නීරෝ වෙණ වැයුම නතර කරන්න | දිනමිණ

නීරෝ වෙණ වැයුම නතර කරන්න

නීතිඥ මනෝහර ද සිල්වා

පසුගිය දිනෙක මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් කථානායක කරූ ජයසූරිය මහතා ප්‍රකාශකොට සිටියේ මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයට හෝ රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වයට පාර්ලිමේන්තුවේ හිමි බහුතරය පෙන්වීමට හැකිවන තුරු පෙර පැවති ආණ්ඩු තත්ත්වය පිළිගැනීමට තමාට සිදුවන බව ය.

එසේම පාර්ලිමේන්තුවේ ඇති කළ වෙනස්කම් සියල්ල ව්‍යවස්ථා විරෝධීව සහ සම්ප්‍රදාය විරෝධීව සිදුකර ඇති බවට මතයක් රටෙහි පැතිර ඇති බව පෙනේ. මෙම වෙනස්වීම්වලට පෙර පැවති තත්ත්වය පිළිගන්නා ලෙස පාර්ලිමේන්තුවේ බහුතරය ඉල්ලා ඇති බවට ද, කථානායකවරයා විසින් නිකුත් කළ එම නිවේදනයේ සඳහන් කොට තිබුණි.

කථානායකවරයා විසින් සිදු කරන ලද මෙම ප්‍රකාශත් සමඟ රටේ විවිධ උගතුන්, විද්වතුන්, දේශපාලන බලධාරීන් මෙන්ම සාමාන්‍ය ජනයා ද තම තම ණැන පමණින්, පක්ෂව සහ විපක්ෂව විවිධ මත පළකර සිටින වාතාවරණයක් මේ වන විට ඇති වී තිබේ.

නීති නොදැනුම

“නීතිය නොදැන සිටීම සමාවට කරුණක් නොවේ” යන ප්‍රකට කියමන අපි හොඳින් අසා ඇත්තෙමු. එය එසේ වන හෙයින් රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව පිළිබඳව දැනුමක්, අවබෝධයක් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පුරවැසියන් වන අප සියල්ලන් සතුව මඳ වශෙයෙන් හෝ පැවතිය යුතු ය. නමුඳු ජනරජයේ කථානායක ධුරය හොඹවන තැනැත්තකුට රටේ ව්‍යවස්ථාව පිළිබඳ තිබිය යුත්තේ මඳ දැනුමක් නොව සම්පූර්ණ සේම පැහැදිලි දැනුමකි. අවබෝධයකි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව, අගමැතිවරයකු පත් කිරීම පිළිබඳ මතයක් ප්‍රකාශ කිරීමට කථානායකවරයාට කිසිඳු අයිතියක් නැති වග කථානායකවරයා හොඳින් දන්නා මෙන්ම පුරවැසියන් ද දැනගත යුතු කරුණකි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ උත්තරීතර නීතිය ලෙස පිළිගන්නා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 (4) වන වගන්තිය යටතේ පැහැදිලිව සඳහන් වන්නේ, “ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබිය යුත්තේ ය” යනුවෙනි.

ඒ අනුව අගමැති පත්කිරීමේ සම්පූර්ණ බලය පවතින්නේ ජනාධිපතිවරයා වෙත ය. එම පත්කිරීම කථානායකවරයා පිළිගැනීම හෝ පිළිනොගැනීම කිසිසේත් ම අදාළ නොවන්නේ ය. එසේම අගමැතිවරයා පත්කිරීමට ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයා වෙත පැවරෙන බලය අභියෝගයට ලක්කිරීමට හෝ ප්‍රශ්න කිරීමට කථානායකවරයාට බලතල පැවරෙන්නේ ද නැති වග කිව යුතු ය.

පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා, ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබු පසු එම පත්කිරීම පවතින තාක්කල් රටවැසියන් ජනපතිගේ අභිමතය මත පත්වූ අගමැතිවරයා, රටේ අග්‍රාමාත්‍ය ධුරයෙහි ලා සැලිකිය යුතුය. පිළිගත යුතුය.

කථානායකවරයකු විසින් වගකීමකින් තොරව සිදු කරන්නාවූ මෙවැනි ප්‍රකාශ හේතුවෙන් සිදු වන්නේ රට නොමඟ යෑමයි. ජනතාව නොමඟ යෑමයි. මෙය කිසිසේත්ම කථානායකවරයා වශයෙන් නොකළ යුතු ප්‍රකාශයකි.එසේම මෙය කථානායක ධුරය පාවිච්චි කරමින් තමන්ගේ දේශපාලන පක්ෂයේ අරමුණු ඉටු කරගැනීම වෙනුවෙන් කරන ලද ක්‍රියාව බවත් පැවැසිය හැකිය. ජනාධිපතිවරයා සතු බලතල කථානායකවරයාට ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් නැත. එසේ ම කථානායකවරයාගේ මෙම ප්‍රකාශය රට තුළ යම් දේශපාලන අර්බුදකාරී තත්ත්වයක් ඇති වීමට හේතු වන්නේ ඒ රටේ පුරවැසියන් බහුතරය දේශපාලන වශයෙන් සබුද්ධික පිරිසක් නොවන බැවිනි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පිටපතක් පිරික්සීමෙන් හෝ අන්තර්ජාලය ඔස්සේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40(2) වගන්තිය කියවා බැලූ පමණින්ම අභිනව අගමැති පත්කිරීම සම්බන්ධයෙන් ජනපතිවරයා ව්‍යවස්ථා විරෝධී පියවරක් තබා නැති බව පුරවැසියන්ට වටහා ගත හැකිවනු ඇත.

