බොලීවියාවේ දී නූලෙන් බේරෙයි | දිනමිණ

බොලීවියාවේ දී නූලෙන් බේරෙයි

 වෙයින්බර්ග් ලන්ඩන් ආයෝජකයන් සමඟ ලෝකය රැවටූ කාලයේ දී ලද අමතක නොවන අත්දැකීමක් වන්නේ 1976 දී ලතින් ඇමරිකානු මගඩි සංචාරයයි. දකුණු ඇමරිකාවේ ගත කළ මාසයක කාලයේ දී ඔහු ඇමරිකන් ඩොලර් දෙලක්ෂයක් උපයාගෙන තිබුණේ, ලතින් ඇමරිකානු සුරූපිනියන් සමඟ මදි නොකියන්නට විනෝද වන අතරවාරයේදීය. ඒ සියල්ල මැද බොලිවීයාවේ සිපිරිගෙයි විලංගුවලින් ඔහු බේරී ගියේ අනූනවයෙනි. දකුණු ඇමරිකාවම උඩු යටිකුරු කළ මහා මගඩියට වෙයින්බර්ග් හවුල් කර ගැනුණේ බොලිවියාවේ මෙන්ම බ්‍රසීලයේද නම ගිය වංචනිකයකු වූ ‘මරියානෝ පැචිකෝ විසිනි. වඩාත් නිවැරදිව කිවහොත් පැචිකෝ දකුණු ඇමරිකාවේ සිටි ‘මෙල් වෙයින්බර්ග් ප්‍රතිමූර්තිය‘ විය. පැචිකෝ වෙයින්බර්ග් හමුවීමට ආවේ හැත්තෑව දශකයේ මුල් භාගයේ දීය. ඒ ලතින් ඇමරිකානු කලාපයේ වෙයින්බර්ග්ගේ නියෝජිතයා වීමට හැකිදැයි දැනගැනීමටය. මෙක්සිකෝව ප්‍රධාන සියලුම ලතින් ඇමරිකානු රටවල තම තැරැව්කරුවන් සිටින බව කී ඔහු‍ගේ ඉල්ලීම අහක දැමීමට වෙයින්බර්ග්ට හේතුවක් තිබුණේ නැත. බලාධිකාරිය පවරන ලියුමක්ද ඇතුළුව තමාගේ ව්‍යාපාරික හැඳුනුම්පත් තොගයකුත්, ලිපි ශීර්ෂ ගොනුවකුත් අතැතිව ලන්ඩන් ආයෝජකයෝ දකුණු ඇමරිකාවටද පුළුල් කරන්නට ලැබීමට හැකිවීමේ ප්‍රීතියෙන් උද්දාමව හේ පැචිකෝ පිටත් කර හැරියේය.

පැචිකෝ වගකීම අකුරටම ඉටු කළේය. ලන්ඩන් ආයෝජකයන්ගේ කාර්යාලයේ වැඩිකල් යන්නට මත්තෙන් ටෙලෙක්ස් යන්ත්‍රවලට ස්පාඤ්ඤ ඌරුවේ නම් හුරුපුරුදු වන්නට විය. බොලිවීයාවේ ස්වදේශීය කටයුතු පිළීබඳ ඇමතිවරයා ද ඒ අතර විය. බ්‍රසීලය, නිකරගුවාව, පැරගුවේ වැනි රටවලින් ආ ගනුදෙනුකරුවෝද හිඟ වූයේ නැත. පෙර ගෙවුම් මගඩිවලින් බැට කා, ණය නොලැබ හෙම්බත්ව සිටින ගැණුම්කරුවන් හැටදෙනකුට ‘වෙයින්බර්ග්ගේ ක්‍රමයට‘ කරුණු පහදා දී වැඩ අවසන් කරන ලෙස පැචිකෝගෙන් ඇමතුමක් ලැබෙන්නේ මේ අතරය. ඒ කටයුතු සඳහා වෙයින්බර්ග් ඇතුළු තවත් දෙදෙනකුට බොලිවියාවට ඒමට පැචිකෝ සිය ගනුදෙනුකරුවන්ගේ අනුග්‍රහයෙන් පළමු පන්තියේ ගුවන් ටිකට්පත් තුනක්ද පිරිනැමුවේය. ‍වෙයින්බර්ග් දැන හඳුනාගැනීමට මෙම ගනුදෙනුකරුවන්ට කෙතරම් තදබල වුවමනාවක් තිබුණේද යත් සම්පූර්ණ ගමනට වියදම් දරා තිබුණේ ඔවුන්ය. මෙම පිරිස හමුවීමට වෙයින්බර්ග්ටද එතරම්ම උනන්දුවක් තිබුණි. බොලිවියා ගමන ගැන වෙයින්බර්ග් දැක්වූ නොඉවසිල්ලට ප්‍රධානම හේතුව මෙම පිරිස උපක්‍රමශීලීව රවටාගත් පැචිකෝ මසකට අඩු කලක දී ඩොලර් හැටදහසක් වෙයින්බර්ග්ට එවීමට සමත්ව තිබීමය. දකුණු ඇමරිකාව ධනයෙන් හා වංචාවන්ගෙන් ඉතිරෙන රටකි.

