සන්නි­වේ­ද­න­යක් නැති සන්නි­වේ­ද­නය | දිනමිණ

සන්නි­වේ­ද­න­යක් නැති සන්නි­වේ­ද­නය

‘මොකක්ද ටොම්සන් මහත්තයා... මේ උසස් පෙළ සන්නිවේදනය විෂයය ගැන තියෙන අවුල...?‘ කියා ඇසුවේ ඇම්බන් මහත්තයාය.

‘ඇත්තටම එහෙම අවුලක් තියෙනවද?‘ කියා අසමින් එතැනට ආවේ උන්නැහේය.

‘තියෙනවා... තියෙනවා... ඒක තමයි සන්නිවේදනයක් නැති සන්නිවේදනය... ඒක තමයි අවුල...‘ කියා ටොම්සන් මහත්තයා කීවේය.

‘මට තේරුණේ නෑ... ඒ මොකක්ද ටොම්සන් මහත්තයා.. සන්නිවේදනයක් නැති සන්නිවේදනය කියන්නේ...ඒක නිකම් තේරෙන්නේ නැති කියමනක් නේද? හැබැයි ඒකේ පොඩි නිර්මාණශීලී ගතියක් නම් තියෙනවා. “ කියා ඇම්බන් මහත්තයා කීවේය.

‘තේරෙන්නේ නැති එක නම් ඇත්ත.... නිර්මාණශීලී ගතියකුත් තියෙනවා තමයි.. හැබැයි ඔය අවුල තියෙන සන්නිවේදනය විෂය නිර්දේශයේ නම් නෙවෙයි... කියමින් ටොම්සන් මහත්තයා මඳ සිනහවක් නැඟුවේය.

‘හරි ඉතින් මොකක්ද සන්නිවේදනයක් නැති සන්නිවේදනය කියන්නේ? ඒක ටිකක් පැහැදිලි කරලා දෙන්නකෝ...‘ කියා උන්නැහේ කීවේය.

‘ඒක බොහොම භාරධූර කාරියක් නේ උන්නැහේ... දැන් ඔය පාසල් විෂය නිර්දේශ තියෙනවා නේද? ඒවා හදන්නේ මොකටද? ඇත්තටම බැලුවාම දැන් ඒවා හදන්නේ ඔය සම්පත්දායකයෝ කියන කට්ටියට කීයක් හරි හොයා ගන්න නේ... නැතිව ළමයින්ට හරි අධ්‍යාපනයක් දෙන්න නෙවෙයිනේ...‘ කියා ටොම්සන් මහත්තයා කතාව පටන් ගත්තේය.

‘ඇත්තටම එහෙමද ටොම්සන් මහත්තයා...?‘ කියා ඇම්බන් මහත්තයා පුදුමයෙන් ඇසුවේය.

‘එහෙම නේන්නම්... දැන් මෙහෙමයි... ඉස්කෝලේ ළමයින්ට විවිධ විෂය නිර්දේශ තියෙනවා නේ.. එතකොට ඒවා අතර හොඳ සමෝධානයක් තියෙන්න ඕනැ නේ... සමෝධානය කියන්නේ සරලව කිව්වොත් හොඳ සම්බන්ධතාවක්. අර විෂය නිර්දේශයේ තියෙන්නේ මොනවාද? ඒකේ නැත්තේ මොනවාද? එතකොට ළමයින්ට ඉගෙන ගන්න ඕනෑ මොනවාද කියලා හොඳ සැලැස්මක් තියෙන්න ඕනෑ... ‘

‘ඔව්... ඒක නම් එහෙම තමයි... එහෙම නැතිව මොනවා හරි උගන්නලා වැඩක් නෑ නේ..“ කියා ඇම්බන් මහත්තයා කීවේය.

