මහ­ගිරි දඹ තනි­වම තර­ණය කළෙමි | දිනමිණ

මහ­ගිරි දඹ තනි­වම තර­ණය කළෙමි

මේ දවස්වල මුහුණු පොතේ ( බුකියේ ) මිතුරු මිතුරියන් ප්‍රශ්න වැළකට ලියන උත්තර පත්තර රාශියක් දකිනවා. නම, ගම ගෙදරට කියන නම, පුංචි කාලෙ ට්‍රයි කරපු රස්සාව, ආසම පාට, ආගම, අඳින්න ආසම ඇඳුම, වැඩිපුරම බය කාටද, සුරතල් සතා, කැමතිම මල, අතීතයට යන්න පුළුවන් නම් කැමතිම දවස, එතකොට තවත් අපූරු ප්‍රශ්න. දකින්න ආසම හීනය, කටු කාල තියෙනවද, වැඩියෙන්ම ආදරේ කාටද, බස්වල හොරෙන් ගිහිං තියෙනවද, අරක්කු බීල තියෙනවද, හොඳම පුරුද්ද වගේ ප්‍රශ්න. ටික දවසක් අනිත් අය දෙන උත්තර කියව කියව හිටිය මිසක් මම කවුද කියල කියන්න හිතුවෙ නැත්තෙ ප්‍රශ්න පිළිතුරු නළු නිළියන්ගෙන් අහන ඒව වගේ නේ ද කියල හිතපු නිසා.

ඒත් බලාගෙන ගියාම දන්න කියන මිත්‍රයො මිතුරියො කවි ලියන කතා ලියන බුකියෙ නිතර මුණ ගැහෙන සොඳුරු චරිත හැමෝම වගේ ප්‍රශ්න පත්තරේට උත්තර ලියලා. මම විතරක් කොන්වෙලා ඉන්නෙ මොකද කියල හිතලා මගේ උත්තර ලිව්වට පස්සෙ ඕන්න කට්ටියගෙම කොමෙන්ට්ස් වැහි වහින්න පටන් අරගෙන. කට්ටියක් කියනවා බොහොම අවංකව උත්තර ලියල තියෙනව කියලා, තවත් අය කියනවා ඒ ගොල්ලො නම් හිතුවෙ නෑ අරක්කු බොනව කියල. ඔළුව විකාර වෙන දේශපාලන තර්ක විතර්ක අප්‍රසන්න කතා ඇහෙන දකින මේ දවස්වල මගේ උත්තරවලට යාළුවන්ගෙ කොමෙන්ට්ස් කියෙව්වම අමුතුම සතුටක් දැනුණ කියල ලියන්න වෙනවා.

මේ ප්‍රශ්න පත්තරේ අහපු ප්‍රශ්නවලින් ප්‍රශ්න දෙකකට දීපු උත්තර ආපහු මතක් වුනාම අද තීරුව ඒ උත්තර ගැන ලියන්න හිතුණා. එකක් තමයි පොඩි කාලෙ ට්‍රයි කළේ කවුරු වෙන්නද? දෙක තමයි කටු කාල තියෙනවද? දෙවනි ප්‍රශ්නෙට මම දුන්න උත්තරේ තමයි, අපෝ ඔව් කටුම තමයි වැඩිපුර කාල තියෙන්නෙ කියපු එක. පොඩි කාලෙ ට්‍රයි කළේ කවුරු වෙන්න ද කියල අහපු ප්‍රශ්නෙට දීපු උත්තරේ තමයි, පත්තර කන්තෝරුවක හරි රේඩියෝ සිලෝන් එකේ හරි රස්සාවක් කරන එක කියල දීපු උත්තරේ. ( මගේ පුංචි කාලෙ එක රේඩියෝ එකයි තිබුණෙ, රේඩියෝ සිලෝන් එක, දැන් ගුවන් විදුලි සංස්ථාව ) මගේ පාසල් කාලෙ, සරසවියට ගිය කාලෙ, උපාධිය අරගෙන රස්සාවක් නැතුව හිටපු කාලෙ කටුම තමයි කෑවෙ. ඒත් කටු කාපු ජීවිතේ සුන්දරම හීන හැබෑ කරගන්න මම තනිවම ම මහගිරි දඹ තරණය කළා නේද කියල දැන් කල්පනා වෙන්නෙ මගේ රැකියා ජීවිතේ ඉතිහාසයට යනකොට.