ලූ හොස්ට්ව බ්‍රසීලයෙන් බැස්සූ වෙයින්බර්ග් මිතුරකු සමඟ බොලීවියාවට ගියේය. කලින් සැලසුම් කර තිබු පරිදි ගුවන්තොටුපළේ දී ලිමොසින් රථයකට නංවාගත් දෙදෙනා රැගෙන ගියේ හොලිඩේ ඉන් හෝටලයටය. හෝටලය වටලා සිටි බොලිවියානු හමුදා භට පිරිස දුටු විට යම්කිසිවක් වැර දී ඇති බවට වෙයින්බර්ග්ට දැනෙන්නට වුවත් ඔහු කලබල වූ වගක් ඇඟවූයේ නැත.

“ෂුවර් එකට මෙයාලගේ තවත් එක විප්ලවයක් වෙන්න ඇති. මෙහේ ඔය වගේ ඒවා හරියට වෙනවා.“

හෝටලයේ නවාතැන් ගැනීම පිණිස ලියාපදිංචි ලේඛනයේ අත්සන් කරමින් වෙයින්බර්ග් සිය මිතුරාට එසේ පැවසුවේය. වෙයින්බර්ග්ගේ අත්සන යෙදූ නම දුටු ලියාපදිංචි කරවීමේ නිලධාරියා අසල සිටි හමුදා නිලධාරියකුට හිසින් සන් කළේය.

“කාමරේට ගිහිල්ලා ඇතුළට වෙලා ඉන්න. මම දන්වනකම් කාමරයෙන් එළියට යාම සම්පුර්ණයෙන්ම තහනම්.“ හමුදා නිලධාරියා පැවසුවේ තර්ජනාත්මක ලීලාවෙනි.

“මොකද්ද හේතුව?“ හැකිතාක් මුව පළල්කොට ප්‍රසන්න ලෙස සිනාසීමට උත්සාහයක් දරමින් වෙයින්බර්ග් විමසා සිටියේය. යම් බරපතළ වැරදීමක් සිදුව ඇති බව ඔහුට දැ‍නෙමින් තිබිණි.

“හේතුව මේ මොහොතේ ඉඳලා ඔහේලා මගේ සිරකරුවෝ. ඔහේ මහා පරිමාණ වංචනිකයෙක් කියලා අපි සැකකරනවා.“

ඒ මොහොතේ එම විධානයට අවනත වෙනවා හැරෙන්නට වෙයින්බර්ග්ට විකල්පයක් තිබුණේ නැත. තමා වැරදි රාශියකට වගකිව යුතු බවට සැකයක් ඔහුටද තිබුණේ නැත. ඔහු වද වෙමින් සිටියේ ඒ ‍මොහොතේ දී ඔහු අත්අඩංගුවට පත්වූයේ ඇයි කියා නොව කිනම් වැරැද්දකටද කියාය.

