අර්බුදය ඊයේ අද සහ හෙට | දිනමිණ

අර්බුදය ඊයේ අද සහ හෙට

අසේල කුරුළුවංශ

විපක්ෂය බලවත් වූයේ යහපාලන ආණ්ඩුවේ අයහපත් ආර්ථික ප්‍රතිපත්ති නිසාය. විවෘත ආර්ථිකයට රට නිදහස් කිරීමට ප්‍රථම රටේ නිෂ්පාදනය කළ හැකි සහ විදේශ රටවලින් ආනයනය කළ යුතු දේ පිළිබඳ තක්සේරුවක් කළ යුතුය. එහෙත් සිදුවූයේ විවෘත ආර්ථිකයත් සමඟ මෙරටට අනවශ්‍ය දේ පවා ආනයනය කිරීමය.

මෙරට උත්තරීතරම ස්ථානය යැයි සැළකෙන පාර්ලිමේන්තුව තුළ පසුගිය දින කිහිපය තුළ සිදුවූ සිදුවීම් දාමය සැලකිල්ලට ගැනීමේදී සියල්ලට වඩා අවධානය යොමු කළ යුතු කාරණය වන්නේ මෙරට අනාගතය කොයි ආකාර වෙයිද යන්නයි. බොහෝ පිරිස් උනන්දු වන්නේ දේශපාලන බලය කාට හිමිවේද යන්න සම්බන්ධව වුවත් ඊට එහි ගිය අභියෝග රැසකට ඉදිරි අනාගතය තුළ අපට මුහුණ දීමට සිදුවන බව මෙම සිදුවීම් මාලාව ඔප්පු කරමින් තිබේ. ජනපති ගත් තීන්දුව ව්‍යවස්ථාවට එකඟද ,එතුමා පත්කළ අගමැතිට බහුතරය තිබේද , ආණ්ඩුව විසුරුවා හැරීම නිත්‍යානුකූලද, හිටපු අගමැතිට බහුතරය තිබේද යන කාරණා මත අද රටම එක තැන නතරවී තිබේ. රාජ්‍යය ආයතන අකර්මණ්‍ය වෙත්දී පෞද්ගලික අංශයද අවිනිශ්චිත වාතාවරණය නිසා ව්‍යාපාරික තීන්දු තීරණ ගැනීමට නොහැකි තත්ත්වයට පත්ව ඇත. මෙවැනි තත්ත්වයක් වෙත රට ගමන් කළේ ඇයිද යන්න විමසා බැලීමේදී පෙනී යන්නේ රට ආර්ථික අංශයෙන් අස්ථාවර වීම ප්‍රධාන කාරණය බවයි. යහ පාලන ආණ්ඩුව වෙතින් ජනතාව ඈත් කරවීමට ප්‍රධාන හේතුව ඔවුන් බලයේ සිටි වසර තුනහමාරක කාලය තුළ ජනතාවට දැනෙන ආර්ථික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීමය. දිනෙන් දින බදු බර ඇතුළු අංශ ගණනාවකින් පීඩාවට පත් ජනතාව විපක්ෂයේ ප්‍රධාන බලවේගයවූ ඒකාබද්ධ විපක්ෂය වෙත තල්ලුවී ගියේ මේ නිසාය. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ජනතාව තමන් ඉන්නා ස්ථාවරය ඔවුන්ගේ ඡන්දයෙන් පෙන්නුම් කළ බව අප අමතක නොකළ යුතුය.

දේශපාලන විපර්යාසය

වර්තමාන තත්ත්වයට මෙරට ආර්ථිකය ගමන් කිරීමට හේතු විමසා බැලීමේදී, ලෝක ආර්ථිකයේ හා දේශපාලනයේ සිදුව තිබෙන විපර්යාසයන් හඳුනා ගැනීම වඩා වැදගත්ය. වසර 2000 සිට 2009 දක්වා කාලය තුළ ලෝක ආර්ථිකය 3. 4 % ක වර්ධනයක් පෙන්නුම් කළේය. 2010-2012 කාල පරිච්ඡේදය තුළ මෙමම අගය 3. 3% මටට්මක පැවතිණි. මෙම කාලය තුළ ඉතා සුළු අඩුවීමක් පෙන්නුම් කළත් 2013-2017 කාල පරිච්ඡේදය තුළ මෙම අගය 1. 4 % දක්වා අඩුවිය. ලෝක ආර්ථික වර්ධනය මෙම කාලය තුළ විශාල පසුබෑමකට ලක්ව තිබෙන බව මින් පැහැදිලිය. ලෝක බලවතා වන ඇමරිකාවේ ජනපති ධූරයට ඩොනල්ඩ් ට්‍රම්ප් පත්වීමත් ඔහු අනුගමනය කළ ආර්ථික ප්‍රතිපත්තිත් මෙයට ප්‍රධාන වශයෙන් බලපෑවේය.

