ජනපතිගේ බලතල හිටපු අගමැති පවරා ගැනීමට උත්සාහ කළා | දිනමිණ

ජනපතිගේ බලතල හිටපු අගමැති පවරා ගැනීමට උත්සාහ කළා

මහාචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි, කෑගල්ලේ රතනසාර, හෑගොඩ විපස්සී, කොටපොල අමරකිත්ති, විතාරන්දෙණියේ චන්ද්‍රසිරි, අතුරලියේ ඉන්ද්‍රජෝති සහ පරදූවේ ජිනරතන ස්වාමීන් වහන්සේලා මාධ්‍ය හමුවට එක්ව සිටි අයුරු. ඡායාරූපය - විමල් කරුණාතිලක

පසුගිය වකවානුව තුළ පාර්ලිමේන්තුව තුළ සිදුවූයේ කිසිසේත්ම සිදු නොවිය යුතු දේවල්. මේ සියල්ලටම මූලික හේතුව රටේ නායකත්වයට ගරු නොකිරීමයි. මහජන ඡන්දයකින් පත් වූ ජන නායකයකුට අනිවාර්යයෙන්ම ගරු කළ යුතුයි. ගරු නොකිරීම හේතුවෙන් තමා දැන් අපේ දේශපාලනයට මෙහෙම වෙලා තියෙන්නේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ව්‍යවස්ථාවට අනුකූලව ව්‍යවස්ථානුකූලව කටයුතු කිරීමට බැඳී සිටිනවා. ජනාධිපතිවරයා ව්‍යවස්ථාවට අනුව ගනු ලබන තීරණවලට ගරු කිරීමට, අවනතවීමට මහජන ඡන්දයෙන් පත් වූ දේශපාලන නායකයන් කටයුතු කළ යුතුය. ප්‍රජාතන්ත්‍රවාදය තියෙන රටක ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් තියෙනවා. රටට අකටයුතුකම් කරන තැනැත්තන් ඉවත් කරන්න. ජනතාව තමා පාලකයන් පත් කරන්නෙත් ඔවුන්ව ඉවත් කරන්නෙත්. ඒ නිසා මේ රටේ ව්‍යවස්ථාවට ගරු කරන්න කවර පක්ෂයක් නියෝජනය කරන කවර තැනැත්තෙකු වුවද කටයුතු කළ යුතු යැයි බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ උපකුලපති මාහාචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි නායක ස්වාමීන් වහන්සේ ඊයේ (20) කොළඹ කොටුව සෙමා ගොඩනැඟිල්ලේ පැවැති නායක හිමිවරුන්ගේ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් පැවැසූහ.

එහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ නාහිමියෝ,

අපි විශේෂයෙන් තුන්වන ලෝකයේ රටක් හැටියට අපේ රට විවිධ ප්‍රශ්නවලට ගැටුම්වලට මුහුණ දුන්නා. මේ රටේ පාලකවරු විශේෂයෙන් පාර්ලිමේන්තු නායකයන් රටේ මිලියන 20ක් වූ ජනතාව වෙනුවෙන් සාධාරණ ලෙස පෙනී සිටිය යුතුයි. පාර්ලිමේන්තුවේ වර්තමාන තත්ත්වය අනුව ජනතාව වෙනුවෙන් පෙනී සිටින නායකයන් සිටිනවාද කියල හිතෙනවා. යම් යම් දේශපාලකයන් විද්යුත් මධ්‍ය හරහා ප්‍රකාශ කරන කරුණුවලින් ගම්‍ය වන්නේ ඔවුන්ගේ වෛරී සහගත දේශපාලනයයි. මේ රටේ වර්තමානයේ ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳ සංයමයෙන් යුතුව ක්‍රියා කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. දිනෙන දින ආර්ථිකය කඩා වැටී දිළිදුකම වර්ධනය වෙනවා. මේකට ප්‍රධානතම හේතුව දැන් තිබෙන දේශපාලන අර්බුදය. ඒ නිසා රටේ නායකත්වයට ගරු කරමින් මහජනතාව විසින් පත් කළ ජනනායකයන් කටයුතු කළ යුතුයි.

මාතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති, මාතර වෙහෙරහේන රජමහා විහාරාධිපති කෑගල්ලේ රතනසාර නායක ස්වාමීන් වහන්සේ මෙසේ පැවැසීය.

