ආශ්‍රිත අනවසර ක්‍රියාකාරකම්වල නිරත වන පුද්ගලයන්ට එරෙහිව නීතිමය කටයුතු කිරීම සඳහා කොළඹ වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් වරයාගෙන් ප්‍රාදේශීය නිලධාරීන් හට අනුමැතිය ලබා ගැනිමට සිදු වී ඇති අතර නඩු පැවරීම් ඇතුළු නීති කටයුත් මෙහෙයවනු ලබන්නේ ද වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නීති අංශය මගිනි. මේ සංකීර්ණ ක්‍රියාදාමය නිසා දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය මට්ටමෙන් අනවසරකරුවන්ට එරෙහිව නීතිමය පියටවර ගැනීම අනවශ්‍ය ලෙස පමා වන බව වාර්මාර්ග නිලධාරිහු අවධාරණය කරති. දිස්ත්‍රික් මට්ටමින් පත්කොට ඇති වාරිමාර්ග අධ්‍යක්ෂවරයෙක් ඇතුළු වාරි කොට්ඨාස භාර ඉංජිනේරුවරුන් සිටින බැවින් ඔවුන් හරහා සෘජුවම දිස්ත්‍රික් මට්ටමින් මේ නඩු පැවරීමේ බලය පවරා දීමෙන් වාරි රක්ෂිත ඉඩම් අනවසරයෙන් අල්ලා ගැනීම ඇතුළු නීති විරෝධී ක්‍රියාවන් සම්පූර්ණයෙන් ම නතර කළ හැකි බවද ඔවුහු පෙන්වා දෙති.

මේ පිළිබඳ අදහස් පළකළ අනුරාධපුර දිසාපති ආර්. එම්. වන්නිනායක මහතා වාරි රක්ෂිතවල අනවසර ක්‍රියාකාරකම් නිසා වැව් තාවුල්ල ඇතුළු පරිසරයට හානි සිදුවන බව ද රොන් මඩ ශීඝ්‍රයෙන් වැව් තුළට ගලා ඒම නිසා වැව් විශාල ප්‍රමාණයක් හැකිළී ගොඩවෙමින් තිබෙන බවද අවධාරණය කළේය. මේ නීති විරෝධී ක්‍රියා නිසා අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් විශාල සංඛ්‍යාවක් පැවැත්මට බාධා පැමිණ ඇති බවත්, වැව් විනාශ මුඛයට යන බවත් වන්නිනායක මහතා පෙන්වා දුන්නේ ය. මේ පසු බිම තුළ බිම් මට්ටමේ ග්‍රාම නිලධාරීගේ සිට ගොවි සංවිධාන, වාරිමාර්ග, ගොවිජන සංවර්ධන, වනජීවී සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු සියලු එක් එක් වගකිව යුතු ආයතනවලින් වැව් සහ ඒවායේ රක්ෂිත ආරක්ෂා කර ගැනීම සඳහා ඉටුවිය යුතු කාර්යයක් සඳහා ඉහළම ප්‍රමුඛත්වය ලබා දී කටයුතු කළ යුතු බවට එකී සියලු නිලධාරීන්ට සහ ආයතනවලට උපදෙස් ලබා දී ඇතැයි ද දිසාපතිවරයා සඳහන් කළේය.

නව අදහස දක්වන්න