විද්‍යෝදය විශ්වවිද්‍යාලෙන් සාමාන්‍ය උපාධිය සමත් වෙලා රස්සාවක් හොයාගන්න රස්තියාදු වෙච්ච කාලෙ තමයි ජීවිතේ කට්ට කෑමේ දෙවන අදියර. ගෙදර දොර පවුල් පසුබිමින් කිසිම උපකාරයක් නොලැබී, කිසිම දේශපාලන සම්බන්ධකමක් නැතුව රස්සාවක් හොයා ගෙන කට්ට කාපු ගමන නැවතුණේ රුපියල් හයක දවසෙ වැටුපකට ජාතික ලුණු සංස්ථාවෙ අනියම් ලිපිකරුවෙක් විදියට රස්සාවක් ලැබුණට පස්සෙ. මොකක්දෝ හේතුවකට ද මන්දා ලුණු සංස්ථාවට බැඳුණු පළමුවෙනි උපාධිධාරී ලිපිකරුවා ගෙ වාර්තාව නම් මට ලැබුණා. ඒත් දවසක රුපියල් හයක වැටුපට. රුමේනියාවෙන් දොඹකර ආනයනය, එංගලන්තයෙන් ලොකොමොටිව් යන්ත්‍ර අමතර කොටස් ආනයනය, ලුණු ලේවා තුනට කොහු මලු සැපයීම , ණයවර ලිපි Letters of Credit , රේගු නිෂ්කාෂණ වගේ අපබ්‍රංස විෂය මගේ කවි කල්පනා එක්ක අහසට පොළොව වගේ දුරස් වුණා.

කන්තෝරු ඉවර වෙලා කැම්පස් ගිහිං තිස්ස කාරියවසම් සර්ට දුක් ගැනවිල්ල කියනවා. “අනේ සර් මට නම් මේ ජොබ් එක අල්ලන්නෙ නෑ, මම ගෙදර නවතිනව කියලා...“ “පිස්ස නොවී ඔතන ටික දවසක් අල්ලං හිටපං, ඕකෙ සභාපති දෙමළ මනුස්සය හරි හොඳයි. කළුතර G.A. වෙලා ඉන්න කාලෙ කොහොඹ කංකාරිය එහෙමත් නටවලා තියෙනව.“ මට මානික්කම් සිවනාදන් නම් කාල වර්ණ අඩි හයකටහ් වඩා උස තේජාන්විත සිවිල් සේවයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියාගේ මුහුණ මතක් වේ. අනියම් ලිපිකරු ස්ථීර කිරීමේ විභාගයට කාර්යාලයේ කාර්යාල කාර්ය සහායකයකු හා උපාධිධාරියකු එකට පිළිතුරු ලිවීම තරම් කට්ට කෑමක් තවත් තිබේද? කට්ට කෑමේ මිහිරි ප්‍රතිඵලය වූයේ ලුණු සංස්ථාවේම මාණ්ඩලික ශ්‍රෙණියේ සහකාර තනතුරකට සේවයට බැඳී වසර පහකට පසු උසස් වීමයි.

