කෝච්චි­යේදී හමු වූ අපූරු සිංදු­කා­රයා | දිනමිණ

කෝච්චි­යේදී හමු වූ අපූරු සිංදු­කා­රයා

එදා කළුතර කෝච්චිය ආවේ විනාඩි 15ක් විතර ප‍්‍රමාද වෙලා. කළුතර දිස්ත්‍රික් ලේඛක සංවිධානයේ වාර්ෂික සාහිත්‍ය උත්සවය ආරම්භ වීමට නියමිතව තිබුණේ හවස 1.30ට. කෝච්චිය කොටුව ස්ටේෂමෙන් පිටත් වෙනකොටත් එක පහු වෙලා. ඒ මදිවට ආසනයක් අල්ලගන්න පුළුවන් වුණෙත් නැහැ. බස්සෙකක අපූරුවට වාඩිවෙලා කල්වේලා ඇතුව කළුතරට යාගන්න පුළුවන්කම තියෙත්දිත් මම, සෙනඟ පිරුණු මැදිරියක අයිනකට වෙලා ඔහේ වැනි වැනී හිටියෙ කෝච්චියක් අල්ලන්න ගිහින් වැටුණ අමාරුව ගැන මටම හිනාවෙමින්.

බොන්ගෝ බෙරයක් කරේ එල්ලගත්තු තරුණ පහේ ගායකයෙක් සෙනඟ අස්සෙන් මතු වුණේ ඒ වෙලාවෙ. බොන්ගෝවට අමතරව මවුත් ඕගනයකුත් ඔහු සතුව තිබුණා. ඒ මවුත් ඕගනය රැඳී තිබුණේ ගෙලෙහි පැළඳි වළල්ලාකාර උපකරණයක් මතයි. හරියටම ඔහුගේ මුවට සමාන්තරව මයිකප්‍රෝනයක් වගේ ඒ මවුත් ඕගනය රඳවාගෙන තිබුණෙ අවශ්‍ය වෙලාවට එය වාදනය කිරීම පහසු වනු පිණිසයි. සංගීත භාණ්ඩ දෙකක් වාදනය කරමින් ගී ගයන මේ අපූරු තරුණයා වැඩි වෙලාවක් යන්න කලින් දුම්රිය මැදිරියේ සිටි කාගෙත් අවධානය දිනාගැනීමට සමත් වූ සෙයක් පෙනුණා.

ටී ෂර්ටයකින් හා ඩෙනිම් කලිසමකින් සැරසී ඩෙක් සපත්තු දෙකක්ද දාගෙන හිටපු ඔහු වෙතින් පළ වුණේ වෘත්තීය ගායකයකුගේ ලක්ෂණයි. ඒ වගේම මුහුණ පුරා දක්නට ලැබුණු ට්‍රිම් කළ රැවුලත් නිරන්තරයෙන් මතුව පෙනුණු මදහසත් ඔහුගේ ගායනයට එක් කළේ අමුතුම සිරියාවක්. ගායනය ඇරඹීමට පෙර සියල්ලන්ගෙන්ම ඉතා නිහතමානි ආකාරයට ඔහු අවසර ලබාගත් බවත් මෙහිදී විශේෂයෙන්ම කිව යුතුයි. ඔහු සිටගෙන සිටියේ මා ඉදිරිපිටම නිසයි මට මෙතරම් විස්තරාත්මකව මේ ගායකයාගේ ඉරියව් කියාපාන්න හැකියාවක් ලැබුණේ. පැද්දෙන ගැස්සෙන මැදිරියේ දෙපයින් සමබරතාව රැකගන්න ඔහුට මහත් ආයාසයක් දරන්න වුණත් එය කිසිසේත්ම ගැයුමට බාධාවක් කරගත්තෙ නැහැ. ගී ගයද්දී ඔහුගේ දෑසට වැඩි වශයෙන්ම ඉලක්ක වුණෙත් මායි. මා ඔහු නිරීක්ෂණය කරන බවක් තරුණ ගායකයාට සමහර විට දැනෙන්නත් ඇති.

