ස්වදේශිකයන් නසන විදේශිකයන් සනසන ආර්ථික ව්‍යාපෘතියක් එජාපය ගෙන ගියා | දිනමිණ

ස්වදේශිකයන් නසන විදේශිකයන් සනසන ආර්ථික ව්‍යාපෘතියක් එජාපය ගෙන ගියා

චමීර ඇල්ලදෙණිය

එජාප පාලන කාලයේ දී ස්වදේශිකයන් වනසන විදේශිකයන් සනසන ආර්ථික ව්‍යාපෘතියක් ගෙන ගිය බව ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු හා උපාය මාර්ගිය සංවර්ධන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පෙන්වා දුන්නේය.

කොළඹදී ඊයේ (20) පැවැති මාධ්‍ය හමුකට එක්වෙමින් එසේ කී ඇමැතිවරයා ස්වදේශිකයන්ට සහන ලබාදෙන ආර්ථික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරන බවද කීවේය.

මහින්ද රාජපක්ෂ මහතාගේ වසර දහයක පාලන කාලය තුළ ලබාගෙන තිබෙන මුළු ණය ප්‍රමාණය ට්‍රිලියන 5ක් බවත් එජාපය පසුගිය වසර තුන සඳහා ට්‍රිලියන 4ක් ගෙන තිබෙන බවත් ඇමැතිවරයා අනාවරණය කෙළේය.

අපි 2015 සිට ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය පවත්වා ගෙන ගියා. ආර්ථිකයට වු හානිය පිළිබඳ ජනතාව දැනුම්වත් කළා. අපි ආණ්ඩුව ගත්තට පසු එම පර්යේෂණ කැඳවුයේ නැහැ. එය නැවත වතාවක් ආරම්භ කරන්න කියා එජාපය අපෙන් ඉල්ලීමක් කර තිබෙනවා. අගමැතිවරයාගේ වැය ශිර්ෂය කපා හරින ලෙසට එජාපය යෝජනාවක් ගෙනෙනවා කියා කියා තිබෙනවා. පසුගිය 14 වැනිදා පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවලට හා සම්ප්‍රදායන්ට පටහැනිව ජවිපෙන් විශ්වාසභංගයක් ලබා දුන්නා. එම විශ්වාසභංගය ඔවුන්ම පසුව සංශෝධනය කර නැවත එක වගන්තියක් ඉවත් කර නැවත ඉදිරිපත් කරනවා. 16 වැනිදා පාර්ලිමේන්තුව රැස්වුණේ නැහැ. එසේ වෙනවා නම් වේත්‍රධාරීතුමා සෙංකෝලය තැන්පත් කරන්න ඕනෑ. 16 වැනිදා සෙංකෝලය කරේ තබාගෙන කතානායකවරයා කොහේ සිට හෝ තමයි සභාව ඇමතුවේ. එතුමා මූලාසනයට ආවේ නැහැ. 1.30ට පාර්ලිමේන්තුව ආරම්භ කෙළේ නැහැ. නීත්‍යානුකූල රැස්වීමක් නොවන අවස්ථාවකදී පොලිස් බලැණිය සමඟ පිවිසි කතානායකතුමා එෆ .එම්. මයික් එකකින් විශ්වාසභංගය සම්මත වුණා යැයි කියනවා. මේ වැනි ක්‍රමයකින් විශ්වාසභංගයක් සම්මත කළා කියන්නේ ලෝක ඉතිහාසයේම ලංකාවේයි. එය ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කළා. ජනාධිපතුමා පක්ෂ නායක රැස්වීමක් පවත්වා විසඳුම්ක් ලබා දුන්නා. ජනාධිපතිවරයා කිව්වා පාර්ලිමේන්තු අවසන් කළාට පසුව ආරම්භ වූ පසු සිදුවන ක්‍රියාවලිය අනුව කටයුතු කරන්න කියා ජනාධිපතිවරයා කිව්වා. පසුගිය සදුදා පාර්ලිමේන්තුව රැස්වුණා. තේරීම් කාරක සභාවක් පත්වෙන්න ඕනෑ. ව්‍යාපාර කමිටුවේ බහුතරය ආණ්ඩුවට හිමි වෙන්න ඕනෑ. නීත්‍යානූකූලව පාර්ලිමේන්තුව රැස්වීමට එකඟතාවයක් විපක්ෂය දක්වලා නැහැ. මේ තත්ත්වය යටතේ ජාත්‍යන්තයෙන් බලපෑම් කර රට කඩා වැටීම තවත් වැඩි කරන්න විපක්ෂය කටයුතු කරමින් ඉන්නවා. 2015,2016 හා 2017 වසර වලදී මේ රටේ ආර්ථිකය නැත්තටම නැති වෙලා. පාර්ලිමේන්තුව තුළත් පාර්ලිමේන්තුවෙන් පිටතත් අපි මේ ගැන කිව්වා. පොත් ලිව්වා. ශ්‍රී ලංකා ආර්ථිකයේ තෙවසරක ප්‍රගතිය හා තෙවසරක අගතිය කියා මා පොතක් ලිව්වා. එම පොතේ ප්‍රස්ථාර සටහන් හැට හැත්තෑවක් යොදා තිබෙනවා.

