දවසක හිතේ හැටියට චිත්‍රපටයක් කරනවා | දිනමිණ

දවසක හිතේ හැටියට චිත්‍රපටයක් කරනවා

ලාල් ප්‍රියදේව

පිටපත් රචකයකු, සහය අධ්‍යක්ෂකවරයකු, සංස්කරණ ශිල්පියකු ලෙස සිනමාව තුළ විවිධ භූමිකා නිරූපණය කරන ලාල් ප්‍රියදේවගේ නවතම චිත්‍රපටය “යාළු මාළු යාළු 2” තිරයට පැමිණ ඇත. ළමා ලෝකයට චමත්කාරජනක අත්දැකීමක් එකතු කරන මෙම චිත්‍රපටිය පිළිබඳ කළ කතා බහකි මේ.

l කොහොමද ඔබේ නවතම සිනමා කෘතියට ලැබෙන ප්‍රතිචාර?

“යාළු මාළු යාළු 2” තිරගත වෙන්න පටන් අරන් තවම දින කිහිපයයි ගත වුණේ. ලැබෙන ප්‍රතිචාර ඉතාම හොඳයි. බලපු හැමෝම වගේ කියනවා ආදර්ශයක් ගන්න පුළුවන් විදිහෙ කතන්දරයක් මේකෙ තියෙනවා කියලා. මේක ළමා චිත්‍රපටියක් වුණත් වැඩිහිටියන්ටත් මේක බලලා ආදර්ශයක් ගන්න පුළුවන් වෙන විදිහට තමයි මේ කතාව ඉදිරියට ගලාගෙන යන්නෙ.

l මේ නිර්මාණයට දායක වුණු පිරිස ගැන යමක් කිව්වොත්?

මම මේ නිර්මාණයේදී අධ්‍යක්ෂකවරයාගේ වැඩ කොටස ඉෂ්ට සිද්ධ කළා වගේම නිෂ්පාදකවරයාගේ වැඩ කොටසටත් දායක වුණා. රංජන් රාමනායක,ප්‍රශානි පෙරේරා,ටෙඩී විද්‍යාලංකාර, ටිරෝන් මයිකල්, ලක්ෂ්මි බෝගොඩ, සුරේනි සෙනරත්, නිලූෂි හල්පිට, සිසිර කුමාරතුංග, මල්කි ප්‍රනාන්දු, සුනිල් ප්‍රේමකුමාර වැනි රංගන ශිල්පී ශිල්පිනියන් මේ සඳහා රංගන දායකත්වය ලබා දෙනවා. ළමා නළු පංකජ චන්දේව් සහ ළමා නිළි සඳලි සනාරාත් මේ සඳහා රංගනයෙන් දායකත්වය ලබාදෙනවා.

මේ චිත්‍රපටියෙදි අපට විශේෂ දෘශ්‍ය ප්‍රයෝග වැඩි ප්‍රමාණයක් පාවිච්චි කරන්න සිද්ධ වුණා. ප්‍රභාත් පෙරේරා සහ ධනාල් තිරංජන කියන සංස්කරණ ශිල්පියා සහ 3D ඇනිමේෂන් නිර්මාණ ශිල්පියා තමයි මේ නිර්මාණය සාර්ථක කරගැනීමේ වගකීමෙන් සියට පනහක්ම දරාගෙන හිටියෙ. ඉතිරි සියට පනහ නළුනිළියන්ගේ සහ අනෙකුත් කාර්මික ශිල්පීන්ගේ සහයෝගයෙන් සාර්ථක කරගන්න පුළුවන් වුණා.

l මේ වනවිට ඔබේ මීළඟ නිර්මාණය ගැනත් ඔබට යම්කිසි සැලසුමක් ඇති?

“සංවර සීලය” කියලා චිත්‍රපටියක මූලික කටයුතු මේ වෙද්දි කරගෙන යනවා. ඒක අම්මා මානසික රෝගයකින් පෙළෙන, තාත්තා කවුද කියලා දන්නෙ නැති, පුංචි කාලෙම මහණ කරවපු පොඩි හාමුදුරු කෙනෙක් ගැන දිගහැරෙන කතාවක්. ඒ වගේම මගේ “අතුරු මිතුරු හරි අපූරු” චිත්‍රපටිය ඉදිරියේදී තිරගත වෙන්න නියමිතව තියෙනවා. බොහෝදුරට දෙසැම්බර් මාසයේ අවස්ථාවක් ලැබෙයි.

l ඔබ මේ ක්ෂේත්‍රයට පිවිසෙන්නෙ පිටපත් රචකයෙක් ලෙසින්. ඒ ගමනේ විකාශනය ගැන කිව හැක්කේ කුමක්ද?