ගායකයා ඉතා ප්‍රවේසමෙන් ගී තෝරාගෙන ඇති බවත් ටික වෙලාවක් යන විට මට වැටහුණා. පොදු රසිකයන්ට ගැළපෙන ගී මාලාවක් ඔහුගේ ගී සරණියට ඇතුළත්ව තිබීමත් මගී ප්‍රජාවගේ අවධානය දිනා ගැනීමට හේතුවක් වෙන්න ඇති. මට මතක හැටියට ඔහු මුලින්ම කීවේ මොහිදීන් බෙග්ගේ ගීතයක්. ඉන් පස්සෙ ජෝතිපාල, මිල්ටන් , එම්. එස්. වැනි පැරණි පරපුරේ සිට නව පරපුරේ ගී දක්වා තරුණ ගායකයාගේ ගී පරාසය පැතිර ගියා. දුම්රිය මැදිරියේ සිටි තරුණයන් කිහිප දෙනෙක්ද ඔහු වටා එක් වී ගායනාවට අත්වැල් අල්ලද්දී තරුණයාගේ මුහුණ පුරා සොම්නස් සිනහ රේඛාවක් විහිද ගිය හැටිත් මට මතකයි. මන්දගාමි දුම්රිය බම්බලපිටිය, දෙහිවල හා රත්මලාන ආදි සෑම දුම්රිය පොළකම නවත්වද්දී බොහෝ මගීන් බැස ගියා. ඒත් ඒ මගීන්ගෙන් බහුතරයක් බසින්නට පෙර තරුණයා අතට කීයක් හෝ දී යන්න අමතක නොකිරීම මගේ සිතට මහත් ආස්වාදයක් ගෙන දුන් කාරණයක් වූ බවද විශේෂයෙන්ම කියන්න ඕනා.

දුම්රියේ ගමනාවසානය වුණේ දකුණු කළුතරයි. ඊට දුම්රිය ස්ථාන දෙකකකට විතර කලින් පමණ ඔහු ගායනය නතර කළේ නිහාල් නෙල්සන්ගේ “කරුණා සුවඳ තැවරූ හද පියුමේ” මවු ගුණ වරුණ ගීයෙන්. ඔහු එය ගැයූ ළගන්නාසුලූ විලාසය මගේ දෑසටත් කඳුළක් නැංවූ බව නොකියා බැහැ.

ගැයුම අවසාන කළත් ඔහු කිසිම මගියෙක් අසලට ගොස් අත පෑවේ නැහැ. එතෙක් වෙලා එක සීරුවට ගී ගයද්දී විටින් විට සිය සිරුරේ නැගෙන දාදිය පිස දැමීමට භාවිත කළ පුංචි චීත්ත රෙදි කැබැල්ල ඩෙනිමේ පිටුපස සාක්කුවේ එල්ලා වැටෙන ලෙසයි ඔහු දමාගෙන සිටියේ. එතෙක් වෙලා උරෙහි එල්ලාගෙන තිබුණු බොංගෝවද ගලවා බිමින් තබා ගෙළෙහි වළල්ලක් වගේ පැළඳගෙන සිටි මවුත් ඕගනයෙනුත් ඔහු නිදහස් වුණා. ඊට පස්සෙ ක්‍රිකට් විනිසුරෙක් සාක්කුවෙන් ලේන්සුව ගන්න දර්ශනය මා ඉදිරියේ මවාපාමින් අර චීත්ත කෑල්ල පිටතට අරන් දාදියෙන් තෙත්ව තිබුණු මූණත් දෑත යළි පිසදා ගත්තා. කොටුවේ සිට එපමණ දුරක් එන තෙක් තමන්ගේ ගමන් විඩාව නිවූ මේ තරුණයාට කෘතගුණ සලකන්න කිසිම කෙනෙක් පසුබට නොවීම තමා මම මේ ගමනෙදි දැකපු සිත් කාවදිනම දර්ශනය. ඔහු අසලටම ආ රසිකයන් රුපියල් විස්සෙ පනහේ නෝට්ටුවලින් ගායකයාගේ දෝත් පුරවන විට ඔහුගේ හිතටත් වඩා තුටු වුණෙ මගේ හිතයි.

