විනය පරීක්ෂණය! | දිනමිණ

විනය පරීක්ෂණය!

පාර්ලිමේන්තුවේ සිදුවීම් සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්වීමට යයි. කොයි අතින් බැලුව ද එය ඉතා සාධනීය තීරණයකි. පක්ෂ - විපක්ෂ භේදයකින් තොරව එය සිදුවිය යුතුය. පාර්ලිමේන්තුව තුළට පිහි වැනි තියුණු ආයුධ රැගෙන’විත් මහජන නියෝජිතයන්ට මරණීය තර්ජන එල්ල කිරීම විනය විරෝධී ක්‍රියාවක් පමණක් නො ව; අපරාධ ක්‍රියාවක් ද වන්නේ ය. පොලිසිය පාර්ලිමේන්තුවට කැඳවීම ද පාර්ලිමේන්තු සම්ප්‍රදායට විරුද්ධ වන අතර එලෙස කැඳවූ නිලධාරීන්ට පහර දෙන්නේ නම්; එය ද අනුමත කළ නොහැකිය.

පසුගිය දිනවල පාර්ලිමේන්තු සභා ගර්භයේ සිදු වූ බොහෝ දේවල් මෙන්ම පාර්ලිමේන්තුව රැස්කිරීම ද නීති - විරෝධී බවට ද සම්ප්‍රදාය විරෝධී බවට ද, වි‍නය විරෝධී බවට ද චෝදනා එල්ල වී ඇත. මේවා සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි ද ඉදිරිපත් වී ඇත. ඒ හැරෙන්නට පාර්ලිමේන්තු සිදුවීම් සිවිල් සමාජය තුළ දැඩි විවේචනයටත් බලවත් ගර්හාවටත් ලක්විය. පාර්ලිමේන්තුව රටේ උත්තරීතර ආයතනය වන අතර එහි නියෝජිතයන් සෙසු සමාජ කණ්ඩායම්වලට ආදර්ශ සපයන ලෙස හැසිරිය යුතුය.

කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පැවැති උත්සවයකදී ජනාධිපතිවරයා කළ කතාව අ‍පගේ ප්‍රස්තුතයට ඉතා හොඳින් ගැළපෙයි. එහිදී මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දුන්නේ දේශපාලකයා හා විද්‍යාඥයා අතර පවතින වෙනස අද වන විට ජනතාවට හොඳ හැටි වටහාගත හැකි බව ය. විද්‍යාඥයන් සතු බුද්ධිය, පරිණත බව හා විනයගරුක බව දේශපාලකයන් ළඟ නැති බවත්‍; එබඳු දේශපාලකයන් නියම මහජන නියෝජිතයන් ලෙස සැලැකිය නොහැකි බවත් ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ. මෙය රටට බලපාන බරපතළ ගැටලුවක් බව දේශපාලකයන් වටහාගත යුතුය. ඒ සඳහා බුද්ධියක් හා ඉවසීමක් මහජන නියෝජිතයාට තිබිය යුතු ය.

පාර්ලිමේන්තු සිදුවීම් ගැන පොලිසියට පැමිණිලි ඉදිරිපත් කිරීමට සිදුවීම එක අතෙකින් ඛේදනීය තත්ත්වයකි. රටට අවශ්‍ය නීති හා අණ පනත් සම්මත කරගනු ලබන උත්තරීතර ආයතනය පොලිසිය හා උසාවිය වෙත යෑමෙන් එහි ගෞරවය හා අභිමානය කෙලෙසන බව අපගේ පිළිගැනීම ය. එහෙත් ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වන පුද්ගලයන්ගේ විනය ප්‍රශ්නයක් නම් පොලිසියට හා උසාවියට යෑමට සිදුවේ. අද අප මුහුණ දෙන්නේ ද එම යථාර්ථයට යැයි කිව හැකි ය.

අපේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගොඩනැඟී ඇත්තේ මහා බ්‍රිතාන්‍යයේ ආදර්ශවලට අනුව ය. මහා බ්‍රිතාන්‍යයට ලිඛිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නැත. එහි ව්‍යවස්ථාදායක සභාව ක්‍රියා කරන්නේ චිරාගත වැදගත් සම්ප්‍රදායකට අනුව ය. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව කොයි ලෙසකින් වුව තම අභිමානය දූෂණයට ලක්කරගන්නේ නැත. පාර්ලිමේන්තු වරප්‍රසාද, ස්ථාවර නියෝග, සම්ප්‍රදාය හා විනය රැකීමට එහි සෑම මහජන නියෝජිතයෙක් ම වගබලා ගනිති. එය මහජන නියෝජිතයාගේ පළමු වගකීම ලෙස සැලැකිය හැකි ය.

