ස්ථාවර නියෝග අනුව කටයුතු කළා නම් මැතිසබයේ සිදු වූ විනාශය වැළකෙනවා | දිනමිණ

ස්ථාවර නියෝග අනුව කටයුතු කළා නම් මැතිසබයේ සිදු වූ විනාශය වැළකෙනවා

ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමේ දී ස්ථාවර නියෝග අනුව කටයුතු කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට දින කිහිපයකට පෙර කළ දැනුම්දීම අනුව කතානායකවරයා කටයුතු කළේ නම් පාර්ලිමේන්තුවේ 16 වැනි දා සිදු වූ විනාශය කිසිසේත් සිදුනොවන බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු ඇමැති දයාසිරි ජයසේකර මහතා අවධාරණය කරයි.

එසේම, ජනාධිපතිවරයාගේ තීරණය ක්‍රියාත්මක කිරීමට කතානායක කරු ජයසූරිය මහතා කටයුතු කළේ නම් මේ රටේ පාර්ලිමේන්තුව කෙරෙහි වූ ගෞරවය පසුගිය දිනවල සිදු වූ ආකාරයෙන් කෙලෙසී යන්නේ නැතැයි ද ඒ මහතා කියයි.

ඇමැති දයාසිරි ජයසේකර මහතා මේ බව පැවැසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පෙරේදා (19) පැවැති මාධ්‍ය හමුවේදීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය 15 වැනිදා පක්ෂ නායකයන් කැඳවා කළ සාකච්ඡාවේදී ඉතා පැහැදිලිව කිවුවා මේ ක්‍රියාදාමය සම්බන්ධයෙන් එතුමා පැවැසූ මේ කාරණාව ඇහුවා නම් 16 වැනිදා මේ විනාශය සිදුවන්නේ නෑ. කරු ජයසූරිය මහතාත් හිටපු තැනයි එතුමා මේ බව කීවේ. කරුණාකරලා පාර්ලිමේන්තුව ඇතුළේ රණ්ඩු වෙන්න එපා, ස්ථාවර නියෝග ආරක්ෂා කරන්න. පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායන් ගරු කරන්න. එසේ ගරු කරමින් නිවැරැදි විදියට විශ්වාසභංගය ගෙනැවිත් සම්මත කරලා ගේන්න, එතැනින් පසුව මම සූදානම් ආණ්ඩුව නැද්ද තිබෙනවාද කියලා තීරණය කරන්න කියලා ජනාධිපතිවරයා එහි දී ප්‍රකාශ කළා යැයි ද ඇමැතිවරයා පැවැසීය.

එහි දී වැඩි දුරටත් අදහස් දැක් වූ ඇමැතිවරයා,

මම හිතන්නේ දැන් කුණාටුව හමාර වී පාර්ලිමේන්තුව නැවත නිශ්චල තැනකට පත්ව තිබෙනවා. කතානායකවරයා පසුගිය 14 වැනිදා සිට ගත වූ දින තුන ඇතුළත අනුගමනය කළ අත්තනෝමතික ක්‍රියාමාර්ග හේතුවෙන් එම දින තුන මේ රටේ පාර්ලිමේන්තු ක්‍රියාදාමයේ ඉතා අඳුරු දින තුනක් සනිටුහන් කළා. පාර්ලිමේන්තු සභා වාරය අවසන් කර නව සභා වාරයක් ආරම්භ කරන විට කතානායකවරයා මුලින්ම කළ යුත්තේ පාර්ලිමේන්තු තේරීම් කමිටුවක් පත්කර, ඒ සඳහා නියෝජිතයන් 12 දෙනකු පත්කර එවන ලෙස දැනුම් දීමයි. පාර්ලිමේන්තුවේ අනෙකුත් කාරක කමිටු පත් කෙරෙන්නේ ඉන් පසුවයි. 14 වැනිදා පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ වූ පසු කතානායකවරයා මේ සඳහා පියවර ගත්තේ නෑ. මෙසේ පත්කළ යුතු කමිටු අතරට ගැනෙන පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව මේ වන විට ක්‍රියාත්මක නොවීම නිසා පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුමේ දී මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් කඩවූයේ නම් ඒවා සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්න කතානායකවරයාට හැකිවන්නේ නෑ. පක්ෂ නායක රැස්වීමක් පවත්වා මේ සඳහා පියවර ගැනීමට කටයුතු කරන බවට කතානායකවරයා පැවැසුවත් එසේ කළ නොහැකියි.

එහි දී අදහස් දැක් වූ වරාය හා නාවික කටයුතු ඇමැති මහින්ද සමරසිංහ මහතා,

පසුගිය දා (18) සවස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමට ආරාධනා ලැබූ සියලු පක්ෂ නායකයන් පැමිණ සිටියා. කතානායකවරයා ඊට පෙර දින නොපැමිණෙන බවට දැනුම් දීමක් කර තිබුණා. පෙරේදා (19) 12.00 ට පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම පැවැති අවස්ථාවේ කතානායකවරයා පැවැසුවේ තමන් එම රැස්වීම වර්ජනය නොකළ බවයි. තමන් පක්ෂනායකයකු නොවන නිසා එයට පැමිණීමට ‍අවශ්‍ය නොවන බව සිතූ බැවින් නොපැමිණි බවත් එතුමා පැවැසුවා. සමහර මාධ්‍ය ඔහු එම රැස්වීම වර්ජනය කළ බවට ප්‍රචාරය කර තිබූ නිසා එතුමා මේ බව ප්‍රකාශ කළා. ජනතා විමුක්ති පෙරමුණ ද ලිඛිතව ප්‍රශ්න ගණනාවක් සඳහන් කරමින් එම රැස්වීමට නොපැමිණෙන බවට ප්‍රකාශ කර තිබුණා. මේ රැස්වීම සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතාත්, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත්, අනෙකුත් පක්ෂ නායකයන් ද සහභාගි වී තිබුණා. එහි දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ පසුගිය දිනවල පාර්ලිමේන්තු රැස් වූ අවස්ථාවල දී හිසිරුණු ආකාරය අනුමත නොකරන බවයි. එය පාර්ලිමේන්තු ඉතිහාසයට කළු පැල්ලමක් එකතු කළ බවයි. මින් ඉදිරියට පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවල දී සාමකාමීව එහි කටයුතු සිදුකර ගෙන යා යුතු බවටත්, මන්ත්‍රීවරුන් ද ඒ ආකාරයට හැසිරිය යුතු බවටත් එතුමා එහි දී දැනුම් දුන්නා.

