බලහත්කාරයෙන් අපහාසාත්මකව අපිව එළවන්න ලේසි වෙන්නේ නෑ | දිනමිණ

බලහත්කාරයෙන් අපහාසාත්මකව අපිව එළවන්න ලේසි වෙන්නේ නෑ

අම්බලන්තොට සමුහ

නීත්‍යානුකූලව ඇවිත් විශ්වාසභංග යෝජනාවක් සම්මත කරගත්තොත් එදාට අගමැතිකම දිලා යන්න සූදානම් බවත් බලහත්කාරයෙන් අපහාසාත්මක විදියට ඒක කරන්න ආවොත් අපිව එළවන්න ලේසි වෙන්නේ නැති බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේ පසුගිය (16) දා වීරකැටිය කසාගල රජමහා විහාරාධිපති තලම්පොරුවේ ඉන්ද්‍රසිරි සුමන හිමිපාණන් හට සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයෙන් පිරිනැමු සද්ධර්ම කීර්ති ශ්‍රී විමලසිරි ගෞරව නාමය සහිත රුහුණු මාගම්පත්තුව ඇතුළු ගිරුවාගම් දොළොස්දහස් රට ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිරිනැමීමේ උත්සවයට එක් වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අගමැති මහින්ද රාජපක්ෂ මෙසේද පැවසිය.

ජනාධිපතිවරයාට පමණයි මාව එහා මෙහා කළ හැක්කේ. අපි දාලා යනවා. එළවනතුරු ඉන්නේ නෑ. ජනාධිපතිවරයට තියෙන බලතල කුමන අවස්ථාවකදිවත් වෙන කෙනකුට ගන්න පුළුවන් කමක් නෑ. අධිකරණයට වුණත් ඒ බලය උදුරා ගන්න බැහැ.

අද තරුණ භික්ෂූන් වහන්සේලා ධෛර්යවත් කරන්න සමාජයේ කටයුතු කරන්න අවස්ථාවක් ලබාදීම නායකත්වයෙන් කටයුතු කිරීමට අවස්ථාවක් ලබාදීම අපි කාගේත් වගකීමක්. පසුගිය කාලය තුළ භික්ෂූන් වහන්සේලා නොසලකා හැර බුදු දහම නොසලකා හැර ව්‍යවස්ථාවේ වෙනසක් ඇති කරන්න කටයුතු කරමින් හිටියා. අගමැති කමට ආරාධනා කලාට පස්සේ දෙපාරක් හිතුවා අපි අපේ පෞද්ගලික තනතුරු පස්සේ යනවද එහෙම නැත්නම් මේ රටට ඕන දෙයක් වෙච්චාවේ කියලා ඇස් පියාගෙන ඉන්නවද එහෙම නැත්නම් මේ තනතුර භාරගෙන රට වෙනුවෙන් කළ යුතු යුතුකම කරනවද කියලා.

අපි හැමදාම අපි හදපු සම්පත් ගැන කියනවා. වරාය, ගුවන් තොටුපොළ, ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, ක්‍රීඩා පිටිය ගැන කියනවා. ක්‍රීඩා පිටියෝ නම් පසුගිය අවුරුදු 3 තුළ ක්‍රීඩා කෙළේ නෑ. තියෙන ඒවත් ගළවාගෙන අනිත් තැන්වලට අරන් ගිහිල්ලා. ඒවා වෙනස් කළ යුතුව තියෙනවා. ඉස්සර කෙළඹ යන්න පැය 7ක් 8ක් ගියා. දැන් පැය එකහමාරෙන් කොළඹ යන්න පුළුවන්. අධිවේගී මාර්ගය හම්බන්තොටට ආපු ගමන් පැය එකහමාරටත් අඩුවෙන් කොළඹ යන්න පුළුවන්.

මෙරටේ භූමිය විදේශිකයන්ට විකුණන්න කාටවත් අයිතියක් නෑ. මේ රටේ සංවර්ධනය ඇති කරන්න අපි කටයුතු කළා. මේ රටේ තිබූ යුද්දේ අවසන්. රට සංවර්ධනය වුණොත් තමයි ජනතාවට ඒකෙ ප්‍රතිපල ලැබෙන්නේ. අපි සංවර්ධනය කළ දේවල් විකුණන්න පටන් ගත්තා පසුගිය කාලේ. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුවෙන් වරාය වික්කා, ගුවන් තොටුපොළ විකුණන්න ලෑස්ති කරලා තිබුණා. ලංසුවට දාලා තිබුණා අධිවේගී මාර්ගය. ඒකෙන් ලාභ ලබනවා. ඒකත් විකුණන්න දාලා. මේ විදියට සම්පත් විතරක් නෙවෙයි රටේ භූමියත් විකුණන්න මේ අය සූදානම් වෙලා ඉන්නවා. භූමිය මේ රටේ ජනතාවට අයිතියි. අද ඉපදෙන දරුවාට විතරක් නෙවෙයි හෙට ඉපදෙන්න ඉන්න දරුවාටත් තව අවුරුදු දහස් ගණනක් ගිහින් ඉපදෙන්න ඉන්න දරුවාටත් තියෙන භූමිය විදේශිකයන්ට විකුණන්න කාටවත් අයිතියක් නෑ.

