රැජන | දිනමිණ

රැජන

හිරු කිරණ පතා පෙරුම්පුරන්නේ මනුස්ස අප පමණක් නොවේ. කොහොඹ කොටය මත දිගෑදුණු කබර‍ගොයාද වියළි දණ්ඩක් මතට වී හිස නගා අව්ව තපින කටුස්සාද හිරු නමදින්නාක් බඳුයි. තලගොයා පොල් ගසේ අඩක් දුර නැග්ගේද බල්ලන්ගෙන් බේරෙන්නට පමණක් නොවේ, නිරුපද්‍රිතව අව්ව තැපීම සඳහා විය යුතුය. කොල්ලන් නිවෙසින් පිටව ගිය පසු මම මේ අපා දෙපා සිවුපා සත්තු එක්ක මේ සුවිසල් ලෝක‍යේ අසිරිය අත්විඳිමි. විටින්විට නාදවන දුරකතනය මා ඒ චමත්කාරයෙන් ඉවතට අදියි. එහෙත් මැල්ලවගෙදර ජානකී කරුණාරත්නගේ ළඟන්නා හඬ මට සතුටක් සහනයක් ගෙන එයි. ඒ සතුට දෙගුණ තෙගුණ වූයේ ඇය ගල්නෑව රෝහලේ සේවය කරන දියණිය දකින්නට පැමිණෙන බව කී නිසාය. දුරකතනයෙන් පමණක් වැඩෙන අපේ මිත්‍රත්වයේ සදා නොමැකෙන මතකයක් උදෙසා මම ලකලෑස්ති වීමි.

ගල්නෑවේ යාමට මා සමඟ එක්වූයේ නිවුන් පුතුන් දෙදෙනා පමණි. ත්‍රීවිලරයක ගමන්කළ හැක්කේද තිදෙනකුට පමණි.

“පුංචි පහේ බස් එකක්වත් නැතුව බෑනෙ අම්මා ඔයාගෙ පුංචි පවුල එහෙම පිටින්ම අරගෙන ගමනක් බිමනක් යන්න...”යි පොඩි පුතා සරදම් කළේය.

“අනේ මද්දු ඔයත් යංකො” මම තෙවැන්නාට ආයාචනා කළෙමි.

“ඔන්න ඔන්න නීතිවිරෝධි වැඩකරන්න හදනවා. අම්මා සාමාන්‍යයෙන් නීතිගරුකයි නේද? ත්‍රීවිල් එකක යන්න පුළුවන් උපරිම මගීන් සංඛ්‍යාව තුන්දෙනයි කියලා අම්මා හොඳටම දන්නවනෙ...”යි කී මද්දු පැන දිව්වේය.

අන්තිමේදී හතරවැන්නාත් පස්වැන්නාත් සමඟ ජානකී අක්කා බැහැදකින්නට මම හිත හදා ගත්තෙමි. එහෙත් මේ කොල්ලට කුඩා කාලයේදී මෙන් ඔවුන් අතින් කටින් උස්සාගෙන යාමට මම ප්‍රිය කළෙමි.

ගල්නෑව රෝහලේ වෛද්‍ය නිල නිවස්නයකදී ඇය දැකගැනීමේ භාග්‍යය අත්පත්වූයෙන් මම ප්‍රීතියෙන් උතුරා ගියෙමි. නිබඳ අපමණ ස්නේහයෙන් “නංගියේ” යි මට කතා කළ තැනැත්තියගේ රූපකාය දකින්නට මම නොඉවසිල්ලෙන් පසුවීමි. අන්තිමේදී මේ සුන්දර සන්ධ්‍යායාවේ අපි ඔවුනොවුන් දෙස බලා සිටින්නෙමු.

ගල්නෑව රෝහලේ වෛද්‍යවරියක වන ප්‍රභාවි හෙට්ටිආරච්චි ද ඇගේ සැමියා දිනේෂ් බණ්ඩාරද පමණක් නොව යෙහෙළිය වන වෛද්‍ය නිසංසලාද සමඟ ගෙවීගිය කෙටි කාලය සැබැවින්ම අපූරුය. රෝගීන් වෙනුවෙන් වෙහෙසෙන මේ තරුණ වෛද්‍යවරියන්ගේ අත්දැකීම් බෙදාහදා ගැනීමට හැකිවීම අතිශයින් අගනේය. රෝගීන් පිළිබඳව ඔවුන් කතා කළේ දයාවෙනි. කරුණාවෙනි.

රෑ බෝ වෙනවාට අමතරව නිහාල් මල්ලි තවත් ප්‍රමාද කිරීම නුසුදුසු බව සිතමින් මම සමුගන්නට සූදානම් වීමි. ඉඩක් ඇත්නම් රැය පහන්වනතුරුම හෝ ජනකී අක්කාත් ප්‍රභාවි හා නිසංසලා දියණියන්ද දිනේෂ් බණ්ඩාර ද සමඟ පිළිසඳරෙහි පසුවන්නට හද තුළ උපදනා ආශාව යටපත් කරමින් මම නැඟී සිටියෙමි.