චීනය සමඟ ඇමරිකාව කළ වෙළෙඳ ගනුදෙනුවල ස්වරූපයද මෙම තත්ත්වයට හේතු විය. වසර 2009 දී ත්‍රස්තවාදය පරාජයට පත් කිරීමත් සමඟ අපට රටක් ලෙස ආර්ථිකය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට අවකාශ සැලසිණි. හම්බන්තොට වරාය, නගර සංවර්ධන වැඩසටහන්, පෝර්ට් සිටි, මහ මාර්ග සංවර්ධනය වැනි මහ පරිමාණ සංවර්ධන ව්‍යාපෘති රට තුළ ක්‍රියාවට නන්වනු ලැබුවේ මෙම කාලය තුළදීය. ලෝක ආර්ථිකයේ ඇතිවූ පසු බෑමට සාපේක්ෂව ලංකා ආර්ථිකයේ අවිනිශ්චිතතාවක් වර්ධනය වූ අතර එවකට බලයේ සිටි මහින්ද රාජපක්ෂ ආණ්ඩුව එය වලක්වා ගැනීමට විවිධ පියවර අනුගමනය කරනු ලැබීය. ලෝක ආර්ථිකයේ බිඳ වැටීමත් සමඟ යුද්ධයෙන් පසු මෙරට මහ පරිමාණ සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කෙරුණු අතර ඒවාට ණය ලබා ගැනීම් බොහොමයක් සිදුවූයේ සහන පදනමනින් තොරවය. වෙළෙඳ පොළ වටිනාකම් මත පදනම්වූ පොලී අනුපාත මත ණය ගෙන රට සංවර්ධනය කිරීමට උත්සාහ කිරීම තුළ මෙරට ආර්ථිකය යම් අර්බුදයකට ලක් විය. සරල ආර්ථික විචල්‍යයන්ගේ යම් ආකාරයක ප්‍රගතියක් පෙන්නුම් කළද එම අගයන් සත්‍ය ඒවා නොවීය. විනිමය අනුපාත ඉහළ යෑම වලක්වා ගැනීම පිණිස සංචිත භාවිත කරනු ලැබීය. මේ නිසා මෙරට ආර්ථිකය එවකට පැවැති තත්ත්වය සම්බන්ධව ප්‍රශ්නයක් මතුව තිබිණි.