“එදා මුලු රෑම මම හොලිඩේ ඉන් හෝටල් කාමරේට වෙලා කල්පනා කළා. මම මහා එපා කරපු තක්කඩියෙක් කියලා මම දැනගෙන හිටියා. ඒත් තාම බොලිවියාවේ කාටවත් ලණු දීලා තිබ්බේ නැහැ. එහෙනම් කොහොමද එයාලා මං ගැන සැක කළේ ?“

පසුදින උදෑසනින් හෝටලයේ සම්මන්ත්‍රණ ශාලාවට ගෙනගිය විට වෙයින්බර්ග්ට ගැටලු සියල්ලට පිළිතුරු ලැබුණි. එහි දැවැන්ත මේසය වටා කෝපයෙන් රවාගත් මුහුණු ඇතිව වැදගත් පහේ බොලිවියානු ව්‍යාපාරිකයන් තිස්දෙනෙක් පමණ අසුන්ගෙන සිටියහ. ඔවුන් අතර සිටි බොලිවියානු රජයේ උසස් නිලයක් දරන අයෙක් වෙයින්බර්ග්ට අසුනක් දැක්වුවේය. හිඳ ගන්නා අතරතුර වටපිට බැලු වෙයින්බර්ග්ට දැක ගත හැකිවුයේ අසලම හිඳගෙන, බිමට නවාගත් හිසින් යුතුව, අපහසුවෙන් ඇඹරෙමින් සිටි පැචිකෝය. බොලිවියානු රාජ්‍ය නිලධාරියා වෙයින්බර්ග්ට අමතන්නට පටන් ගත්තේ දැඩි ස්වරයකිනි.

“මිස්ටර් වෙයින්බර්ග් මම වගේම මෙතන ඉන්න මේ අනෙක් මහත්තුරුත් ඔබතුමාත් එක්ක ගනුදෙනු කරන්න බොහොම කැමැත්තෙන් බලාපොරොත්තු සහගතව හිටියේ. මේ පැචිකෝ මහත්මයා අපි එක එක්කෙනා ගාවට පෞද්ගලිකවම ඇවිල්ලා ඔයාටයි ඔයාගේ යාළුවාටයි බොලිවියාවට එන්න ගුවන් ටිකට්පත් මිලට ගන්න අපේ උදව් ඉල්ලුවාම අපි හැමෝම එක පයින් කැමති වුණා. නමුත් බොලිවියාව හරිම පොඩි රටක්. අපි කලින්ම අපි අතරේ කතාබහ කරගෙනයි හිටියේ. පැචිකෝ අපි හැම එක්කෙනාගෙන්ම ඔයාගේ ටිකට්වලට සල්ලි අරගෙන ලොකු ජාවාරමක් කරලා අපි අතටම අහුවුණා. ඔයාටයි ඔයාගේ සගයටයි එක ගමනකට ටිකට් අනුවක් ඕනෑ නැහැනේ, එහෙම නේද ?“

වෙයින්බර්ග් ක්ෂණික මනෝමය ගණනය කිරීමක් කළේය. පළමු පන්තියේ ටිකට් අනුවක් සඳහා වැයවන්නේ ඩොලර් දෙදහස බැගින් ඩොලර් එක්ලක්ෂ අසූදහසකි. තමාගේත්, ලූගේ හා මිතුරාගේ ටිකට්පත්වල ගාස්තුව ඉන් අඩුකළ විට පැචිකෝට තවත් ඩොලර් එක්ලක්ෂ හැත්තෑහතර දහසක් ඉතිරිය. ඒ කපටි තක්කඩියා බොලිවියානුවන් පිරිසට පමණක් නොව තමාටද වංචාකර ඇති බව අවබෝධ වූ විට වෙයින්බර්ග්ගේ කෝපය නිම්හිම් නැති විය. වෙයින්බර්ග් පැචිකෝ දෙස දවා අළුකරන බැල්මක් හෙළුවේ සිත යටින් පිපිරෙමිනි. ඉන්පසු ඔහු කළේ වෙයින්බර්ග්ටම පමණක් කළ හැකි අන්දමේ අපූරු තාත්වික රඟපෑමකි. ඔහු අසුනෙන් නැඟී සිටියේය. ඔහු වෙතින් පළවූයේ තමාගේ අයකැමිවරයකු මුදල් වංචාකර හසුවු විට අවංක බැංකු විධායක නිලධාරියකු වෙතින් පළවන බැල්මකි. මුහුණෙන් මවාගත් වේදනාව වචනවලට මුසුවන්නට හරිමින් ඔහු සභාව අමතන්නට ගත්තේය.