රුපියල් හයේ අනියම් වැටුප රුපියල් දෙසිය හැටපහක මාසික වැටුපක් වී රුපියල් හය සියයක වැටුපකට මාණ්ඩලික සහකාර තනතුරක් ලබා ගත්තේත් ඉන් වසර දෙකකට පසු රුපියල් අටසියයක වැටුපක් නිලධාරීවරයකු ලෙස ලබා ගත්තේත් ස්වශක්තියෙන්ම, සේවයේ කාර්ය සාධනය මතම විනා කිසිවකුගේත් දැන හැඳුනුම් කමකින් නොවූ බව සිහිපත් වේ. ලුණු සංස්ථාවේ රැකියාවේ වැටුප අමතක කොට එහිදී ලද අත්දැකීම් ජීවිතයේ කිසිදා අමතක නොවන ඒවා ලෙස මතක් කරන්නට හැකිය. උතුරේ අලිමංකඩ, බටහිර පුත්තලම පාලාවිය, දකුණේ හම්බන්තොට මහ ලේවාය ඒවායේ සංචාරක නිවාස, යාල, පලටුපාන වනෝද්‍යාන සංචාර ලුණු සංස්ථාවේ රැකියාවේ මතක සමුදායෙන් බිඳක් පමණි. බාල කාලයේ සිට සරසවියට එන තෙක් අකුරු කළ පාසල් රාශියක් තිබුණා මෙන්ම රැකියා ජීවිතයේ ද රාජකාරි ස්ථාන රාශියක්ම වීමත් ඒ සෑම ආයතනයක්ම රාජ්‍ය සංස්ථාවක් වීමත්, එකකින් එකකට සෑම කල්හිම උසස්වීමක් සහිතව යන්නට ලැබුණේ අල්ප මාත්‍ර දේශපාලන දැන හැඳුනුම්කමකින් නොවීමත් මහගිරි දඹ තරණයේ විශේෂත්වය වේ.

ලුණු සංස්ථාවේ නිලධාරී තනතුරින් ශ්‍රී ලංකා ටයර් සංස්ථාවේ නියෝජ්‍ය කළමණකාර තනතුර, ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාවේ නියෝජ්‍ය ප්‍රධාන සැපයීම් නිලධාරී තනතුර, ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ සැපයීම් නිලධාරී, සහකාර කළමනාකාර ( මිලදී ගැනීම් ) තනතුරෙහි සිට සැපයීම් කළමණාකාර තනතුර දක්වා පියගැට පෙළෙහි ඉහළටම නැංගේ දේශපාලන වශයෙන් මා කිසිසේත්ම අනුමත නොකරන පාලන සමයක දීය. මහාචාර්ය සරච්චන්ද්‍රට හා මාදුළුවාවේ සෝභිත නාහිමියන්ට බෞද්ධ සම්මේලනයේ දී පහර දීම සිදු වූ සමයේ සිමෙන්ති සංස්ථාවේ බලවත් වෘත්තීය සමිති නියෝජිතයන් ඊට හවුල් වූ බව දැන ගතිමි. ඒ දේශපාලනය මගේ රැකියාවට හා ලැබූ උසස්වීම්වලට කිසිසේත්ම බලපෑමක් නොකළේ මගේ රැකියාවේ වගකීම් නොපිරිහෙලා ඉටු කිරීම නිසා විය යුතුය. යළිත් වරක් කන්කසන්තුරේ, පුත්තලම හා ගාල්ල යන දිශා තුනක කර්මාන්තශාලා නිෂ්පාදන ක්‍රියාවලියට අවශ්‍ය කුඩා ද්‍රව්‍යයක සිට අමුද්‍රව්‍ය රැගත් විශාල නෞකා මෙන්ම විශාල යන්ත්‍ර සූත්‍ර ආනයනය දක්වා වූ වාර්ෂික මිලදී ගැනීම් අයවැයක් කළමනාකරණය කළේ තනිවම ම දුෂ්කර ගිරි තරණයට සිතෙහි වූ ආත්ම ශක්තිය නිසාමය. සිමෙන්ති සංස්ථාවෙන් රාජ්‍ය දැව සංස්ථාවේ ප්‍රථම මිලදී ගැනීම් හා නැව් කටයුතු කළමනාකාරවරයා සම්මුඛ පරීක්ෂණයකින් පත්වීම් ලබන සමයේ එහි ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා ලෙස මිත්‍ර ජෝ අබේවික්‍රම සිටිය බවවත් මගේ මතකයේ නොවිණ. පසුව ඔහු හමු වූ අවස්ථාවක ජෝ පැවසූයේ උඹ එන බවක් මට නිකමටවත් කිව්වෙ නෑ කියායි.