ස්ථාවර නියෝග අනුව කටයුතු කරමින් විශ්වාසභංග යෝජනාවේ දී නමින් ඡන්දය විමසා තමන්ට ඒ බව වාර්තා කරන ලෙසත් දැනුම් දුන්නා. සාමකාමී වාතාවරණයක් තුළ යෝජනාව සම්මත වූ බව තමන්ට විශ්වාස කිරීමට හැකියාව තිබිය යුතු බවයි එතුමා ප්‍රකාශ කළේ. අවසානයේ දී ජනාධිපතිවරයා කිවුවේ පෙරේදා (19) දින පාර්ලිමේන්තුව රැස්වීම සාමකාමීව පවත්වාගෙන යා යුතු බවයි. ඒ අනුව ජනාධිපතිවරයාගේ ඉල්ලීම සියලුදෙනා විසින්ම පිළිඅ‍රගෙන තිබෙනවා. පසුගිය දිනවල මෙන් පෙරේදා පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවුණේ නැහැ. මේ ගැන සියලු පක්ෂවලට ස්තූතිය හිමි විය යුතුයි. පක්ෂ නායක රැස්වීමේදී රවි කරුණානායක මහතා ප්‍රධානව තවත් මන්ත්‍රීවරුන් 06 දෙනකුගේ අත්සනින් යුතුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න යෝජනාවක් භාර දුන්නා. මේ යෝජනාව ගන්න යන්නේ ජනාධිපතිවරයා කියූ පරිදි ස්ථාවර නියෝග අනුවයි. ජනාධිපතිවරයා කළ ඉල්ලීම සියලු දෙනා සිතට ගෙන තිබෙන බව පැහැදිලියි. මීට පෙර විශ්වාසභංග යෝජනාව ගෙන ආවේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අත්හිටුවලයි. එතකොට අපි කිවුවා ආණ්ඩුවට විරුද්ධව යම්කිසි යෝජනාවක් ගෙන එනවා නම් එය විවාද කරන්න දින නියම වෙන්න ඕනෑ කියලා. අපි දකින්න ඕනේ, ඒ කිසිවක් නැතිව තමයි 14, 15 එම යෝජනා සම්මත වීම සිදුවුණේ. එයට අපි එකඟ වෙන්නේ නැහැ කියලා කිවුවා.

රවි කරුණානායක මහතා මේ යෝජනාව ඒ වෙලාවේ භාර දී කිවුවේ ස්ථාවර නියෝග අනුව කටයුතු සිදු කරන්න කියලයි. එය ඉංග්‍රීසි භාෂාවෙන් සකස් කර භාර දී තිබෙන්නේ එය සිංහල, දෙමළ භාෂා සඳහා පරිවර්තනය විය යුතුයි. එම යෝජනාව න්‍යාය පුස්තකයට ඇතුළු වෙනවා. න්‍යාය පුස්තකයේ දවස් 5ක් තිබීමෙන් පසුවයි පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීම සඳහා දිනයක් පක්ෂ නායකයන් නියම කරන්නේ. එම දවස් 5 ගණන් කර එම යෝජනාව 29 වැනි දා පාර්ලිමේන්තුවේ ගැනීම සඳහා එකඟතාවකට ආවා. මේ යෝජනාව බැලූ බැල්මට ව්‍යවස්ථානුකූලව, නීතිමය තත්ත්වයන් මත පිළියෙළ කර නැති බව පෙනී යන බව මම එහි දී පැවැසුවා. ඒ පිළිබඳ නීති උපදෙස් ගන්න කියා එහි දී ඉල්ලීමක් කළා. අපේ පැත්තෙනුත් ඒ ගැන නීති උපදෙස් ලබා ගැනීමට කටයුතු කරනවා. මේ යෝජනාව නීත්‍යානුකූල ද නැද්ද කියන දේ පිළිබඳ නීති උපදෙස් ගන්නවා. ඒ න්‍යාය පුස්තකයට ඉදිරිපත් කරන යෝජනාවත් නීත්‍යානුකූල හා ව්‍යවස්ථානුකූල විය යුතු නිසයි. කතානායකවරයාට පුළුවන් නීතිපතිවරයාගෙන් උපදෙස් ලබාගන්න. රවි කරුණානායක, නවීන් දිසානායක, නාලක කොලොන්නෙ, කාවින්ද ජයවර්ධන, හෙක්ටර් අප්පුහාමි, චතුර සේනාරත්න යන මන්ත්‍රීවරුන්ගේ අත්සන්වලින් යුක්තව මේ යෝජනාව ඉදිරිපත් කර තිබුණා.

සිතාරා සේනානි, චන්දිමා කරුණාරත්න
ඡායාරූපය - සාලිය රූපසිංහ

නව අදහස දක්වන්න