“මහත්වරුනි, මේ වෙච්ච රැවටීම ගැන මම තරම් වෙන කිසිකෙනෙක් හිත් වේදනාවටත්, කෝපයටත් පත්වෙන්නේ නැති එක ගැන මට සහතිකයි. මම මේ මිනිහාව විශ්වාස කරලයි මගේ නියෝජිතයා කර ගත්තේ. එහෙව් මිනිහා මගේ ව්‍යාපාර විතරක් නෙවෙයි, මගේ ආත්ම ගරුත්වයත් නැති කරලා දැම්මා. “

හුස්මක් ගැනීමට සිය ආවේගශීලී කතාව මඳකට නැවැත්වූ වෙයින්බර්ග් පැචිකෝ දෙස යළිත් රවා බැලුවේය.

“කොච්චරද කියනවා නම් මේ මිනිහා මං දිහා ඇහැක් ඇරලා බලන්නේවත් නැහැ, පැචිකෝ තමුසේ මොනවද සල්ලිවලට කළේ ? “

මේ අපහසු අවස්ථාවේ දී පැචිකෝගේ හිතේ හොල්මන් කරන බියකරු සිතිවිලි ගැන සිතා ගැනීම වෙයින්බර්ග්ට අපසුවූයේ නැත. නියත ලෙසම පැචිකෝ සිතා සිටින්නේ වෙයින්බර්ග් යනු ඇමරිකානු පාතාල මැරයකු බවය. එවැන්නකු රවටා තමාට දිවි රැකගෙන සිටින්නට ලැබෙන්නේ නැති බවත්, වැඩිකල් යන්නට පෙරම තමාගේ සුණුවිසුණූ වූ මළසිරුර මුහුදු පත්ලේ නිදන් වනු ඇති බවත් සිතද් දී පැචිකෝගේ ඉහමොළ රත්වන්නට විය. එවැනි කඨෝර ඉරණමකට ලක්වනවාට වඩා තමාගේම රටේ මිනිස්සු අතින් දඬුවම් ලැබීම සුබදායක බව තීරණය කළ පැචිකෝ අවසානයේදි ඇත්තම කීවේය. ඒ තමා මුදල් සියල්ල වංචාකළ බවය.

තීන්දු නිගමන ගැනීම අතින් වෙයින්බර්ග් සිටියේ බොහෝ ඉදිරියෙනි. බොලිවියානු ව්‍යාපාරිකයින් පිරිස වඩාත්ම කිපී ඇත්තේ ඩොලර් හයදහස බැගින් අහිමිවීම නිසා නොව වෙයින්බර්ග් වංචනිකයකු වීම නිසා, තමන් බලාපොරොත්තු වූ පරිදි දැවැන්ත ණය ආධාර ලබාගැනීමේ සිහිනය බොඳව යාමෙන් බැව් ඔහු නිගමනය කළේය. නමුත් තමන් මෙන්ම වෙයින්බර්ග්ද පැචිකෝ අතින් රැවටීමට ලක්ව ඇති බැව් දැනගත්විට ව්‍යාපාරිකයින් පිරිසගේ බලාපොරොත්තු යළිත් ඉහළ නැංවිණි. ඒ බැව් ඔවුන්ගේ ඇස්වලින් තේරුම් ගැනීමට වෙයින්බර්ග් සූර විය. මේ පුද්ගලයා අවංක අයෙකි. ඔහු ලබාදෙන්නට පොරොන්දු වූ ණය ආධාර බොරුවක් විය නොහැකිය.

