මාලි­ග­යෙන් උපන් විහා­රය | දිනමිණ

මාලි­ග­යෙන් උපන් විහා­රය

පුරාණ සිංහල රජදවස වැඩවසම් ආණ්ඩු ක්‍රමය යටතේ ප්‍රජාතන්ත්‍රවාදී සංකල්ප ක්‍රියාත්මක නොවූ බැවින් ඊළඟ පාලකයා පත් කෙරුණේ උරුමය පදනම් කොට ගෙන ය. පියාගෙන් පුතාට රජකම උරුම වීම සාමාන්‍ය සම්ප්‍රදාය වුවත්, ලංකා ඉතිහාසයේ විවිධ වකවානුවලදී එය වෙනස්කම්වලට බඳුන් වී තිබිණි. රජුගෙන් පසු ඔහුගේ සහෝදරයන්ට පිළිවෙළින් රජකම හිමි වී සහෝදරයන් සියලු දෙනා රජකම් කිරීමෙන් පසුව වැඩිමහලු සහෝදරයාගේ පුතුට රජකම හිමිවන ක්‍රමයක් අනුරාධපුර යුගයේ එක්තරා වකවානුවක සම්ප්‍රදාය වී තිබිණි.

ඉක්මනින් තමන්ට රජකම අත්පත් කරගන්නට ඇවැසි වූ උරුමකම් ඇත්තවුන් ඒ සඳහා කුමන්ත්‍රණ කරන්නට හා කැරලි ගසමින් බලය අත්පත් කරගන්නට ‍ක්‍රියා කිරීමෙන් රාජ්‍ය වියවුල් වූ අවස්ථා අපේ ඉතිහාසයේ බොහෝ වෙයි. එමතු නො වේ. රජකම් පතන ඇත්තෝ යාබද දක්ෂිණ භාරතයට පලා ගොස් කුලී සේනා මෙරටට කැන්දන් ආහ. නොයෙක් රජ කුමරුවන් රැගෙන ආ කුලී සේනා නඩත්තු කිරීම අවසානයේ දී අනුරාධපුරයට මහ බරක් විය.

සෙංකඩගල යුගයේ දී අග බිසවගෙන් පුතකු නොලද රජවරු අග මෙහෙසියගේ සොහොයුරාට රජ උරුමය ලබා දුන්හ. ලංකාවේ රාජාවලියේ අවසාන භාගයේ නායක්කාර් වංශික රජවරුන් සතර දෙනෙක් රජකම් කළේ එහි ප්‍රතිඵලයක් හැටියට ය.

සෙංකඩගල යුගයේ දී රජවරුන් යටතේ විවිධ නිලතල දරූ නිලමක්කාරයෝ ද රජකම ලැබීම උදෙසා සිහින දකිමින් සිටියහ. පිළිමතලව්වේ මහ අදිකාරමගේ රජපදවි සිහිනය සේ ම ඔහු ඒ වෙනුවෙන් කළ කුමන්ත්‍රණ ද ඉතිහාසයේ බොහෝ තන්හි ලියැවී තිබේ. මොල්ලිගොඩ අදිකාරම් රජවීමේ සිහිනය මනසින් දුටු තවත් නිලමක්කාරයෙකි.

මොල්ලිගොඩ අදිකාරම්, මොල්ලිගොඩ අදිකරම් හෙවත් සෙනෙවිරත්න බණ්ඩාර මහ නිලමේ සිංහලයේ අවසන් රජ ශ්‍රී වික්‍රම රාජසිංහ රජ දවස සිටි අවසන් අදිකාරම්වරයා ය. ඔහුට ද සිංහලයේ රජ පදවිය ලබන්නට සිහිනයක් තිබිණි. මොල්ලිගොඩ රජ පදවිය ලබන්නට පෙර රජ මාලිගයක් තනන්නට සැලසුම් කළේ ය. පළමු පෙළේ නිලමක්කාරයකුට වුව ද වලව්වක් මිස රජ මාලිගයක් තැනීම තහනම් ය. එය යම් හෙයකින් මහරජුට දැනගන්නට ලැබුණොත් නිලමක්කාරයා රාජ උදහසට ලක් වීම නියත ය. එබැවින් මොල්ලිගොඩ සිය සිහිනමය රජකමට අදාල මාලිගය තනන්නේ හොර රහසේ ය. මාලිගය තනන ස්ථානය නැඟෙනහිර හා බටහිර දිසාවන්ට ජල දුර්ගයන් පිහිටි, උතුරු හා දකුණු දිශාවන්ට ගිරි දුර්ගයන් පිහිටි රාජ්‍යාරක්ෂාවට මැනවින් ගැළපෙන භූමි භාගයකි. එසේ ම මොල්ලිගොඩ සිය මාලිගය වටා දිය අගලක් ද කරවමින් ආරක්ෂාව සඳහා අවශ්‍ය සාධක සපුරා ගන්නට පටන් ගත්තේ ය.