වර්තමානයේ පාර්ලිමේන්තුව තුළ ඇති වී තිබෙන සිද්ධිදාමය පිළිබඳ භික්ෂූන් වහන්සේලා විදියට අප බෙහෙවින් කනගාටු වෙනවා. පාර්ලිමේන්තුව කියන්නේ මේ රටේ උත්තරීතර කියා වචනය භාවිත කරන උසස්ම තැනය. රටක හොඳ පාලකයකුවීමට නම් ඉවසීම, මෛත්‍රීය, කරුණාව යන ගුණාංගවලින් හෙබි පුද්ගලයකු විය යුතුය. ජනතාව ඔවුන්ගේ ඡන්දයෙන් පත් කරන ජන නායකයන් හරහා බලාපොරොත්තු වන්නේ රටට ජාතියට ආගමට ඔවුන් කැප වූ පිරිසක් වෙයි කියලා. වර්තමාන පාර්ලිමේන්තුව තුළ සිදු වූ සිද්ධිදාමය හරහා ජනතාවගේ බලාපොරොත්තු බිද වැටෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රට පිළිබඳ උදාර කැපවීමෙන් කටයුතු කරන පුද්ගලයෙක්. 2015 වසරේ ජනාධිපතිවරයා බලයට පත් වූයේ රටට, ජාතියට, මහජනතාවට උදාර සේවයක් කිරීමේ බලාපොරොත්තුවෙන්. නමුත් පසුගිය අවුරුදු තුන හමාරක කාලය තුළ සිදු වූ සිද්ධීන් හේතුවෙන් ජනාධිපතිවරයා පිළිබඳ මහජනතා විශ්වාසය බිද වැටුනා. ඊට හේතුව රටේ සිදු වූ විශාල ආර්ථික පසුබෑම, මහ බැංකු මංකොල්ලය, රැකියා විරහිත බව යන විශාල ප්‍රශ්න ගණනාවක් තුළ රට හිර විය. ඉතින් මෙයට පිළියමක් ලෙස ජනාධිපතිවරයා නිවැරැදි ක්‍රියාමාර්ගයක් ගනු ලැබුවා. පැවැති ආණ්ඩුව සමඟ කටයුතු කිරීම අපහසු නිසා පවතින ආණ්ඩුව විසිරුවා හැර නැවත ඡන්දයක් පැවැත්වීමට කටයුතු කළා. මහජනතාවට රටට ගැළපෙන ජනනායකයන් තෝරා ගැනීමට අවස්ථාව ජනාධිපතිවරයා ලබා දුන්නා. ඒ අනුව කටයුතු කිරීම පාලක පක්ෂයේ සියලු දෙනාගේ වගකීමයි. නමුත් වගකීම පසෙකලා ඔවුන්ගේ බලලෝභීත්වය නිසා බල අරගලයක නියළීමක් අපි පසුගිය සිද්ධිදාමය හරහා දුටුවා. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අපි දැක්කේ නැහැ කථානායකවරයකුගේ හැසිරීම මේ තරම් පක්ෂග්‍රාහී වනවා. පාර්ලිමේන්තුව තුළ ගැටලුවක් ඇති වූ විට නොසන්සුන්තාවක් ඇති වූ විට ඕනෑම කථානායකවරයෙක් පාර්ලිමේන්තුව කල් තබනවා නැවත සාමකාමී වූවාට පසු පාර්ලිමේන්තුව කැඳවනවා. නමුත් වර්තමාන කථානායකවරයා පාර්ලිමේන්තුව තුළ විශාල අර්බුදයක් තිබියදීත් ඔහු මුනිවත රකිමින් ක්‍රියා කරනවා. දේශපාලන නායකයන්ට කියා සිටින්නේ නිවැරැදි දේශපාලනයක ගමන් කරන ලෙසයි.