රට තුළ බල පෙරළියක් සිදුවූයේ මෙම කාලවකවානුවේදීය. ජනතාව යහ පාලන ආණ්ඩුව වෙතින් යහපත් ආර්ථිකයක් අපේක්ෂා කළේය. එහෙත් ඒ වෙනුවට සිදුවූයේ එතෙක් පැවැති ආර්ථික අර්බුදයට අමතරව දේශපාලන අස්ථාවරත්වයක්ද වර්ධනය වීමය. දේශපාලන ක්ෂේත්‍රය මෙන්ම ආර්ථික ක්ෂේත්‍රයද අවිනිශ්චිත තත්ත්වයට පත්වීම තුළ, ජනතාව මෙන්ම ඔවුන් නියෝජනය කළ දේශපාලනඥයන්ද විවිධ අර්බුදවලට මුහුණ දුන්හ. මහින්ද ආණ්ඩුව පරදා බලයට පැමිණි යහ පාලන ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිවලින් බොහොමයක් තුළ, ලංකා ආර්ථිකය තුළ මතු වෙමින් තිබූ ගැටලුවලට විසඳුම් ලබා දීමට හැකි බවක් දක්නට නොලැබිණි. ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්ති බොහොමයක් අසාර්ථක වූයේ ජනතා අවශ්‍යතා හා රටේ අවශ්‍යතා හඳුනා නොගෙන හඳුන්වා දීම නිසාය. මෙහි ප්‍රතිඵලය වූයේ ආර්ථිකය තව තවත් අවිනිශ්චිත තත්ත්වයට පත්වීමය. මෛත්‍රී-රනිල් ආණ්ඩුව විදේශ ආයෝජන රටට එතැයි තදින් විශ්වාස කළත් ඔවුනට එය සාක්ෂාත් කර ගැනීමට නොහැකි විය. විවිධ බදු ක්‍රම හඳුන්වා දෙමින් ව්‍යාපාරික ප්‍රජාව පීඩාවට පත් කිරීම තුළ දේශීය ව්‍යාපාර බොහොමයක් වැසී යන තත්ත්වයක් උදා විය. ඒ වන විටත් මෙරට මුදල් ආයෝජනය කළ ව්‍යාපාරිකයින් රට අතහැර ගොස් වෙනත් රටවල ආයෝජනය කරන තැනට කිරීමට තරම් පාලකයෝ අසාර්ථක වූහ. ආර්ථික විචල්‍යයන් වන උද්ධමනය, ඉහළ පොලී අනුපාතය, සේවා වියුක්තිය දැඩි ලෙස උච්ඡාචනය වීම යහපත් දෙයක් නොවන නමුත් එවැනි තත්ත්වයක්ද රට තුළ නිර්මාණය විය. කිසිදු වැදගත් ක්ෂේත්‍රයක් ස්ථාවරව පවත්වා ගෙන යෑමට යහ පාලන පාලකයෝ අසමත් වූහ. විෂන් 20-25 වැනි විවිධ වැඩසටහන් හඳුන්වා දුන්නද ප්‍රායෝගික නොවීම නිසා ජනතාව ඒවා පිළිනොගත්හ. මේ සියලු කාරනා සමාජය තුළ අවිනිශ්චිතතාව වර්ධනය කිරීමට හේතු විය.

මහ බැංකු බැඳුම්කර වංචාව කරළියට පැමිණීමත් සමඟ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ යහ පාලන රජයේ එක්සත් ජාතික පක්ෂ පාර්ශ්වය කෙරහි ජනතා අප්‍රසාදයක් ගොඩ නැගිණි. ආයෝජන කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය පොලී අනුපාතයයි. මහ බැංකු වංචාවත් සමඟ මෙරට පොලී අනුපාත සැලකිය යුතු ලෙස ඉහළ ගිය අතර රට ආර්ථික වශයෙන් අස්ථාවර වීමේ ශීඝ්‍රතාව ඉහළ යන්නටද එය ප්‍රධාන වශයෙන් බලපෑවේය. දූෂණ හා වංචා සොයා බලා ඒවා කළ පිරිස් නීතිය හමුවට පමුණුවා දඬුවම් ලබා දීමට යැයි කියමින් පැමිණි පිරිස් වංචා හා දූෂණ කරන විට ජනතාව ප්‍රතිචාර දක්වන ආකාරය පෙර අවස්ථාවට වඩා වෙනස්ය. යහ පාලන ආණ්ඩුව ඉක්මණින් ජනතාවට එපා වීමට මෙයද ප්‍රධාන හේතුවක් විය. අනුන්නට හොරා යැයි චෝදනා කරමින් තමන් සොරකම් කරන විට ඇති වන කලකිරීම ජන හදවත් තුළද ඇති විය.

යහ පාලන ආණ්ඩුව කෙරෙහි රටේ පැවැති ජනමතය මේ ඔස්සේ වෙනස් විය. ජනමතය යහ පාලන ආණ්ඩුවට එරෙහිව යත්දී රට තුළ දේශපාලන අස්ථාවර භාවයක් නිර්මාණය වූ අතර රනිල් මහතාට විවිරුද්ධව කැරලි එජාපය තුළම ඇති වන්නට තරම් එය ප්‍රබල විය. රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිධුරයෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා අගමැති කරන්නටත් යහ පාලන ආණ්ඩුවේ ඇමැති මණ්ඩලය ඉවත් කර ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ හා එවකට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ පිරිස අතරින් පිරිසකට ඇමැතිකම් ලබා දීමටත් ජනපතිවරයා කටයුතු කරන්නේ මෙම පසුබිම තුළය.