අවුරුදු 5කට බලයට පත් කරලා ජනතාවගේ ඡන්ද බලයෙන් ඇවිල්ලා ජනතාවට අයිති රට භූමිය විකුණලා දානවා නම් ඒකට ඉඩ තියන්න අපිට පුළුවන් කමක් නෑ. ඒ නිසා තමයි අපි එකතු වෙලා මේ සටන ආරම්භ කෙළේ. පසුගිය දා පාර්ලිමේන්තුවට යන කොට සිද්ධියක් ඇති වුණා. විශ්වාස භංග යෝජනාවක් ගෙනාවා කිව්වා. ඊට පසුවැනි දා ඇවිත් කියනවා ජනාධිපතිවරයා පත්කළ අගමැතිවරයාව පිළිගන්න බෑ කියලා. අගමැතිවරයාට නෙවෙයි මන්ත්‍රීවරයාට කතා කරන්න කියලයි මට කතා කරන්න අවස්ථාව දුන්නේ. බලන්න මේ කුහක කම දිහා.

ජනාධිපතිවරු අගමැතිවරු පත්කරන්න ඒවා පිළිගන්න ,නොපිළිගන්න කතානායකට අයිතියක් නෑ.

කතානායකට කිසිම බලයක් ව්‍යවස්ථාවෙන් දීලා නෑ. පාර්ලිමේන්තුවේ වාඩි වෙලා එයාට පාර්ලිමේන්තුවේ කටයුතු කරන්න පුළුවන්. එතුමාට රටේ ජනාධිපතිවරු අගමැතිවරු පත්කරන්න ඒවා පිළිගන්න නොපිළිගන්න අයිතියක් නෑ. නමුත් එතුමා කළා. එතුමා අර බටහිර මිත්‍රයන් එක්ක සම්බන්ධ වෙච්ච, ඔවුන්ගේ උපදෙස් අනුව පක්ෂයේ උපදෙස් අනුව ක්‍රියාත්මක කරනවා. ස්වාධීන පුද්ගලයෙක් වෙන්න ඕනෑ කතානායක. මීට පෙර කතානායකවරු හිටියා. චමල් රාජපක්ෂ මැතිතුමා හිටියා, අනුර බණ්ඩාරනායක මැතිතුමා හිටියා. ඒ අය ඓතිහාසික තීන්දු දුන්නා. ඒ පුටුවේ ගෞරවය රැක්කා.

අද සාකච්ඡා කරන්න ගියාම ඒ සාකච්ඡාව සාර්ථක කරගන්න බැරි වුණා එතුමාගේ තියෙන දරදඬු භාවය නිසා. විපක්ෂය පිළිඅරගෙන කිව්වා මේ විදිහට කරමු කියලා. ජනාධිපතිවරයා කිව්වා ව්‍යවස්ථානුකූලව නීත්‍යානුකූලව සම්ප්‍රදායානුකූලව මේක අරගෙන එන්න කියලා. එතකොට මම පිළිගන්නම් කියලා. නමුත් ඒ එකක්වත් ගණන්ගත්තේ නෑ.වෙච්ච සිද්ධියේදි පිහි අරගත්තු දෙන්නෙක් හිටියා. ඒ දෙන්නා පිළිබඳ නීත්‍යනුකූලව කටයුතු කරන්න කියලා අපි කිව්වා. මේ පිහියෙන් කැපුවා නම් කීදෙනෙක් මැරෙන්න තිබුණද. පිහිය අරගෙන ඇවිත් ඉන්නවා කියලා පැමිණිලි කළාම පිහි නෙවෙයි මේ කාලේ කඩුත් අරන් එන්න පුළුවන් කිව්වා. එක්කෙනෙක් දෙන්නෙක් මැරෙන්නත් පුළුවන් කිව්වාම ඔව් එහෙම වෙන්නත් පුළුවන් කිව්වා. කතානායකවරයෙක් ,බෞද්ධ නායකයෙක් ,රාමඤ්ඤ මහ නිකායේ සභාපති යන ආගමික තනතුරටත් නිගරු වෙන විදිහට හැසිරීම සහ ප්‍රකාශ කිරීම සුදුසු නෑ.

ඒ නිසා එකිනෙකාට ගෞරව කරමින් එකිනෙකා ඒ ආයතන තුළ වැඩ කිරීමෙන් තමයි ප්‍රජාතන්න්‍රවාදය රැකෙන්නේ. එතකොට ප්‍රජාතන්ත්‍රවාදය රකින්න වෙනත් ක්‍රියා මාර්ග තියා ගන්න පුළුවන් කමක් නෑ.

මේ අවස්ථාව වන විට බඩු මිල වැඩිවෙලා, තෙල් මිල වැඩිවෙලා, බදු බර වැඩිවෙලා තිබුණා. ඒ සහන අපි ලබා දුන්නා. පොහොර මිල අඩු කළා. ඒ සහනාධාරය ගොවියට ලබා දුන්නා. පාසල් රෙදි ටික ගන්න පෝලිමේ හිටියා. ඒක නැති කරලා රෙදි ටික පාසලේදිම බෙදන ක්‍රමයක් අනුගමනය කළා. පෙබරවාරි වෙන කොට මේ නිල ඇඳුම් දරුවන්ට ලැබෙන්න ඕනෑ. මේ විදිහට අපි මේ රටේ ජනතාවට තවත් සහන දෙනවා. මොකද ආණ්ඩුවක් තියෙන්නේ ජනතාව පීඩනයට පත් කරන්න නොවෙයි. බදු අය කරන්න ඕනෑ බදු දිය හැකි පුද්ගලයන්ගෙන්. ඒ අයගෙන් බදු අය කිරීම වරදක් නෑ. හැබැයි ඒකත් කරන්න ඕනෑ මල නොතලා රොන් ගන්නවා සේ විය යුතුයි.


නව අදහස දක්වන්න