ජනතා පරමාධිපත්‍යයට රාජපක්ෂ පරපුරෙන් අමිල සේවාවක් ඉටු වුණා | දිනමිණ

ජනතා පරමාධිපත්‍යයට රාජපක්ෂ පරපුරෙන් අමිල සේවාවක් ඉටු වුණා

කොළොන්නාව සමූහ ඒ. සුමනසේන

ශ්‍රී ලංකාවේ ජනතා පරමාධිපත්‍ය උදෙසා රාජපක්ෂ පරපුරෙන් අමිල සේවාවක් ඉටු වී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළොන්නාව සංවිධායක අජිත් රෝහණ සුබසිංහ මහතා පැවැසීය.

ඒ මහතා මේ බව පැවැසුවේ වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ 73 වැනි ජන්ම දිනය සැමරීම සහ ඒ මහතාට ආශිර්වාද දැක්වීමට ගොතටුව නව නගරයේ ශ්‍රී ඤාණවිමලාරාම විහාරස්ථානයේ පැවති බෝධි පූජා පින්කමට සහභාගී වී එහි පැමිණ සිටි පිරිස අමතමිනි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීවේය.

1956 දී පැවති මහා ජනතා පෙරළියට බණ්ඩාරනායක මහතා එක්සත් ජාතික පක්ෂය අතහැර පාර්ලිමේන්තුවෙන් එළියට එද්දී ඒ මහතාගේ සෙවනැල්ල මෙන් උරෙනුර ගැටී පැමිණි පතාක යෝධයකු වූයේ වත්මන් අගමැති සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පියාණන් වූ ඩී. ඒ. රාජපක්ෂ මහතා බව අප අමතක නොකළ යුතුයි.

ඉන් පසුව මේ රටේ පැවති සෑම ප්‍රගතිශීලී රජයකටම ඒ මහතාගේ පරපුරේ දරුවන්ගේ දායකත්වය ලැබුණු අතර ප්‍රථම වරට මේ රටේ ළාබාලම මන්ත්‍රීවරයා වශයෙන් 1973 දී පාර්ලිමේන්තුවට පිවිසි ඒ මහතාගේ වීරෝධාර පුත්‍ර රත්නයක් වූ මහින්ද රාජපක්ෂ මහතා මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් දරුණුතම යුද්ධය අවසන් කළා. නමුත් සුළු කාල සීමාවකට දේශීය හා විදේශීය කුමන්ත්‍රණකරුවන්ගේ බලපෑම් මත එම ධුරය අහිමිව ගියත් සත්‍ය ජයගැනීම ලෝක ධර්මතාව අනුව සිදු වන දෙයක් බැවින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආශිර්වාදය ලැබ නැවතත් ඒ මහතා අගමැති ධුරය හිමි කර ගත්තා.

රටට නිදහස ලැබුණත් රට බෙදීමේ කුමන්ත්‍රණය තවමත් පවතිනවා. එහෙත් යථාර්ථයට මුහුණදීම කාගේත් යුතුකමක්. විපක්ෂයේ වගකීම වන්නේ මේ රටට ආදරයක් ඇත්නම් වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු නව රජය ඉදිරියට යෑමට සහයෝගය ලබාදීමයි.

ගොතටුව ශ්‍රී ඤාණවිමලාරාමාධිපති මහර ධම්මදස්සි හිමි විසින් පිරිස පන්සිල්හි පිහිටුවීම හා බෝධි පූජා පින්කම පැවැත්වීම සිදු කළහ.

නව අදහස දක්වන්න