රවටනු ලැබු පිරිස වෙයින්බර්ග් වටා එක පොදියට රැස්ව සිදුවූ වරද ගැන ඔහුගෙන් සමාව ඉල්ලන්නට පොර කෑහ. වඩාත් සංවේදි වූ ඇතමුන් වෙයින්බර්ග්ව වැළඳගත්තේ උණුසුම් මිත්‍රත්වය පළ කරමිනි. ඉන් සතියකට පසු වෙයින්බර්ග් බොලිවියාවෙන් පිටත්වූයේ රජයේ නිලධාරින් හා ව්‍යාපාරිකයින් පිරිස රවටා වංචාකර ගත් ඩොලර් පනස්දහසක් ද අතැතිවය. “ මගේ අවංක භාවයට ලැබුණු ගෙවීම තමයි ඒ.“ වෙයින්බර්ග් කියන්නේ කපටි සිනහවක් පාමිනි.

වෙයින්බර්ග්ගේ දකුණු ඇමරිකානු සංචාරයේ ඉතිරි කොටස ජයග්‍රාහිවූවකි. පැරගුවායි දේශයෙදී හේ ධනවත් ගොවිපළ හිමියකුගේ ඩොලර් ලක්ෂයකට විද්දේය. සාඕ පාවුලෝහි දී ඩොලර් විසිදහසකටත්, රියෝහි දී තවත් ඩොලර් හතළිස්දහසකටත්, සන්තියාගෝවල දී ඩොලර් විසිදහසකටත් වගකියූ වෙයින්බර්ග් හමුවේ ඊළඟට තිබුණේ බරපතළ ගැටලුවකි. ඒ ඩොලර් දෙලක්ෂයකට වැඩි මුදලක් නීතියට හොරා, ඇමරිකානු රේගු දෙපාර්තමේන්තුව හරහා ගෙන යන්නේ කෙසේද යන්නයි. මුදල් සියල්ල කලිසමේ පිටුපස සාක්කුවලට රුවා ගත් වෙයින්බර්ග් දිරිය ගෙන මයාමි ගුවන්තොටුපලේ රේගු නිලධාරියා වෙතට පිය මැන්නේය.

“අපිට පෙන්නන්න දෙයක් ඔයා ගාව තියෙනවාද ?“ රේගු නිලධාරියා විමසීය.

“එහෙම වැදගත් දෙයක් මගේ අතේ නැහැ, මේ පිඟන් මැටි භාජන දෙක තුනක් ඇරෙන්න. “ වෙයින්බර්ග් එම මැටි බඳුන් බොලිවියාවේදි මිලට ගත්තේ තමා සංචාරකයකු බව ඇඟවීම පිණිසය.

“රේගුවෙන් අවසර ගන්න ඕනකරන වෙන කිසිම දෙයක් නැද්ද ?“

“අපොයි නැහැ. ඔන්න එහෙනම් බලා ගන්නකෝ“ වෙයින්බර්ග් එසේ පැවසුවේ සිය ස්ථාවරය වෙනස් නොකරමිනි. ඒ අතරේ හේ තමා හැඳ සිටි ඇදුම් එකිනෙක ඉවත් කරමින් රේගු නිලධාරියා අතට දෙන්නට වූයේ තමා කිසිවක් වංචා සහගතව සඟවාගෙන නැති බව ඔප්පු කිරීමටය. පළමුව ආවේ වැහි කබායයි. ඊළඟට උඩු කබාය, කමිසය....තවත් කිසිවක් ගලවා දෙන්නට පෙර රේගු නිලධාරියා වෙයින්බර්ග්ට හරස් කැපුවේය.

“හෝව්! හෝව්! ඔය ඇති. මට විශ්වාසයි ඔහේ ගාව මුකුත් නැහැ. දැන් යන්න.“

ඩොලර් දෙලක්ෂයක් කලිසම් සාක්කුවල ඇතිව වෙයින්බර්ග් රේගුව හරහා නිරුපද්‍රිතව ගමන්කොට ඇමරිකාවට ඇතුළු වූයේ එසේය.

පරිවර්තනය - රුක්ලන්ති පෙරේරා

රොබට් ඩබ්. ග්‍රීන් විසින් රචනා කළ මෙල්වින් වෙයින්බර්ග්ගේ චරිතාපදානය ‘ස්ටිං මෑන්‘ කෘතිය හෙට - දඩයක්කාරයා දඩයමට කොටු වේ


නව අදහස දක්වන්න