රාජ්‍ය දැව සංස්ථාවෙන් නැවතත් ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවට, උසස් වීමක් සහිතව, අගමැති ප්‍රේමදාස, අමාත්‍ය සිරිසේන කුරේට අයත් අමාත්‍යාංශයක, 1988-89 භීෂණ සමයේ උච්චතම කාල වකවානුවක රහස් පොලිස් වාර්තා ද සමඟ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ( සැපයීම් ) තනතුරට පත්වීම් ලබන්නට උදව් කළ කිසිවෙක් මට නොවීය. එතැන් පටන් සංස්ථාව පෞද්ගලීකරණය වී පුත්තලම සිමෙන්ති සමාගම, හොල්සිම් සමාගම ආදී ආයතන පාලනය කළ විදේශීය හිමිකරුවන් යටතේ ප්‍රසම්පාදන හා නැව් කටයුතු හා නිෂ්කාෂණ අංශ ප්‍රධානියා ලෙස ද විශ්‍රාම යනතෙක් රැකියාව කළේ දේශීය හා විදේශීය පාලනාධිකාරය මා වෙත තැබූ විශ්වාසය මතම විනා අන් කිසිදු දැන හැඳුනුම්කමකින් නොවන බව දනිමි. විශ්‍රාම යෑමෙන් පසුව වුව වසර ගණනාවක් මගේ වෘත්තීමය සුදුසුකම්වලින් බැහැර වූ එහෙත් මගේ ප්‍රියතම ක්ෂේත්‍ර වූ මාධ්‍ය හා මහජන සම්බන්ධතා උපදේශකයකු ලෙස මා රඳවා ගන්නා ලද්දේ ද එකී අංශ තුළ ද මා සතු වූ පළපුරුද්ද දැනුම නිසා විය යුතුය.

මුහුණු පොත ප්‍රශ්නාවලියට ලියූ පිළිතුරෙහි වූයේ පොඩි කාලෙ ට්‍රයි කළේ පත්තර කන්තෝරුවක හරි රේඩියෝ සිලෝන් එකේ හරි රස්සාවක් කිරීමට කියායි. රාජ්‍ය සංස්ථා කීපයකම, ඉතා සුළු වැටුපකින්, ( දිනකට රුපියල් හයකින් ) පටන් ගෙන අවසන ඉලක්කම් හයක වැටුපකින් සේවය නිමා කළත් කුඩා කාලයේ මා සිත වූ ට්‍රයි කිරීම ඉටු කරගත් බව මට සිතේ. වෘත්තීයකයෙකු ලෙස ඉහත ආයතන සියල්ලෙහි කටයුතු කරන අතරෙහිම සාහිත්‍යය, මාධ්‍යය, ගුවන් විදුලිය, සිනමාව රූපවාහිනිය, වේදිකා නාට්‍යය ආදී සියලු ක්ෂේත්‍ර තුළ සක්‍රීයව රැඳී සිටින්නේ කිසිවකුගේත් අත් වැලක නො එල්ලී තනිවම ම ජීවත්වන්නකු නිසාය. කෙතරම් කට්ට කෑමට සිදු වූවත් අධිෂ්ඨානය අත් නොහරින්නකුට ඕනෑම දුෂ්කර මහගිරි දඹක් තනිව තරණය කරන්නට හැකි බව අත්දැකීමෙන්ම මම දනිමි.

බුද්ධදාස ගලප්පත්ති


නව අදහස දක්වන්න