මොල්ලිගොඩ අදිකාරම් පැරණි වාස්තු විද්‍යාවට අනුව යමින් ටැම්පිට ගොඩනැගිල්ලක් සේ සිය මාලිගයේ වැඩ ඇරඹූ බව කියැවේ. ඔහුගේ මාලිගයට මහල් තුනක් සැලසුම් කෙරිණි. ටැම්පිට මන්දිරයේ පළමු මහල සැකසුණේ රාජසභාව රැස් කිරීම සඳහා ය. එහි ම දෙවන මහල මොල්ලිගොඩගේ වාසස්ථානය සේ සකසන්නට පියවර ගැනිණි. තුන්වන මහලේ දන්ත ධාතූන් වහන්සේ තැන්පත් කරන්නට මොල්ලිගොඩ අදහස් කළේ ය. දන්ත ධාතුව සියල්ලට ඉහළින් මුදුන් මහලේ තැබිය යුතු ය.

මොල්ලිගොඩ අදිකාරම්තැනට විශ්වාසවන්ත ශිල්පීන් කැඳවාගෙන මාලිගයේ වැඩ කටයුතු පටන් ගත්තේ හොර රහසේ ය. සිතූ පැතූ ආකාරයෙන් ම කටයුතු සිද්ධ වෙමින් පැවතිණි. ඒ වන විට දෙවන මහලේ වැඩ නිමවෙමින් පැවතියේ ය. දිය අගලේ කටයුතු ද සැලසුම් කළ අයුරින් සිදුවෙමින් පැවතිණි. නොසිතූ අයුරින් රහසේ ඉඳිවන මාලිගය ගැන දැනගත් මොල්ලිගොඩගේ විරුද්ධවාදියෙක් රජුට කේලම් කීවේ ය. අදිකාරම්වරයා තමන්ට රහසින් මාලිගයක් ඉඳිකරන බව ඇසූ බෙහෙවින් කෝපයට පත් විය. වහාම පැමිණ රජු හමුවන මෙන් මොල්ලිගොඩට පයිංඩ ලැබිණි. මහරජු ඉදිරියට ගිය මොල්ලිගොඩ දුටුවේ කෝපයට පත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ය. බැහැදැක වැඳ වැටුණු සැණින් රජු විමසුවේ රහසින් තනවන මාලිගය පිළිබඳව ය.

“බයබෝයි දේවයන් වහන්ස. ගැත්තාට සමාවෙන සේක්වා! මා වෙහෙස වී තනන්නේ විහාරයක්. කවුරුන් හෝ මගේ විරුද්ධවාදියෙක් ඔබවහන්සේට මුසාවක් කියන්ට ඇති.”

“ හොඳයි මම හෙට සැන්දෑවේ ම තගේ අලුත් විහාරය පරීක්ෂා කරන්නට එනවා.”

ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා සැකය ඉවත් කර නෙගෙන ම අදිකාරම්ට පිළිවදන් දුන්නේ ය.

මොල්ලිගොඩ අදිකාරම් රජු වෙතින් ඉවත්වූයේ පිටතට නොපෙන්වන කලබලයක්, ගැටලුවක් සිතෙහි රඳවාගෙන ය. පසුදින සවස් වනවිට කෙසේ හෝ මාලිගය විහාරයක් බවට පත්කළ යුතු ය. නැතහොත් රාජ උදහසට ලක් වන්නට සිදුවේ. ඇතැම් විට දංගෙඩියට හිස තබා ජීවිතයෙන් ම සමුගන්නට සිදුවිය හැක. ඔහු වහාම උඩරට සිත්තරුන් පිළිම නෙළන්නන් හා කැටයම්කරුවන් මාලිගය තනන ස්ථානයට ගෙන්වා ගත්තේ ය. වැඩ නිමි පිළිම ආදිය ද ගෙන්වා ගත්තේ ය. කඩිනමින් වැඩ ඇරඹිණි. වැඩ නිම වී තිබු බිතු මත ශිල්පීහු පිළිම නෙළන්නට පටන් ගත්හ. සිත්තරු සිත්තම් අඳින්නට පටන් ගත්හ. රැගෙන ආ පිළිම ආදිය නිසි තැන්වල තැබිණි. බොහෝ වෙහෙස වෙමින් විශාල පිරිසක් විසින් සිදු කරන ලද කටයුතු මැද පසුදා සවස් වන විට රජමැදුර ඉඳි කරමින් පවතින විහාර ගෙයක සිරිය පෙන්වන්නට විය.

ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සවස් වන විට දැනුම් දී තිබූ ආකාරයට ම එතැනට පැමිණියේ ය. මොල්ලිගොඩගේ ඉදිකිරීම් පිරික්සූ රජු දුටුවේ විහාරයක් කරවන බව ය. ඉතින් මොල්ලිගොඩට ගැටලුවක් වූයේ නැත. ඔහුගේ උපායශීලී කටයුතු අදිකාරම්ගේ දිවි ගලවා දුන්නේ ය. ඉන්පසු තෙවන මහලක් තනවන්නට ඇවැසි වූයේ ද නැත. විහාරයක් බවට පත් කරවූ මාලිගයේ වැඩ කටයුතු ඉන් අනතුරුව සිදුවූයේ ද ඉතා සෙමිනි. ජල අගල තැනීමේ කටයුතු එතැනින් ම නිම වූයේ ය. සෙමෙන් සෙමෙන් සෑහෙන කලක් ගෙන දෙමහල් විහාරයේ වැඩ කටයුතු නිම විය. විහාරය සඟ සතු කොට පූජා කරන ලද්දේ ශක වර්ෂ 1748 දී (ක්‍රිස්තු වර්ෂ 1826) දී ය. ඒ වන විට ශ්‍රී වික්‍රම රාජසිංහ රජු බලයෙන් පහ වී කිරීටය ඉංගිරිසීන් සතුව එකොළොස් වසරක් ගෙවී තිබිණි.

මොල්ලිගොඩ පසුව විහාරයක් බවට පත් වූ මාලිගය ඉඳි කළේ මාවනැල්ලට හා උතුවන්කන්දට ආසන්න දොඩම්තලේ නම් ගම්මානයක ය. දැන් එය දොඩම්තලේ රජ මහා විහාරයයි. මේ විහාරය සතුව විසල් එළිමහන් ආලින්දයකි. පහත මාලය අතීතයේ සිට ම ධර්ම ශාලාව සේ ප්‍රයෝජනයට ගැනුණු බවට එච්. සී. පී. බෙල් මහතා ද සිය කෑගලු වාර්තාවෙන් සාක්කි කියයි. ආලින්දයට පිවිසෙන්නට මෙන් ම විහාරයට පිවිසෙන්නට නිමවන ලද තරප්පු පෙළ දැකිය හැක. විහාරයේ විසල් හිඳි පිළිමයක් මෙන් ම හිටි පිළිම දෙකක් ද දක්නට ලැබෙයි. දැවමය පිළිම මත මැටි ආලේප කොට තීන්ත යොදා හැඩගන්වා තිබේ. එක් බිත්තියක කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ ද, මොල්ලිගොඩ අදිකාරම්ගේ හා පසුව කුරුවේ දිසාව නමින් හැඳින්වුණු ඔහුගේ පුත්‍රයාගේ ද සිතුවම් දක්නට ලැබේ. නාරිලතා, පංචනාරී ගට, සක් පිඹින්නන්, මල් සහිත ලියකම් වැනි විවිධ සිත්තම් ය. නැඟෙනහිර දෙසින් තෙමහල් පේසාවක් මැද පිහිටා ඇති පැරණි බෝධියයි. පැරණි සංඝාවාසයක් පිහිටා ඇත්තේ දකුණු දෙසිනි. විශාල දැවමය වී අටුවක් ද එහි ඇත්තේ ය. කොහොමත් දොඩන්තලේ එහි වාස්තු විද්‍යාත්මක ලක්ෂණ ආදිය සලකා බලන විට විශේෂිත විහාරයකි.

මා දොඩන්තලේට විශේෂයක් දැක්වූයේ එහි ඇති ඉහතින් සඳහන් කරන ලද කිසිදු ස්වාභායක් නිසා නම් නො වේ. විහාරයේ උත්පත්තිය පිළිබඳ සුන්දර කතාව හේතුවෙනි. මොල්ලිගොඩ අදිකාරම්ගේ සිහිනමය රජ මාලිගය හා රාජ උදහසින් ගැලවෙන්නට මාලිගය මරා ගෙන උපන් විහාරය පිළිබඳ සුන්දර කතා පුවත හේතුවෙනි.

 මහානාම දුනුමාල


නව අදහස දක්වන්න