පසුගිය සඳුදා පැවැති පාර්ලිමේන්තු සභා වාරයේදී මීට අදාළ යෝජනාවක් ඉදිරිපත් විය. විපක්ෂය ඉදිරිපත් කළ එම යෝජනාවෙහි සඳහන් වූයේ පසුගිය පාර්ලිමේන්තු සභා වාර තුනකදී සිදු වූ සිදුවීම් සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ය. මේ සිදුවීම්වලින් ගරු මන්ත්‍රීවරුන් කිහිපදෙනකුට තුවාල සිදු වී ඇත. තව මන්ත්‍රීවරුන් පිරිසකට අගතියක් සිදු වී ඇත. මේ හැරෙන්නට පාර්ලිමේන්තුවේ දේපොළවලට අලාභහානි සිදු වී ඇත. ඉනික්බිති පාර්ලිමේන්තුව පැවැත්වීම සම්බන්ධයෙන් වැයවන විශාල මුදල් නිෂ්-ප්‍රයෝජන වී ඇත. මීට අදාළ මහජන නියෝජිතයන් ගැන කුමක් හෝ පරීක්ෂණයක් සිදුවිය යුතුය යන්න මහජනයාගේ ද යෝජනාව වී තිබේ.

ප්‍රශ්නය වන්නේ විනය පරීක්ෂණයට ලක්වන්නෝ කවරහුද යන්නය. හේතුව පාර්ලිමේන්තුවේ ගැටුමේ අධ්‍යක්ෂවරයා කථානායකවරයා ම වීමය. ඔහු අනුගමනය කළ නීතික නොවන ක්‍රියාමාර්ග නොවන්නට පාර්ලිමේන්තුවේ කිසිදු අර්බුදයක් ඇති නොවන්නට තිබුණි. පෙරේදා පාර්ලිමේන්තුවේ පැවැති සාමකාමී තත්ත්වය ඊට නිදසුනකි.

ජනාධිපතිවරයා මැදිහත් වී පැවැති ගැටුම යම් පමණකට නිරාකරණය කර තිබේ. ඊට පාදක වූයේ මෛත්‍රීපාල සිරිසේන මහතා කැඳවූ සර්ව පාක්ෂික හමුව යැයි කිව හැකි ය. කථානායකවරයා ඊට ද සහභාගි නොවීය. මේ හමුවේදී ජනාධිපතිවරයා කියා සිටියේ ස්ථාවර නියෝගවලට අනුව පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවිය යුතු බවය. එලෙස ම පාර්ලිමේන්තුවේ ගෞරවය හා අභිමානය ආරක්ෂා කරන ලෙස ද සියලු පක්ෂවලින් ජනාධිපතිවරයා ඉල්ලා සිටියේ ය. එය සාර්ථක බව සඳුදා පැවැත්වූ පාර්ලිමේන්තු සභා වාරයෙන් පැහැදිලි වෙයි.

මනුෂ්‍යයන් අතින් වැරැදි සිදුවෙයි. දේශපාලකයන් ද සාමාන්‍ය මනුෂ්‍යයන් වන බැවින් ඔවුන් අතින් ද වැරැදි සිදුවිය හැකි ය. එහෙත් සිදු වූ වැරැදි පිළිගැනීමට තරම් නිහතමානීකමක් ද, ඒවා යළි නිවැරැදි කරගැනීමේ බුද්ධියක් ද මහජන නියෝජිතයන් සතු විය යුතුය. සඳුදා සාමකාමී ලෙස පැවැති පාර්ලිමේන්තුවට ජනාධිපතිවරයා සිය කෘතඥතාව පළකර තිබේ. එය ද සාධනීය ලක්ෂණයකි. එලෙස ගොඩනැඟෙන සාධනීය පරිසරය මත අපේ පාර්ලිමේන්තුව යළිත් උත්තරීතර ආස්ථානයකට ගෙන යා හැකි ය.

 


නව අදහස දක්වන්න