ලුනාව මහල් නිවාස ව්‍යාපෘතිය කඩිනමින් නිම කරන්නැයි උපදෙස් | දිනමිණ

ලුනාව මහල් නිවාස ව්‍යාපෘතිය කඩිනමින් නිම කරන්නැයි උපදෙස්

නිවාස හා සමාජ සුබසාධන අමාත්‍ය විමල් වීරවංශ මහතා 2012 වසරේදී නිවාස අමාත්‍යවරයාව සිටියදී ආරම්භ කරන ලද මොරටුව, ලුනාව නාගරික මහල් නිවාස සංකීර්ණයේ ඉදිකිරිම් කටයුතුවල ප්‍රගතිය සොයා බලා එහි ඉදිකිරීම් කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දෙන ලදි.
 
නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දෙමින් ප්‍රකාශ කර සිටියේ මෙම නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු පසුගිය කාලයේ නිසි පරිදී ක්‍රියාත්මක නොවූ බවත්, ඉහළ ප්‍රමිතියෙන් යුතුව මෙහි ඉදිකිරීම් කටයුතු කඩිනමින් අවසන් කර ජනතා අයිතියට පත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
 
2015 වසරේ අග භාගයේදී පමණ වැඩ අවසන් කර ජනතා අයිතියට පත් කිරීමට නියමිතව තිබුණු මෙම මහල් නිවාස සංකීර්ණයෙහි ඉදිකිරීම් කටයුතු පසුගිය ආණ්ඩුව කාලය තුළ දැඩි ලෙස ප්‍රමාද වූ බවද විමල් වීරවංශ අමාත්‍යවරයා විසින් පෙන්වා දෙන ලදි.
 
නාගරික ජනතාවගේ නිවාස අවශ්‍යතාවය වෙනුවෙන් ආරම්භ කරන ලද මෙම මහල් නිවාස සංකීර්ණය නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය විසින් ඉදිකරනු ලබයි.
 
ප්‍රජා ශාලාවක්, සාප්පු සංකීර්ණයක්, පෙර පාසලක් හා ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් ඇතුළු අංග කිහිපයක්ද මෙම මහල් නිවාස සංකීර්ණයට ඇතුළත් කොට තිබීම විශේෂත්වයකි.
 
දුම්රිය ස්ථානය ආසන්නයේ මෙම මහල් නිවාස සංකීර්ණය පිහිටා ඇති අතර ගාලු පාර් සිට මහල් නිවාස සංකීර්ණයට ඇති දුර කිලෝමීටර් 1 කි.
 
නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ උපදෙස් අනුව ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව විසින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලබයි. මෙම නිවාස සංකීර්ණය ඉදිකිරීමටඅවශ්‍ය තාක්ෂණික උපදෙස්ලබා දෙන්නේ රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව (SD & CC ) විසිනි. මෙහි ඉදිකිරීම සඳහා වැය වන මුදල රුපියල් මිලියන 1296 කි.
 
මහල් 11 කින් සමන්විත ලුනාව නාගරික මහල් නිවාස සංකීර්ණයට නිවාස 356 ක් අයත්වනඅතර එහි එක් නිවසක විශාලත්වය වර්ග අඩි 456 කි.
 
මෙම අවස්ථාවට මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු, උප නගරාධිපති සමන්ත සිල්වා, නාගරික මන්ත්‍රී සුරේෂ් ඉන්දික, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරයේ සභාපති වෛද්‍ය සුමිත් වන්නිආරච්චි යන මහත්වරු සහ නිලධාරීහූ විශාල පිරිසක් සහභාගී වූහ.

නව අදහස දක්වන්න