වතාවක් අපේ තාත්තා එක්ක අපිටත් ඉන්දියාවේ යන්න වුණා. මම කාලයක් ඉන්දියාවේ ඉඳන් ඉගෙනගත්තා. ඒ කාලෙ සමහර ඉන්දියානු ළමයි හින්දි භාෂාව අසමත් වෙද්දි අපි හින්දි භාෂාව සමත් වුණා. අපි ඒ තරම් ආදරේ කළා ඒ භාෂාවට. එහේ කාලයක් ඉඳලා තමයි ආයෙමත් ලංකාවට ආවෙ. ඒ එනකොට ලංකාවේ අය දිගටම හින්දි චිත්‍රපටි කොපි කරනවා. හින්දි චිත්‍රපට සිංහලට පරිවර්තනය කරන්න මටත් අවස්ථාවක් ලැබුණා. එහෙම පරිවර්තනය කරගෙන යනකොට පිටපතක් ලියනවා කියන එක ඔළුවට දැනුණා.

පස්සෙ පස්සෙ මට මුණගැහුණු යසපාලිත නානායක්කාර මහතා, කඳපොල කුමාරතුංග මහතා වැනි අධ්‍යක්ෂකවරුන්ගෙන් සිනමාව ගැන බොහෝ දේවල් ඉගෙනගන්නත් ඉඩක් ලැබුණා. සිනමාව ගැන ඉගෙන ගන්නකොට මට හිතුනෙ, දැන් අපිට හින්දි කොපි කරන්න ඕනෙ වෙන්නෙ නෑ, අපිට අලුත් කතා ලියන්න පුළුවන් කියලයි. එහෙම හිතලා මං ලියපු කතා ගොඩක් තියෙනවා. නමුත් අදටත් සමහරු හින්දි චිත්‍රපට අමු අමුවේ කොපි කරනවා. හින්දි චිත්‍රපටිවලට අපේ මිනිස්සු කැමතියි අපේ ම නිර්මාණවලට වැඩියෙන්. ඒවායේ රසයේ මොකක් හෝ වැඩිවීමක්ද එහෙම නැත්නම් මොකක්ද හේතුව කියන්න මම දන්නෙ නෑ. සිනමා ශාලාවලින් මිනිස්සු ඈත්වෙලා ඉන්න යුගයක වුණත්, අමු අමුවේ කොපි කරන ඒවා බලන්න ප්‍රේක්ෂකයො එනවා සිනමා ශාලාවලට. ඉන්දියන් අධ්‍යක්ෂකවරු යොදාගෙන ඔවුන්ට ගෙවන්න වෙන මුදල ලංකාවේ අධ්‍යක්ෂකවරයෙකුට දෙන්නෙ නෑ ලංකාවේ නිෂ්පාදකවරු. ඒ වගේ තත්ත්වයන් යටතේ විශාල සටනක් දීගෙන, මේ සිනමාවේ අපි ඉන්න ඕනෙ නිසා තමයි මෙවැනි නිර්මාණ බිහිකරන්නෙ.

l ඔබේ සිනමා දිවියට වසර 32ක් සපිරුණා?

පිටපත් ලියන අතරේම මම කාර්මික ශිල්පය පැත්තට දායක වුණා. සහය අධ්‍යක්ෂණයට යොමු වුණා. පස්සෙ මට තේරුණා සංස්කරණය ගැනත්, කැමරා කෝණ ගැනත්, සංගීතය අන්තර්ගත වන විදිහ ගැනත් නිසි අවබෝධයක් ඇතුව ඇවිත් තමයි අධ්‍යක්ෂණයට යොමු වෙන්න ඕනෙ කියලා. අධ්‍යක්ෂකවරයාට මේ හැම දෙයක් ගැනම හරියාකාර අවබෝධයක් තියෙන්න ඕනෙ. මේ දේවල් ඉගෙනගන්න මං සංස්කරණ ශිල්පියෙක් වුණා. චිත්‍රපටි 10ක් විතර සංස්කරණය කළා. මේ වන විට මම කතා රචකයෙක්, සහය අධ්‍යක්ෂකවරයෙක්, සංස්කරණ ශිල්පියෙක් කියන සෑම භූමිකාවක්ම නිරූපණය කරමින් වසර 32ක් තිස්සේ සිනමාවේ ඉන්නවා.

l ඔබේ පියා මේ ක්ෂේත්‍රය සමඟින් සබඳතා පැවැත්වූ අයෙක්. ඔබට මේ කලා හැකියාව ලැබෙන්නේ ඔහුගෙන්ද?