‘ඒ වුණාට එහෙම තමයි වෙන්නේ... දැන් ඔය සන්නිවේදනය විෂය නිර්දේශයට විතරක් නෙවෙයි හැම විෂය නිර්දේශයකටම වෙලා තියෙන්නේ ඒක තමයි... එක කට්ටියක් කාමරය වහ ගෙන ඒ ගොල්ලන්ගේ විෂය නිර්දේශය හදනවා... අනික් කට්ටිය ඒ ගොල්ලන්ගේ කාමරය වහ ගෙන ඒ ගොල්ලන්ගේ විෂය නිර්දේශය හදනවා.. ඒකේ තියෙන්නේ මොනවද? නැත්තේ මොනවාද? කියලා එකිනෙකා දන්නේ නෑ... ඒ විතරක් නෙවෙයි එහෙම හදාපු විෂය නිර්දේශය ආයේ විවෘත සාකච්ඡාවකට භාජනය කරන්නෙත් නෑ... හදාපු අය ඉන්නේ ඒකේ අයිතිකාරයෝ වාගේ.. හරියට අපේ ඔළුවට උඩින් කපුටෙක්වත් පියාඹන්නේ නෑ කියලා ලොකු මානසිකත්වයකින්...

‘එතකොට ටොම්සන් මහත්තයා... ඕකේ ඉන්න ඔය ලොකු නිලධාරීන් ඕවා ගැන හොයලා බලන්නේ නැතිද?‘ කියා උන්නැහේ හරස් කපමින් ඇසුවේය.

‘මොන පිස්සුද උන්නැහේ.... ඒ ගොල්ලන්ට තියෙන්නේ ඊ ළඟට මට රට යන්න තියෙන්නේ කවද්ද කියලා හොයන එකයි... ඔය ලොකු නෝනා කෙනෙක් එක කාලෙක රට ගියේ කොහොමද දන්නවද? ලංකාවට ආවේ රෙදි ටික හෝදා ගෙන යන්න විතරයි. රෙදි ටික හෝදා ගත්තා... ආයෙත් ගියා... හැබැයි රට ගිහින් මේ රටේ අධ්‍යාපනයට වෙච්චි දෙයකුත් නෑ... ඉතින් ඒ වගේ උදවිය නේ උඩින් ඉන්නේ.. ඒ ගොල්ලන් කොහොමද විෂය නිර්දේශවල හොඳ නරක හොයන්නේ..අඩු ගණනේ පාසල් විෂය නිර්දේශ ගැන ප්‍රතිපත්තියක්වත් නැති කොට.. ඉතින් ඔය මොකක් හරි හදන එකක් ඔස්තාද්ලා ටික අත්සන් කරලා දුන්නම, ඒක අර ශාස්ත්‍රීය මණ්ඩලයෙන් අනුමත කරනවා... ශාස්ත්‍රීය මණ්ඩලයෙන් අනුමත කරපු නිසා ඊට ඉහළ මණ්ඩලයෙන් අනුමත කරනවා... ඊට පස්සේ ඉස්කෝලේ උගන්නන්න යවනවා.. ඉස්කෝලේ ගුරුවරු කියන්නෙත් ඒ වගේම ජාතියක්.. ඕනැ කුණු ගොඩක් සද්දයක් නැතිව උගන්නනවා... ඒක තමයි සන්නිවේදනයක් නැති සන්නිවේදනය කියන්නේ... දැන් තේරුණාද? කියා ටොම්සන් මහත්තයා ඇසුවේය.

‘දැන් තේරුණා ‘ කියා උන්නැහේ හිස වැනුවේය.

‘ඒ කියන්නේ ඒවා හදන අය අතරත්, අනික් අය අතරත්, ගුරුවරු අතරත්, වෙනත් බාහිර පාර්ශ්ව අතරත් කිසිම සන්නිවේදනයක් නැතිව තමයි මේ විෂය නිර්දේශ හදන්නේ... ඒක තමයි සන්නිවේදනය විෂය නිර්දේශයටත් වෙලා තියෙන්නේ... අනේ අපොයි.. රටක පාසල් අධ්‍යාපනයට ගිය කලක්..‘ කියා උන්නැහේ කම්මුලේ අත තබා ගත්තේය.

බන්දුල පී දයාරත්න


නව අදහස දක්වන්න