රුහුණු රට භික්ෂු පෙරමුණේ ප්‍රධාන සංවිධායක, මාතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේකම්, සමස්තලංකා විධායක සභික, දර්ශනපති පරදූවේ ජිනරතන ස්වාමීන් වහන්සේ මෙසේ කීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට ආවේ හැට දෙලක්ෂයක් වූ ජනතා ඡන්දයෙන්. ජනතා ඡන්දයෙන් පත් වූ පාලකයකුට වගකීමක් තියෙනවා ජාතීන්ගේ ආරක්ෂාව, රටේ ආරක්ෂාව සහ ආගම්වල ආරක්ෂාව, රටේ ආර්ථිකය ගොඩනැඟීම වැනි විශාල වගකීමක් තිබෙනවා. මෛත්‍රීපාල සිරිසේන මහතා ද බලයට පත්වනු ලැබුවේ රටේ සිටින සියලුම ජනතාව වෙනුවෙනි. එහි දී අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා අතර ගැටුමක් ඇති වෙනවා. ඒ ගැටුම තමා මුල සිටම ජනාධිපතිවරයා අභිභවා අගමැතිවරයා කටයුතු කිරීම. එනම් ජනාධිපතිවරයා සතු බලතල අගමැතිවරයා විසින් ඩැහැ ගැනීමට උත්සාහ කිරීම. 19 හා 20 වැනි ව්‍යවස්ථා සංශෝධන හරහාද හිටපු අග්‍රාමාත්‍යවරයා කරන්න උත්සාහ කළේ මෙයයි. ඔවුන්ගේ බලාපොරොත්තුව වූයේ අනෙක් සුළු පක්ෂ සමඟ පාර්ලිමේන්තුව කේවල් කොට පවත්වාගෙන යාමයි. එහෙම සිදු වූවානම් සෑමදාම පාර්ලිමේන්තුව අස්ථාවරයි. ශක්තිමත් ස්ථාවර පාර්ලිමේන්තුවක් ගොඩනැඟීම වැළැක්වීමට තමා මේ සංශෝධනය ගෙනාවේ ජනාධිපතිවරයාත් ඒ බව දුටුවා. ඊළඟ කාරණාව තමා සිංගප්පූරු ගිවිසුම, මහ බැංකු ප්‍රශ්නය, නැ‍ඟෙනහිර ජැටිය, උතුරු නැ‍ඟෙනහිර විවිධ දේවල් සමාගම් ගත කිරීම, හම්බන්තොට වරාය විකිණීම, ගුවන් තොටුපොළ විකිණීම, රාජ්‍ය දේපළ විකිණීම වගේ මහා අපරාධ විශාල ප්‍රමාණයක් සිදු වී තිබෙනවා. ඇස්පේන, කන් ඇහෙන රටේ ජනතාවට මේවා පෙනුනා. නමුත් මේ රටේ සමහර දේශපාලන නායකයන්ට මේවා තේරුණේ නෑ. ඔවුන් පක්ෂපාතියි. ඔවුන්ගේ උත්සාහය පක්ෂය රැක ගනිමින් ඔවුන්ගේ හොරකම් වහගෙන අනුන්ට හොරා යැයි කියාගෙන තමුන්ගේ බලය රැක ගැනීම තමා බොහෝ දෙනකුගේ අරමුණ. රටකට නායකයෙක් පත් වෙන්නේ රටක් හදන්න. අපේ රටේ ගෞරවය පාර්ලිමේන්තුවේ කථානායකවරයා ඇතුළු පිරිසක් විසින් විනාශ කරලා. එන්. ජී. ඕ. කාරයන්ගෙන් අපේ රටේ අනන්‍යතාවය වැහිලා. කොටින්ම කිවුවොත් රටේ සභ්‍යයත්වය, සදාචාරය, සංස්කෘතිය, ආගම යන සියල්ල ඔවුන්ට විකුණලා. මේක තමා සැබෑව. රටට පත්වන නායකයන් කියන්නේ නම් අපි ජනතාවගේ සේවකයන් කියාය. නමුත් දැන් වෙලා තියෙන්නේ අපි ඔවුන්ගේ සේවකයන් වෙලා. අපි දැන් එයාල කියන දේ තමා කරන්නේ. අපේ දෙයක් ඔවුන් දැන් කරන්නේ නෑ. හැබැයි ඒ මොනවා වුණත් කමක් නෑ. ඔවුන්ට බෑ අපේ රට විකුණන්න. පාර්ලිමේන්තුව ඇතුළට විදේශ තානාධිපතිවරු ගෙන්නලා කරපු අපරාධ පිළිබඳ භික්ෂූන් වහන්සේ නමක් ලෙස කලකිරෙනවා. රට රකින්න ආපු ජන නායකයන් ලෙස එන්. ජී. ඕ. කාරයන් සහ තානාපතිවරු ගෙන්වීමෙන් කළේ විශාල අපරාධයක්. අපේ රට ඉදිරියට යන ගමනට ඉදිරියේ දී ගෙන එන මේ අනපනතුත් රටට අපරාධයක් කළොත් මොකද වෙන්නේ. මිනිස්සු මේ ගැන හිතන්න ඕනේ. මෙවැනි තත්ත්වයක් තුළ පාර්ලිමේන්තුව තුළ ගහ මරා ගැනීම විසඳුමක් නොවේ. මේ ගැටලුව විසඳීමට ඇති එකම පිළියම පිරිසක් ලෙස සාමූහිකව එකතු වී සාකච්ඡා කිරීම. රට තුළ ඇති ප්‍රශ්න විසඳා ගැනීමයි. රනිල් වික්‍රමසිංහ මහතාටත් එක්ක අයිතියක් තිබෙනවා ජනාධිපතිවරයා ඔහුව ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කළ විට ජනතා ඡන්දයකට යෑම සුදුසු බව යෝජනා කිරීම. ඒ වගේම පාර්ලිමේන්තුව කේවල් කිරීමේ තත්ත්වය පිළිබඳ ජනතාව නිවැරැදිව අවබෝධ කරගත යුතුය. පසුගිය කාලවල දී දේශපාලනය පිරිහී පැවැති වකවානු තිබුණා. නමුත් එම කිසිදු වකවානුවක මෙවැනි කථානායකවරයකු දැක නැත. ලැජ්ජාවක් නැති, බයක් නැති පුද්ගලයෙක් බවට කථානායකවරයා පත්වීම පිලිකුලට කාරනයක්. මේක ජාතිය අපවාදයට ලක් කරපු කාරනාවක්.

