ජාත්‍යන්තර සම්බාධක විදෙස් ගමන් තහනමක් නෑ ! | දිනමිණ

ජාත්‍යන්තර සම්බාධක විදෙස් ගමන් තහනමක් නෑ !

විපක්ෂයේ දේශද්‍රෝහි උත්සාහය නිෂ්ඵලයි

සම්බාධක පැනවීමට යෝජනා කිිරීම දුෂ්ට ක්‍රියාවක්
- ආචාර්ය මල්වානේ චන්ද්‍රරතන හිමි

ශ්‍රී ලංකාවට එරෙහිව මොනම ආකාරයේ ආර්ථික හෝ දේශපාලන සම්බාධක හෝ ආණ්ඩුවට එරෙහිව විදෙස් ගමන් තහනමක් හෝ නොපැනවෙන බවත් ඒ පිළිබඳ ජාත්‍යන්තරය විසින් කිසිම සාකච්ඡාවක් නොපවත්වා ඇති බවත් තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය දිනවල ඇති වූ දේශපාලන අර්බුදය හේතුවෙන් රටට එරෙහි සම්බාධක හෝ විදේශ ගමන් තහනමක් පැනවෙන බවට විපක්ෂය විසින් ගෙන ගිය පුළුල් ප්‍රචාර සම්බන්ධයෙන් කරන ලද විමසීමක දී මේ බව අනාවරණය විය.

රටකට එරෙහිව හෝ දේශපාලන සම්බාධක පනවන්නේ ජාත්‍යන්තර අපරාධ නීතිය එකී රටක් විසින් බරපතළ ලෙස උල්ලංඝණය කරන බවට ප්‍රබල සාක්කි තිබිය යුතු බවත් එසේත් නොමැති නම් එකී රට විසින් ගෝලීය දේශපාලනය තුළ අහිත කර හැසිරීමක් පිළිඹිබු කරන බවට ලෝක බලවතුන් විසින් සලකා බලන තත්ත්වයක් උද්ගත විය යුතු බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.

එහෙත් ශ්‍රී ලංකාවට එරෙහිව එවැනි කිසිදු ආකාරයක චෝදනාවක් හෝ කරුණු සලකා බැලීමක් සිදු වී නැත.

කරුණු කෙසේ වෙතත් විපක්ෂය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ආර්ථික හෝ දේශපාලන සම්බාධක පනවා ආර්ථිකය දැඩි පීඩනයකට ලක්කරන ලෙස දිගින් දිගටම තානාපති කාර්යාලවලින් ඉල්ලා ඇතැයි වාර්තා වේ.

එසේම ජනාධිපතිවරයාට හා අගමැතිවරයා ඇතුළු ඇමැති මණ්ඩලයට එරෙහිව විදේශ ගමන් තහනමක් පනවන ලෙසද විපක්ෂය විසින් තානාපති කාර්යාලවලින් නොකඩවා ඉල්ලා සිටින ලදැයි තොරතුරු හෙළිවෙයි.

තවද ශ්‍රී ලංකාවට ආර්ථික සම්බාධක පනවන ලෙස විදෙස් තානාපතිවරුන්ගෙන් හෝ විදේශ රටවල් වලින් ඉල්ලීමක් විපක්ෂය හෝ වෙනත් කිසියම් පක්ෂයක් සිදු කරන්නේ නම් එය ශ්‍රී ලංකා මාතාවට මෙන්ම තමන් උපන් රටට කරන නිග්‍රහයක් බව කැළණිය විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ අංශාධිපති ආචාර්ය මල්වානේ චන්ද්‍රරතන හිමියෝ පෙන්වා දෙති.

මෙවන් ඉල්ලීමක් සිදු කළා නම් එම ඉල්ලීම තුළම ඇත්තේ ද්වේෂ සහගත තත්ත්වයක් බව පෙන්වා දෙන ආචාර්ය මල්වානේ චන්ද්‍රරතන හිමියෝ රට ආරාජික නම් ඒ තත්ත්වයෙන් මුදා ගැනිමට උපකාර කිරිම විදෙස් රටවල යුතුකම බවත් එය තවත් වැඩිදියුණු කිරිම ඔවුන් සිදු නොකළ යුතු බවත් පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාව හිර වී ඇති තත්ත්වයෙන් මුදා ගැනිමේ ක්‍රියාදාමයක් පමණක් රට තුළ සිදු වෙමින් පවතින බව පෙන්වා දෙන චන්ද්‍රරතන හිමියෝ එම තත්ත්වය යටතේ විදේශ රටවල් සම්බාධක පැනවීමක් සිදු කරාවි යැයි සිතිමේ අවශ්‍යතාවයක් මතුවන්නේ නැති බවත් පවසති.

රටේ දේශපාලන අස්ථාවරභාවයක් ඇති වී ඇති බවට ඇතැමුන් මත පළ කර ඇති පවසන උන්වහන්සේ ලෝකයේ මිත්‍ර රටවල් වලට අසල්වැසි රටවල් වලට එසේ සිදු කිරිමේ කිසිදු අවශ්‍යතාවයක් නැති බවත් එම රටවල් සිදු කළ යුතුව ඇත්තේ තව තවත් රටට අවශ්‍ය උදව් උපකාර සිදු කිරිම බවත් පෙන්වා දෙයි.

රටකට ආර්ථික සම්බාධක පැනවීමට නම් රට තුළ අසාධාරණ යමක් සිදුවිය යුතු බවත් ඇති වී තිබෙන දේශපාලන කලබලකාරි ගතිය පවා ඇති වී ඇත්තේ රට සංවර්ධනය කිරිමේ ප්‍රයත්නයක් සිදු කිරිමට බවද පෙන්වා දෙන උන්වහන්සේ රට තුළ ජීවත්වන ජනතාවට සාමකාමිව සහජීවනයෙන් ජීවත්වෙන්න පරිසරය නිර්මාණය කර දීමේදී ලෝකය විරුද්ධ වීමේ අවශ්‍යතාවයක් නැති බවත් පෙන්වා දෙයි.

මේ වන විට රට තුළ සිදුව ඇති තත්ත්වය උද්ගතව ඇත්තේ රට හිරවී ඇති උගුලෙන් ගලවා ගැනිම බවත් එවන් තත්ත්වයකට ලෝකය විරුද්ධ වන්නේ ඇයි දැයි උන්වහන්සේ ප්‍රශ්න කර සිටි.

රට තුළ ජීවත්වන සියලුම ජාතින්ට තම මාතෘ භූමිය තුළ සාමය සහජීවනය සාමකාමිව ජීවත්වීමට සාධාරණ රටක් ගොඩ නැගීම සඳහා දරන උත්සාහයේදී ශීෂ්ඨ සම්පන්න ලෙස ලෝකයේ රටවල් සිදු කළ යුතු වන්නේ අප රටට තවත් උපකාර සිදු කළ යුතු වන බවද උන්වහන්සේ කියා සිටිති.

නව අදහස දක්වන්න