කාන්තා විස්සයි20 ලෝක කුසලාන අවසන් පූර්ව තරග 23 දා | දිනමිණ

කාන්තා විස්සයි20 ලෝක කුසලාන අවසන් පූර්ව තරග 23 දා

ෆවුස් මොහොමඩ්

ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් තරග බිමේ දස්කම් මුවහත් කරන මහා සැණකෙළියක් බවට පත්වූ විස්සයි20 කාන්තා ලෝක කුසලාන තරගමාලාවේ අවසන් පූර්ව තරග මේ මස 23 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් දූපත්හිදී පැවැත්වෙයි.

මූලික වටයේදි විශිෂ්ට දස්කම් දැක්වූ ප්‍රබලතම කණ්ඩායම් 4ක් වන සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් පිල, ඔස්ට්‍රේලියාව, ඉන්දියාව සහ එංගලන්තය මෙවර කුසලානය හඹා යන අවසන් පූර්ව වටයට එක්වී සිටී.

සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් පිල සහ ඔස්ට්‍රේලියාව අතර පළමු අවසන් පූර්ව තරගයත්, ඉන්දියාව සහ එංගලන්තය අතර දෙවැනි අවසන් පූර්ව තරගයත් 23 වැනිදා උදෑසන සහ දිවා කාලයේදී පැවැත්වීමට නියමිතය.

සටන්කාමී ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් පිල විස්සයි20 ලෝක කුසලානයේ වත්මන් ශූරියන් වන අතර මෙවර අවසන් කණ්ඩායම් හතරට එක්වූයේ අපරාජිතවය. මෙවර තරගාවලියේ දී කොදෙව් පිල සහභාගි වූ මූලික වටයේ තරග 4ම ජයගත් අතර මූලික වටයේ අවසන් තරගයේදි එංගලන්තය පරාජය කළේ අවසන් ඕවරයේදීය. පිත්තෙන් මෙන්ම පන්දුවෙන් ද එක හා සමාන දස්කම් දක්වමින් සිටින කොදෙව් දූපත් පිලේ ආරම්භක පිතිකාරිනිය ඩීන්ඩ්‍රා ඩොටින් සිය කණ්ඩායමේ ප්‍රබලතම තුරුම්පුව බවට පත්වී සිටින්නීය. එංගලන්තයට එරෙහිව පැවැති තීරණාත්මක තරගයේදී එංගලන්ත ඉනිමේ කඩුලු 2ක් සොරාගත් මේ ක්‍රීඩිකාව කොදෙව් ඉනිම ආරම්භ කරමින් වේගවත් ලකුණු 46ක් රැස් කළේ හයේ පහර 4ක් සහ හතරේ පහරක් සමගිනි.

කොදෙව් පිල සමග අවසන් පූර්ව තරගයට එක්වන ඔස්ට්‍රේලියාව විස්සයි20 කාන්තා ලෝක කුසලාන තරගාවලි 3ක් පිට පිට ජයගැනීමට සමත්වූ ප්‍රබල කණ්ඩායමකි. වසර 2010, 2012 සහ 2014 තරගාවලි ජයගනිමින් කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරග බිමේ සාර්ථකම කණ්ඩායම බවට පත්වූ ඔස්ට්‍රේලියාව මූලික වටයේදී තරග 3ක් ජයගත් අතර පරාජයට පත්වූයේ ඉන්දියාවට පමණි.

නවසීලන්තයට එරෙහිව පැවැති තරගය ජයගනිමින් අවසන් කණ්ඩායම් හතරට ඔස්ට්‍රේලියාව සේන්දු වූයේ ආරම්භක පිතිකාරිනිය හා කඩුලු රකින ක්‍රිඩිකා ඇලීසා හීලිගේ විශිෂ්ට පිතිහරඹයෙනි. එම තරගයේදි පන්දු 38කින් ලකුණු 53ක් රැස් කළ ඇය හතරේ පහර 8කින් සිය ඉනිම වර්ණවත් කරගත්තාය. පාකිස්තානය සමග පැවැති පළමු තරගයේදි ලකුණු 48කුත්, අයර්ලන්තය සමග පැවැති දෙවැනි තරගයේදි නොදැවී ලකුණු 56කුත් රැස් කළ මේ ප්‍රබල පිතිකාරිනිය ඉන්දියාවට තරගයේදි ලකුණු නොලබා දැවීයාම එම තරගයේ පරාජයට විශාලතම සාධකය විය.

වසර 2014 තරගාවලියේ අනුශූරියන් වූ එංගලන්තය මෙවර අවසන් කණ්ඩායම් හතරට එක්වුයේ පසුගිය තරගාවලියේදි නොලැබු වාසනාවත් කරපින්නාගෙනය. මූලික වටයේදී එංගලන්තය ජයගත්තේ තරග 2ක් පමණකි. එහෙත් එම කාණ්ඩයේ සෙසු කණ්ඩායම්වලට වඩා වැඩි දස්කම් පෙන්නුම් කරමින් එංගලන්තයට අවසන් කණ්ඩායම් හතරට සේන්දු වීමේ වසනාව උදාවූයේ දකුණු අප්‍රිකානු පිල සමග පැවති තරගයේ ජයග්‍රහණයයි.

එම තරගයේදි කඩුලු ත්‍රිත්වයක් දවාගත් එංගලන්ත පිලේ ප්‍රබල පන්දු යවන්නිය වන ආන්යා ෂ්රබ්සෝල් මෙවර එංගලන්තය අවසන් තරගය දක්වා රැගෙන යනු ඇතැයි අනාවැකි පළවී තිබේ. පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද විශිෂ්ට දස්කම් දක්වන මේ ක්‍රීඩිකාව කොදෙව් පිල හමුවේ පරාජයට පත්වූ මූලික වටයේ අවසන් තරගයේදිද කඩුලු 3ක් දවාලීමට සමත්වූවාය. පසුගිය වසරේ කාන්තා එක්දින ලෝක කුසලානය එංගලන්තයට ජයගැනීමට පෙරළිකාර දස්කම් පැ ආන්යා මෙවර ද එම දස්කම් නැවත පෙළගැස්වීමට බලාපොරොත්තුවෙන් පසුවන්නීය.

මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතරින් වඩාත්ම අවධානය දිනාගත් කණ්ඩායම බවට පත්වී ඇත්තේ ඉන්දීය කණ්ඩායමයි. ‘බී‘ කාණ්ඩයෙන් තරග බිමට එක්වූ ඉන්දියාව එම කාණ්ඩයේ එකම අපරාජිත කණ්ඩායම වන අතර නායිකා හර්මන්ප්‍රීට් කවුර් තරගාවලියේ වැඩිම ලකුණුලාභිනිය වන්නීය. නවසීලන්තයට එරෙහි මූලික වටයේ පළමු තරගයේදී පන්දු 51කින් ඇය ලකුණු 103ක් රැස් කළේ හතරේ පහර 7ක් සහ හයේ පහර 8ක් සමගිනි. කළෙකට අමතක නොවන ඉනිමක් ක්‍රිඩා කළ ඉන්දීය පිලේ නායිකාව විස්සයි20 තරගබිමේ ශතකයක් වාර්තා කළ පළමු ඉන්දීය පිතිකාරිනිය වූවාය.


නව අදහස දක්වන්න