තරුණයා ටිකක් නිදහස් වුණාට පස්සෙ මම ඔහුට ළං වුණා. “යන්තමට සිංදුවක් දෙකක් කියල වෙනත් මැදිරියකට මාරු නොවී එක දිගටම ඔබ අපව සතුටු කිරිම ගැන ස්තුතිවන්ත වෙනවා” කියා මා ඔහු අගය කළා.”මම දැක්ක මහත්තයා දිගටම මගෙ දිහා බලා ඉන්නවා. මම එහෙම දුව දුවා සිංදු කියන්නෙ නැහැ. අවුරුදු දොළහක් විතර වෙනවා දැන් මම මේ වැඩේ පටන් අරන්. මේ විදිහට කලබලයක් නැතුව සිංදු කියනවට මිනිස්සුත් කැමතියි.” මෙසේ මවුත් ඕගනයකුත් පිඹිමින් එක දිගට ගායනා කිරීම මහත් වෙහෙසකර වැඩක් නේද..? කියන ප්‍රශ්නය මම මතු කළ විට ඔහු සුපුරුදු අහිංසක සිනහවත් එක්ක මෙහෙම කිව්වා...”මම සිංදු කියනවා දැකපු දොස්තර මහත්තයෙකුත් මට ඔය ගැන අවවාද කළා..මම මගෙ ශරීර සෞඛ්‍ය ගැන හුඟක් පරිස්සම් වෙනවා මහත්තයා. මොකද මට ඉස්කොලෙ යන දරුවො දෙන්නෙක් ඉන්නවා. රැක බලාගන්න වැඩිහිටියො ඉන්නවා. ඒ හැම දෙයක්ම කරන්න වෙන්නෙ මගෙ කටහඬ හොඳට තිබුණොත් විතරයි. මම කෝච්චියේ සිංදු කියන්නෙ කීයක් හරි වැඩියෙන් හොයා ගන්නයි. මගේ ගෙවල් මීගමුවේ. අපේ පුංචි බෑන්ඩ් එකකුත් තියෙනවා. මීගමුවේ හෝටලයක හවසට සිංදු කිව්වහම අපිට 1500 ගානෙ හම්බ වෙනවා. කන්න බොන්නත් ලැබෙනවා. එහෙම තිබුණු පළියට මම කවදාවත් ඩි‍්‍රන්කස්වත් සිකරට්වත් පාවිච්චි කරන්නෙ නැහැ. ඒ දෙක ගත්තොත් මට වැඩිකල් මේ රස්සාව කරන්න බැරි වෙනවා. අපිට පාටිස් වලටත් ආරාධනා ලැබෙනවා. ඒ හැම තැනකදිම අපේ රසිකයන්ට උපරිම සතුටක් ලබා දෙනවා මිසක් කාලා බිලා පිස්සු නටන්න යන්නෙ නැහැ. ඒක නිසා තමයි දැන් අවුරුදු හතළිහක් විතර වෙලත් ලෙඩක් දුකක් නැතුව ඉන්න පුළුවන් වෙලා තියෙන්නෙ.”

බැලූ බැල්මට අවුරුදු විසිපහක තරම පෙනුමක් ඇති මේ දිරිමත් ගායකයා එක්ක මම තව දුරටත් කතා කළා. ඔහුගේ නම වසන්ත පුෂ්පකුමාර. බෙල්ලෙ රඳවගෙන තිබූ අර මවුත් ඕගන් උපකරණයත් ඔහුගේම නිර්මාණයක්. ටිකට් එකක් නැතුව කිසිම වෙලාවක දුම්රියේ ගමන් නොකරන බවත් ඔහු අවධාරණයෙන්ම කිව්වා. දුම්රියේ සිංදු කියන දවසට අමතරව රුපියල් තුන් හාරදාහක් උපයාගන්න බවත් කියා සිටියේ ඉතා නිහතමානීවයි. ”ඉස්සරහා ස්ටේෂන් එකෙන් බැහැලා මම ආයෙත් කොටුවට යන කෝච්චියකට ගොඩවෙනව මහත්තයා. මහත්තයලගෙත් වැඩක් තියෙනවනං කියන්න මම අපේ බෑන්ඩ් එකත් අරන් එන්නම්. අලුත් පරණ බේදයක් නැතුව සිංදු පන්සීයක් විතර මට කට පාඩමින් කියන්න පුළුවන්. හැබැයි අපි වෙස්ටන් තාලෙට තමා වැඩිය හුරු පුරුදු. පැදුරු පාටි වගේ ඒවට ගියහම සමහර අය ශාස්ත්‍රීය ගායන වාදන ඉල්ලනවා. තවත් අය අපිට වාදනය විතරක් කරන්න කියලා ඒගොල්ලො සිංදු කියනවා. ඔය හැම දෙයක්ම තෝරා බේරාගෙන මේ රස්සාව කරන්න ලොකු ඉවසීමක් වගේම කැපවීමකුත් අවශ්‍යයි. කම්මලේ බල්ලට වගේ ඒ හැම දෙයක්ම දැන් මට හුරුයි. දරුවො ලොකුමහත් කරගෙන ජීවිතේ පිළිවෙළක් කරගන්නකං මේක කෙහොම හරි ඇදගෙන යනවා මහත්තයා. කීයක් හරි දීලා පිටට තට්ටු කරල යනවට වඩා මෙහෙම අපෙ ජීවීතේ ඇතුළට එබිල බලන එක දහස් ගුණයක් වටිනව මහත්තයා. ඔබතුමාට බොහොම පින්. එහෙනං අපි නැවත හමුවෙමු. මම මෙතනින් බහිනව මහත්තයා.”

අවශ්‍ය වුණොත් කතා කරන්න කියා ටැලිෆෝන් අංකයත් මට දීලා වසන්ත උතුරු කළුතරින් බැහැල ගියා.

කමල් පෙරේරා


නව අදහස දක්වන්න