අනිවාර්යෙන්ම තාත්තාගෙන්. මගේ තාත්තා තමයි අයි.පී.සේන. තාත්තා “ජීවන ගීතය” සහ “මේලා” නමින් චිත්‍රපටි දෙකක් කළා. එතකොට මම ඉස්කෝලෙ දෙකේ පන්තියේ. ඒ චිත්‍රපටි නිර්මාණය වෙනකොට මමත් ඒ චිත්‍රගාරවලට ගියා. ඒ කාලෙ වැඩි හරියක් චිත්‍රපටි කළේ චිත්‍රගාරවලනෙ. එතකොට මට අවුරුදු 7යි. චිත්‍රගාර ඇතුළෙ ඇවිදලා, මේ චිත්‍රපටි හැදෙන්නෙ කොහොමද කියලා මං හෙව්වා. මට කවදාවත් වෙන රස්සාවක් ගැන හිතිලම නෑ. පොඩි කාලෙදි වුණත් මං අපේ සහෝදරයොත් එක්ක එකතු වෙලා සෙල්ලමට කළේ චිත්‍රපටි හදන එක. “ස්ටාර්ට් කැමරා ඇක්ෂන්” කියනවා. “කට්” කියනවා. ගෙදර තියෙන බඩුමුට්ටුවල තීන්ත ගාන්න යනවා. ගෙදරින් බැනුම් අහනවා. වෙලාවකට අම්මා කියනවා ළමයිනුත් දවසක තාත්තා වගේම සිනමාකාරයො වෙයි කියලා. ඒ කිව්වා වගේ ම වුණා.

l සිනමා ක්ෂේත්‍රය තුළ අංශ කිහිපයකින්ම හැකියාවන් දවක්වන්න ඔබට අවස්ථාව ලැබුණා. ඒ පිළිබඳ දැනෙන හැඟීම කෙබඳුද?

මම පිටපත් රචකයෙක්, සහය අධ්‍යක්ෂකවරයෙක්, සංස්කරණ ශිල්පියෙක් වගේම අධ්‍යක්ෂකවරයෙක් විදිහටත් වැඩ කරලා තියෙනවා. ඒ හැම එකක් ම එකකට එකක් බැඳුණු දේවල්. මං කියන්නෙ, අධ්‍යක්ෂකවරයෙක් වෙනවා නම් මේ හැම දෙයක් ගැනම දැනුම තියෙන්න ඕනෙ. ඒ දැනුම නැතුව අධ්‍යක්ෂණය කරන්න ගියොත් තාක්ෂණික ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා. මම මේ සම්බන්ධයෙන් බොහෝ දේ ඉගෙනගෙනත්, යම් යම් ප්‍රශ්නවලට මුහුණ දෙන්න වුණු අවස්ථාවන් තිබුණා. තාක්ෂණය දැන් බොහොම දියණුයි. දැනුම තියාගෙනත් අලුත් තාක්ෂණය සිනමාවට එද්දි අපිට ඉගෙන ගන්න තව අලුත් දේවල් එකතු වෙනවා. මේක ඇත්තටම දැනගෙන කරන්න ඕනෙ වැඩක්. වැරදිලා වැරදිලා, වැරදුණු තැන්වලින්ම හදාගෙන නැගිටලා එනකොට ආයෙ මොකක් හරි වෙනසක් වෙනවා. ඒකත් ඊට පස්සෙ අමුතුවෙන් ම අපිට ඉගෙනගන්න වෙනවා.

l සිනමා ක්ෂේත්‍රය තුළ ඔබේ බලාපොරොත්තුව?

නිර්මාණයක් කරන්න ගියාම අපිට නිෂ්පාදකයෝ ඉන්නවා. ඒක ලොකු දෙයක්. නමුත් සමහර තැන්වලදි අපි හිතනවා මේ නිෂ්පාදකවරයා මේ නිර්මාණයට තව ටිකක් වැඩියෙන් වියදම් කළා නම් අපිට මේක තවත් ටිකක් හොඳට කරගන්න තිබුණනේ කියලා. ඒ වගේ තැන් අපිට හැම චිත්‍රපටියකදිම වගේ ඔළුවට එනවා. මේ යන විදිහට ම කලා කටයුතු කරගෙන යන ගමන්, දවසක හිතේ හැටියට චිත්‍රපටියක් කිරීමේ බලාපොරොත්තුවක් තියෙනවා.

l ගෙදරදොර අලුත් තොරතුරු මොනවාද?

මගේ බිරිඳ චමරි චාන්දනී වික්‍රමසිංහ. මම කලා කටයුතුවලට කාලය වැය කරන අතරෙ ඇය ගෙදරදොර සියලු කටයුතු නොපිරිහෙලා ඉටු කරනවා. මට දරුවො ඉන්නවා හතරදෙනෙක්. ලොකු දුව ශෝබාංගි පූර්ණිමා නීති ශිෂ්‍යාවක්. ලොකු පුතා, සෞරව ප්‍රියසෙන් අධ්‍යාපන කටයුතු අවසන් කරලා, රැකියාවක් කරනවා. තුන්වෙනියා සිද්ධාන්ත් චමත්. ඔහු උසස්පෙළ හදාරනවා. පොඩි පුතා, පංකජ චන්දෙව් ඉගෙනුම ලබන්නේ 7 ශ්‍රේණියේ. ඔහු මගේ “යාළු මාළු යාළු 2” චිත්‍රපටියේ ළමා චරිතයක් නිරූපණය කරනවා. පවුලේ හැමෝමත් එක්ක බොහොම සතුටින් තමයි කාලය ගෙවෙන්නෙ.

කාංචනා සිරිවර්ධන


නව අදහස දක්වන්න