කඹුරුපිටිය සාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති , ඌරාපොළ රතනජෝති විද්‍යායතන පිරිවෙන් කෘත්‍යාධිකාරී, අරඹේගොඩ පබ්බතාරාම පුරාණ විහාරාධිකාරි අතුරලියේ ඉන්ද්‍රජෝති ස්වාමීන් වහන්සේ ද මෙසේ පැවසීය.

වර්තමානයේ අපේ රටේ ඇති වෙලා තියෙන තත්ත්වයට හේතුව ව්‍යවස්ථාවයි. ව්‍යවස්ථාව කියන්නේ රටේ පාලනය පිළිබඳ රටේ පාලකයන්ට අවබෝධ කර ගැනීමට තිබෙන ලිඛිත ලියවිල්ලක්. නමුත් ජනතා ඡන්දයෙන් පත්වෙච්ච ජන නායකයන් පාර්ලිමේන්තුව තුළ කටයුතු කරන්න ඕනේ ජනතාවගේ අවශ්‍යතාවන් ඉටු කරන්න. පාර්ලිමේන්තු ඉතිහාසය තුළ කථානායකවරු ගණනාවක් සිටී. ඔවුන් සියලු දෙනාම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තු නීතියට අනුව කටයුතු කළා. කථානායකවරයකු පත් වන්නේ මහජන ඡන්දයෙන් නොව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන්. නමුත් වර්තමානය තුළ දී කථානායකවරයාට ව්‍යවස්ථාව අභිභවා යා නොහැකි. වර්තමාන කථානායකවරයා කථානායක තනතුරට නිගරු කළා. ප්‍රජාතන්ත්‍රවාදය රකින්නො ලේ හලන්න ඕනේද? හිටපු ඇමැතිවරයකු කියනවා වෛරය තව තවත් වපුරන්න ඕනේ කියලා. ජනතාව වෙනුවෙන් පෙනී සිටින ජන නායකයන් වෛරය වපුරන්න ඕනෙද කියා ප්‍රශ්නයක් ගොඩනැ‍ඟෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ලේ හලන එක නෙමේ.නමුත් වර්තමානය දිහා බලන විට එවැනි ප්‍රජාතන්ත්‍රවාදී ලකුණු ඉස්මතු වෙන්නේ නෑ. දැන් මිනිස්සුන්ට ප්‍රශ්නයක් තියෙනවා දැන් අපේ රටට මොනවා වෙයිද?. මිනිස්සුන්ට බයයි රෑ එළිවෙන කොට අපේ රට චීනය, අමෙරිකාව, එංගලන්තය සහ ඉන්දියාව යන කුමන හෝ රටකට අපේ බිම් අගලක් හෝ විකුණලා තියෙයි කියා. රටේ තියෙන සම්පත් පාලකයෝ ආරක්ෂා කළ යුතුය. විධායක ජනාධිපතිවරයකුට නොහැකි වන්නේ ගැහැනියෙක් පිරිමියෙක් කිරීමට හා පිරිමියෙක් ගැහැනියක් කිරීමට පමණය. වර්ත්මාන විධායක ජනාධිපතිවරයා කටයුතු කරන්නේ රටේ සියලුම ජනතාව වෙනුවෙනි. එතුමා ජාතිය අමතන අවස්ථාවක කියා තිබෙනවා මම ඉවසලා බැරිම තැන තමා මේ තීරණය ගත්තේ. රට විනාශ වෙනවා දකින්න මම කැමති නැහැ. ඒකයි මම රට රකින්න පුළුවන් නව අග්‍රාමාත්‍යවරයකු පත් කළේ. ඒ නිසා ජනතාව දැන් තීරණය කරන්න ඕනේ නැවතත් පාර්ලිමේන්තුවට මංකොල්ලකාරයෝ, හොරු යැවීමෙන් වළකින්න. රටේ සම්පත් රකින නායකයන් පාර්ලිමේන්තුවට යවන්න ජනතාව තමන්ගේ ඡන්දය භාවිත කළ යුතුය. රටේ සිටින පාලකයන්ගෙන් ඉල්ලා සිටින්නේ ව්‍යවස්ථානුකූලව කටයුතු කරන ලෙසය.

රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සී නායක ස්වාමීන් වහන්සේ ද මෙසේ කියා සිටියේය.

2015 මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා ලෙස පත්වූයේ රට තුළ අරගලයක් තිබෙන අවදියකයි. සෑම අවස්ථාවකම වගේ අපේ රටේ නව පාලනයක් බිහි වෙන්නේ පාලනයේ පවතින දෝෂ නිසාය. නව රාජ්‍ය පත්වූවාට පසූ ව්‍යවස්ථා සංශෝධන 18ක් සිදු වෙනවා. ඒ කිසිදු සංශෝධනයකින් ප්‍රශ්නය විසඳුනේ නැහැ. ඔවුන්ගේ උත්සාහය වනුයේ නොබෙදූ රාජ්‍යයක් බෙදන්න. ජනාධිපතිවරයා මේවා වළක්වන්න උත්සාහ කළා. එතුමාටත් එය කරන්න බැරි වුණා. මන්ත්‍රීවරුන්, මහජනතාව, ආගමික නයකයන් එතුමාට දෝෂාරෝපණය කළා. එම නිසා ජනාධිපතිවරයාට තීරණය කරන්න සිදු වුණා එතුමාගේ නෛතිකමය බලතල හරහා අග්‍රාමාත්‍යවරයා ඉවත් කරන්න. දැන් මහජනතාව ඔවුන්ගේ බුද්ධිය පරිණතභාවය විදහා පා කටයුතු කරනවා.

ශාන්ති පදනමේ අනුශාසක කොළඹ සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානාධිපති කොටපොළ අමරකිත්ති නායක ස්වාමීන් වහන්සේ මෙසේ කියා සිටියේය.

පසුගිය දවස් තුන පාර්ලිමේන්තුව බොහොම නරක ග්‍රහ බලපෑමකට ලක් වූ කාලයක් ලෙස හැඳින්විය හැකියි. නමුත් ජනාධිපතිවරයාගේ ඉල්ලීම පරිදි සියලුම පක්ෂ සංහිඳියාවකට පත්ව තියෙනවා. ඒ වගේම පාර්ලිමේන්තුවේ සිටින සියලුම දේශපාලකයන් මහජනතාව පත් කරන නියෝජිතයන් වන අතර, රටේ අයිතිය ඇත්තේ මහජනතාවටයි. එම මහජන ඡන්දයෙන් පත්වන නියෝජිතයන් සියල්ලගේම යුතුකම වනුයේ මාර්ග ඉදි කිරීම, අධ්‍යාපනය, සෞඛ්‍ය, සංස්කෘතිය හා ආර්ථිකය නඟා සිටුවීම වැනි දෑය. විධායක ජනාධිපති ධුරය ග්‍රී ලංකාවේ අනිවාර්යයෙන්ම ස්ථාපනය කළ යුතුයි.

අමෝදා ජයමහ

නව අදහස දක්වන්න