අනාගත යහපතට

රටේ වත්මන් තත්ත්වය වනාහි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ උත්තරීතර නීතියට සම්පූර්ණයෙන්ම අනුගත වෙමින්, රටේත් ජනතාවගේත් අනාගත සුබසිද්ධිය වෙනුවෙන්ම සිදු කළ දේශපාලන පෙරළියක් මිස, බලය අයුතු ලෙස යෙදවීමක්, ව්‍යවස්ථා වීරෝධී කාරණාවක් හෝ ප්‍රජාතන්ත්‍රවිරෝධී කටයුත්තක් නොවන වග සබුද්ධික පුරවැසියන් වටහා ගනු ඇත.

දේශපාලන මඩගොහොරුවේ තව තවත් එරෙමින් තම තම මඩි තර කරගන්නට වෙර දරන සංවිධානාත්මක කණ්ඩායමක් විසින් රට පුරා විවිධ අසත්‍ය මත පතුරුවාලමින්, රට වැසියා නොමඟ යැවීමට අර අදින්නේ තම තමන්ගේ වාසි ය උදෙසාය. මෛත්‍රීපාල සිරිසේන ජනපතිතුමන් විසින් අගමැති ධුරයෙහි ලා මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා පත්කිරීමත්, ඒ සමඟ ම රටේ ඇති වූ නව දේශපාලන පෙරළියත්,දේශපාලන තත්ත්වයත් කිසිඳු ආකාරයකින් ව්‍යාවස්ථා විරෝධී නැති වගත්, සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූල බවත් කියමින් එංගලන්තයේ නෙස්බි සාමිවරයා පවා ප්‍රකාශයක් නිකුත් කොට ඇත.

කෙසේ වෙතත් ජනතාව නොමඟ යවමින් කථානායකවරයා විසින් ද විරුද්ධ පක්ෂයේ ඇතැම් අයද සිදු කොට ඇති ප්‍රකාශ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට සිදු කරන ලද බලගතු හානියකි. මෙය කිසිසේත්ම ඇති නොවිය යුතු තත්තවයිකි‍. නොකළ යුතු දෙයකි. මක් නිසාද යත් කථානායකවරයා මෙවැනි ප්‍රකාශයක් සිදු කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ අගමැති පත්කිරීමේ බලය පවතින්නේ ජනපතිවරයා සතුව බව හොඳින්ම දැන දැන බැවිනි. කථානායකවරයා යනු පාර්ලිමේන්තුවේ ප්‍රධානියා ය. විධායකගේ ප්‍රධානියා වන්නේ ජනාධිපතිතුමා ය. එසේ ම අධිකරණයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ අග්‍රවිනිශ්චයකාරතුමා එලෙස බලය බෙදා දී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව, ජනාධිපතිවරයාගේ බලතල යටතේ අගැමැතිවරයා පත්කිරීමේ බලතල ජනාධිපතිවරයාට පැවරෙන බව හොඳාකාරව දැනදැනත් කථානායකවරයා තමන්ට අදාළ නොවන ප්‍රකාශක් නිකුත් කරමින් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි.

හරි අවබෝධය

රටේ ඕනෑම පුරවැසියකුට මෙහිදී කරන්නට ඇති කටයුත්ත නම් අසත්‍ය ප්‍රකාශයන්ට සහ මතයන්ට හසු නොවී, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පිටපතක් පෙරළලා 42 (4) වගන්ති ප්‍රකාරව අගමැති පත්කිරීමේ බලය පවතින්නේ කථානායකවරයාටද.ජනාධිපතිවරයාටද. යන්න අවබෝධ කරගැනීමයි.

“තම බලතල ඉක්මවා යමින්,මෙවැනි ප්‍රකාශයක් කිරීමට කථානායවරයාට කිසිඳු නීතිමය හැකියාවක් හෝ බලයක් නැත. මේ ක්‍රියාව සම්පූර්ණයෙන් ම ව්‍යාවස්ථා විරෝධි ය. එහෙයින්ම ඔහු කථානායක ධුරය දැරීමට සුදුසු නැත. ව්‍යවස්ථා විරෝධී ලෙස කටයුතු කරන කථානායකවරයෙක් රටක සිටිය යුතු නැත.”

ප්‍රකාශ කොතෙකුත් නිකුත් කළ හැක. එහෙත් ඒවායේ සත්‍ය අසත්‍ය භාවය පිරික්සා බැලීමට,රටවැසියා පැහැදිලි වුවමනාවකින් සහ විචාරශීලි බවකින් යුක්ත විය යුතුය. දිනෙන් දින උග්‍ර වන බල අරගලයේ අනිටු ප්‍රතිඵලයක් ලෙසින්, අගාධයට යන රටක පුරවැසියන් ලෙස, රටේ දේශපාලන වාතාවරණය සම්බන්ධයෙන් සැම විටම නැසූ කනින් නොදුටූ නෙතින් නොසිට, සබුද්ධික ලෙස සියලු දේශපාලන සංසිද්ධීන් දෙස සවිඥාණිකව සිතා බැලීම යුගයේ අවශ්‍යතාවක් බවට පත්ව ඇත.

කාංචනා සිරිවර්ධන 


නව අදහස දක්වන්න