මේ සියලු කාරණාවලට පසුබිම සකසනු ලැබුවේ, මෙරට ආර්ථික අර්බුදය විසින් බව අප තේරුම් ගත යුතුව තිබෙන ප්‍රධාන කාරණයයි. බලය සඳහා නොනිමි අරගලයක නිරතව සිටින සියලු පාර්ශ්ව මෙතෙක් මෙම කාරණය තේරුම් ගෙන නැති බව කනගාටුවෙන් වුව කිව යුතුව තිබේ. දැන් පවතින දේශපාලන හා ආර්ථික අර්බුදයට කඩිනමින් විසදුමක් ලැබෙන ස්වරූපයක් හෝ ඇති නොවුණ හොත් මෙය සමාජ අර්බුදයක් දක්වා වර්ධනය වීමේ ඉඩ කඩක් පවතී. ජනතාව මහ මගට බැස ගහ මරා ගන්නා තත්ත්වයක් දක්වා ප්‍රශ්නය වර්ධනය වීමේ ඉඩක් නිර්මාණය වෙමින් තිබේ. අනෙක් පසින් මෙම සිදුවීම් දාමය නිසා ශ්‍රීලංකාව ලෝකය තුළ හුදෙකලා රාජ්‍යයක් බවට පත්වීමේ අවධානමක් වෙත තල්ලු වෙමින් තිබේ. අප ලෝකය තුළ ආර්ථික අතින් හුදෙකලා වුවහොත් බරපතළ ගැටලු රැසක් ඇති වන බව අමුතුවෙන් කිව යුතු නැත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අයහපත් හැසිරීම හේතුවෙන් කලකිරීමට පත්වන උගතුන් රට හැර යාමේ අවධානමක්ද මතුව තිබේ. ලෝකයේ වෙනත් රටවලින් ඉල්ලුමක් තිබියදී රට වෙනුවෙන් යමක් කරන්නට සිතා රටේ රැදී සිටින පිරිස් මෙවන් අවිනිශ්චිතතාවයක් තිබියදී තව දුරටත් රටේ රැදී සිටීද යන්න ප්‍රශ්නයකි. තම දරුවන්ට රට තුළ අනාගතයක් නැතැයි නොසිතන මව්පියන් දැන් රටේ නොමැති තරම්ය. එය ඉතා අභාග්‍යසම්පන්න තත්ත්වයකි. එම තැනට රට තල්ලු කරනු ලැබ තිබෙන්නේ දේශපාලනඥයින් විසින්ය.

ආයෝජන අහිමි වීම

පසුගිය සති තුනක පමණ කාලය තුළ අපට ආයෝජන රැසක් අහිමිවී ගියේය. විදේශ රටවලින් මෙරටට පැමිණීමට සිටි සංචාරකයන් බොහෝ දෙනකු ඔවුන්ගේ ගමන් අවලංගු කිරීම නිසා හෝටල් ක්ෂේත්‍රය දැඩි අර්බුදයකට ලක්ව තිබේ. පෞද්ගලික කර්මාන්තවල නිෂ්පාදන සදහා ඇති ඉල්ලුම අඩුවී ඇත. රාජ්‍ය අංශය තුළ වැඩක් කරන තත්ත්වයක් දක්නට නැත. සියලු දෙනා බලා සිටින්නේ අගැමති හා ආණ්ඩු පක්ෂය සම්බන්ධ ප්‍රශ්නය ඉක්මනින් විස‍දෙන තුරුය. කුඩා පරිමාණ ආයෝජකයන් පවා මුදල් ආයෝජන කරන්නේ නැත. හෙට සිදුවන දේ ගැන ජනතාව පමණක් නොව රට කරවන ඇත්තෝද නොදනිති. මෙය බරපතළ ප්‍රශ්නයකි. පාර්ලිමේන්තුව නියෝජනය කරන ජනතා නියෝජිතයන් පක්ෂ බේදයෙන් තොරව මