ජනපති උපදෙසින් මැතිසබයේ ගෞරවය රැකෙයි | දිනමිණ

ජනපති උපදෙසින් මැතිසබයේ ගෞරවය රැකෙයි

ස්වර්ණා විජේකෝන්, රෝෂන් තුෂාර, මහින්ද අලුත්ගෙදර සහ චමීර ඇල්ලදෙණිය

පාර්ලිමේන්තුව ලබන 23වැනි දා පෙරවරු 10.30 දක්වා කල් තැබීමට නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා ඊයේ (19) පියවර ‍ගත්තේය.

ඊයේ (19) පෙරවරුවේ රැස් වූ පක්ෂ නායක රැස්වීමේ දී ගත් තීරණයකට අනුව තේරීම් කාරක සභාවක් පත්කිරීමට තීරණය කර ඇති බවත් ඒ අනුව පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නියෝජනය වන පරිදි නම් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත ලබාදෙන ලෙස ද නියෝජ්‍ය කතානායකවරයා දැනුම් දුන්නේය. එම යෝජනාව ඉදිරිපත් කිරීමෙන් පසුව ඊයේ (19) දිනයේ වැඩකටයුතු අවසන් කරමින් නියෝජ්‍ය කතානායකවරයා පාර්ලිමේන්තුව ලබන 23 දක්වා කල් තැබීමට පියවර ගත්තේය. මෙහිදී අදහස් දැක් වු මහ නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ, අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ ආණ්ඩුව පිළිගනිමින් පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව පත් කරන විට රජයේ එම පිළිගැනීම අනුව සිදුවිය යුතු බවත්, කාරක සභාවේ බහුතරය ආණ්ඩුවට හිමිවිය යුතු බවත්ය.

එමෙන්ම පාර්ලිමේන්තුවේ කටයුතු බාරව තිබෙන්නේ රජයට බවද සභානායකවරයා පැවසීය.

රජයක් නැතිනම් තේරීම් කාරක සභාවක් පත් කර ගත නොහැකි බවත්, එනිසා රජයක් ඇති බව පිළිගනිමින් මෙම තේරීම් කාරක සභාව පත් කර සිටින ලෙසත් ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක ඇමැති එස්.බී. දිසානායක මහතා කියා සිටියේය.

නොවැම්බර් මස 14,15 සහ 16 යන දිනවලදී පාර්ලිමේන්තුව තුළ ඇති වු වාතාරවණය පිළිබඳ පරීක්ෂණයක් සිදු කරන ලෙස මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා නියෝජ්‍ය කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය.

ඒ පිළිබඳව කථානායකවරයා ඉදිරියේ දී දැනුවත් කරන බව ද නියෝජ්‍ය කථානායකවරයා මෙහිදී පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ, පසුගිය 15 වන දින කථානායකවරයා නිශ්චිත වශයෙන් 14 වන දා විශ්වාසභංග යෝජනාවක් සම්මත වු බවත්, ඒ අනුව අග්‍රාමාත්‍යවරයෙක් හෝ ආණ්ඩුවක් නොමැති බවත් එහිදී ප්‍රකාශ කළ පසුබිමක් තුළ පාර්ලමේන්තු කටයුතු සඳහා අවශ්‍ය තේරීම් කාරක සභාව සඳහා බහුතරය හදා ගැනීම සාධාරණ නොවන බව ද පැවසීය.

පාර්ලිමේන්තුවේ ඇතිවෙමින් පවතින අර්බුදකාරී තත්ත්වය නිමා කිරීම සඳහා පෙරේදා (18) දින සර්ව පාක්ෂික හමුවේ දී තමන් දුන් මාර්ගෝපදේශන නිවරැදි ලෙස අනුගමනය කිරීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ එකඟත්වය පළ කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය බලවත් ප්‍රසාදය පළ කරයි.

ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව තමන් වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව නව අග්‍රාමාත්‍යවරයකු සහ නව කැබිනට් මණ්ඩලයක් පත්කිරීමෙන් පසු ඇතැම් පාර්ශ්ව පාර්ලිමේන්තුවේ මතුකළ අර්බුදකාරී තත්ත්වය පිළිබඳ ප්‍රථමයෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තම අවධානය යොමු කළේය.

ඒ අනුව 2018-11-15 වන දින සහ 2018-11-18 වන දින පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයන්ගේ රැස්වීම් දෙකක් කැඳවමින් ජනාධිපතිවරයා උපදෙස් දෙනු ලැබූයේ ගැටුම්කාරී තත්ත්වයන් ඇතිකර නොගෙන ස්ථාවර නියෝග සහ පාර්ලිමේන්තු සම්ප්‍රදායන් අනුව අවශ්‍ය කටයුතු කරන ලෙසයි.

පෙරේදා දිනයේ පැවැති සර්ව පාක්ෂික හමුවේ දී ජනාධිපතිවරයා කළ ඉල්ලීමට අනුව ඊයේ (19) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ පැවැති පක්ෂ නායක රැස්වීමේ දී ස්ථාවර නියෝග අනුව පාර්ලිමේන්තුවේ කටයුතු කිරීමටත්, අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන්නේ නම් එය පාර්ලිමේන්තුව අනුගමනය කරන්නා වූ සම්ප්‍රදායන්ට අනුගතව නියමානුකූලව සිදුකිරීමට සහ පාර්ලිමේන්තුවේ ගැටලුකාරී තත්ත්වයන් ඇති කර නොගෙන කටයුතු කිරීමටත් අවශ්‍ය පියවර ගැනීම පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සියලුම දේශපාලන පක්ෂ නායකයන්ට සහ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ස්තූතිය පළ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.


නව අදහස දක්වන්න