ජානකී අක්කා අපට සමුදුන්නේ අපමණ සෙනෙහසිනි. ඇය මගේ නිවුන් පුතුන් හා නිහාල් මල්ලි සමඟ කතාබහ කළේද ඔවුන් ඉතාමත් වැදගත් ආගන්තුකයන් බව හැ‍ඟෙන පරිද්දෙනි.

ආපසු එන අතරේ මගේ බඩපිස්සා මහත් සොම්නසින් ජානකී නැන්දා සිහිපත් කළේය.

“ඒ නැන්දා හරි හොඳයි නේද අම්මා?”

මම හිස සලා එකඟවීමි.

“පොත පත කියවන අය කොහොමටත් හරිම හොඳයි තමා. වතාවක් මැක්සිම් ‍ගෝර්කි කියන රුසියන් ලේඛකයා කියලා තිබුණ තමුන් තුළ තියෙන හැම යහපත් ගුණාංගයකටම පොත්පත්වලට ස්තුතිවන්ත වෙනවා, ණයගැති වෙනවා කියලා.”

පුංචි පුතාද යමක් පවසන්නට වෑයම් ක‍ළේය. ඒ බව වැටහුණෙන් මම නිහඬ වීමි. නොඑසේනම් පොත පත කියවීමේ වටිනාකම පිළිබඳව තවත් බොහෝ දෑ කියාගන්නට මට උවමනාවී තිබිණ. එපමණ රසවත් වෙනත් යමක් මේ ලෝකයේ නොවන බව පොතපත කියවන්නට මැළිවන මගේ කොල්ලන්හට කියාදෙන්නට මම නොඉවසිලිමත් වීමි.

“අම්මෙ ජානකී නැන්දා රැජනක් වගේ නේද?” යි පුංචි පුතා ඇසූ කල මම විමතියට පත්වීමි.

“ඔව් අම්මෙ... ඒ නැන්දා රැජනක් වගේ... උස, මහත කතාකරන හැටි, කරුණාවන්තකම, ආඩම්බරකම, ලස්සන...”

කොල්ලෝ කියාගෙන ගියේ කාලාන්තරයක් මුළුල්ලේ රැජනක් ඇසුරු කළවුන් පරිද්දෙනි.

ඒ කතා බතා අසමින් නිහාල් මල්ලි හිනැහුණේය. එහෙත් මා විමතියෙන් කල්පනා කළේ ජානකී අක්කා දුටු සැණින් මා හිත පැන නැඟි සිතිවිල්ලම මගේ දරුවන් මුවින් ගිළිහෙන බැවිනි.

“ඔව්... මටත් එහෙම හිතුණා. ජානකී අක්කට හොඳ පෞරුෂයක් තියෙනවා. ඒ වගේම එයා හුඟක් කරුණාවන්තයි. හුඟාක් සමාජසේවා වැඩ කටයුතු කරනවලු. තමන්ගේ වටිනා කාලය, ධනය, ශ්‍රමය අනුන් වෙනුවෙන් කැප කරන හැම කෙනාම රජෙක් රැජනක් තමා...

කොල්ලෝ වාද විවාද නොකොට එකඟවූ කල මගේ මුවඟ හිනාවක් නැගිණ.

“ආදරෙන් කරුණාවෙන් හිත පිරුණම ලස්සනයි තමා ඕනම කෙනෙක්.” මම වැඩිදුරටත් කීවෙමි.

“එතකොට ලස්සන වෙන්න පවුඩර්, ක්‍රීම්, සෙන්ට් එහෙම ඕන නැද්ද?”

බඩපිස්සා වහාම ප්‍රශ්න කළේය.

“බාහිරින් ආලේප කරන දේවල්වලට වඩා අභ්‍යන්තරයෙන් මතුවෙන හැඟීම් තමා වැඩිම බලපෑමක් කරන්නෙ... අනුන්ට රිදවනවට වඩා අනුන්ට පිහිටක් වෙන එක මොන තරම් සතුටක්ද සැනසීමක්ද කියන එක ඔයාලත් අත්දැකීමෙන්ම දන්නවනේ... හැමෝටම ආදරය කරන එක තරම් ලස්සන දෙයක් තවත් තියෙනවද...?”

එක් බඳු රූප සෝබාවෙන් යුත් පිරිමි ළමයින් දෙදෙනා මට තුරුළුවූහ.

“කාටහරි ගහද්දි බනිද්දි අඬවද්දිත් සතුටක් දැනෙනවනේ අම්මා...” යි නොසඟවා හෙළි කරන්නට තරම් ඔවුන් අවංක වූහ.

“ඒක මහ කුරිරු ප්‍රීතියක්. ඒ කුරිරු ප්‍රීතිය නං ලබන්න එපා කවදාවත්. ජානකී නැන්දා වගේ රැජනක් ලස්සනට තේජාන්විතව ඉන්න ඕන නම් අනුන්ට උදව් කරන්න, ආදරේ කරන්න...”

මම අවධාරණය කළෙමි. ඔවුන් නිහඬව එකඟවූ කල මට මහත් සහනයක් දැනිණ.

ශාන්ති දිසානායක


නව අදහස දක්වන්න