මේ අනුව ණය වැඩි වෙනවා. පොලි ගෙවා ගන්න බැරි තත්ත්වයක් එනවා කියා අපි එහි සඳහන් කළා. මහින්ද රාජපක්ෂ රට ලබාගන්න විට ගෙවන්න තිබුණ ණය ට්‍රිලියන 2යි. එතුමා වසර දහයක් ආණ්ඩු කළා. යුද්දය තිබුණා. ඒ නිසා එදා ණය ගන්න සිද්ධ වුණා. ලෝක මූල්‍ය අර්බුදය තිබුණා. මේ සියළු අර්බුදය තිබියදිත් උතුරු වසන්තය නැඟෙනහිර උදානය කළා. 2015 රට භාර දෙනවිට ට්‍රිලියන 7යි. වසර දහයට ණය වැඩි වෙලා තිබෙන්නේ ට්‍රිලියන 5යි. මේ වන විට ට්‍රිලියන 11යි. ඒ කියන්නේ වසර තුනකදී ට්‍රිලියන 4ක් වැඩි වී තිබෙනවා. යුද්ධයක් නැතිව තිබියදී තමයි මේ තත්ත්වය සිදුව තිබෙන්නේ. රනිල් වික්‍රමසිංහ ඇතුළු ආර්ථික කමිටුව රට කෑවා කියා ජනතාව කිව්වා. ගම්මිරිස් මිල අඩු වෙලා. සුළු කෘෂිකර්මික බෝග අඩු වුණා. ගම් මිරිස්වල ඉදන් සියල්ල විනාශ කලා. ස්වදේශිකයින් වනසන විදේශිකයින් සනසන ව්‍යාපෘතියක් තමයි එජාපය ගෙන ගියේ. විදේශවලින් ගෙන එමට කටයුතු කළා. සියල්ල ලිහිල් කරණය කිරීමට එජාප ආණ්ඩුව කටයුතු කළා. මේ නිසයි ජනාධිපතිතුමා ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කෙළේ. ඉන්පසුව නව අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත් කළා. ණය වාරිකය ගෙවීමට පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. ඩොලර් බිලියන 1000ක් අපට ජනවාරි මාසයේ ගෙවන්න තිබෙනවා. ලංකාවේ ඉතිහාසයේ කිසිම දවසක ණය වාරික ගෙවීම් පැහැර හැර නැහැ. රටට කරන්න පුළුවන් උපරිම හානිය කළාට පසු එජාපය වත්මන් ආණඩුවේ කකුලෙන් අදිමින් ඉන්නවා. ඒ නිසා මහ මැතිවරණයට ගිහින් ජනමතයට අනුව කටයුතු කරන්න අපි ක්‍රියා කරනවා. අගමැති ලේකම්වරයාට ලබා දෙන මුදල් ඉවත් කිරීමට යෝජනාවක් ගෙන ඒමට විපක්ෂය උත්සාහ කරනවා. මේ වැනි යෝජනාවක ලෝක පාර්ලිමේන්තුවලවත් සිදුව නැහැ. අය වැයක් සම්මත වෙන්නේ වසරකට අදාළයි. 2018 වසර සඳහා සම්මත වූ අයවැය මේ වසරේ දෙසැම්බර් 31 වැනිදා වන තෙක් වලංගුයි.

අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා- එජාප ආණ්ඩුව කරගෙන ගිය වැඩපිළිවෙළ නිසා ආර්ථිකය විශාල ලෙස පහත වැටුණා. ජනාධිපතිතුමා මේ රටේ ආර්ථිකය කඩා වැටෙද්දී එජාප ආණ්ඩුවට නිරන්තරයෙන් උපදෙස් ලබාදී තිබුණත් ඔවුන් ඊට අනුව කටයුතු කර නැහැ. ඒ නිසා තමයි මහින්ද රාජපක්ෂ මහතාට නව අගමැති තනතුර ලබා දී රටේ ආර්ථිකය ගොඩනඟා ගැනීමට පියවර ගත්තා. පසුගිය වසර තුන තුළදී ආර්ථික ප්‍රතිපත්තිය 14 වතාවක් වෙනස් කර තිබෙනවා. ඒ නිසා තමයි පහත්ම ආර්ථික මට්ටමකට පහත වැටුණේ. අපි රටක් හැටියට එකතු වෙලා ආර්ථිකය ගොඩ නැගීමට කටයුතු කරනවා. පාර්ලිමේන්තුව තුළ ඇති වී තිබෙන අස්ථාවර භාවය නැති කරලා ආර්ථිකය ගොඩනඟා ගැනීමට වහාම මැතිවරණයකට යෑමේ වුවමනාවක් තිබෙනවා. පසුගිය ආණ්ඩුව මේ රටේ දේශිය චින්තනයට වැඩි පහසුකම් ලබා දුන්නේ. එම වැරැදි ආර්ථික ප්‍රතිපත්තියෙන් ඉවත් වෙලා දේශීයත්වයට ගරු කරන ආර්ථිකයක් ගොඩ නැඟීමට අප කටයුතු කරනවා.

නව අදහස දක්වන්න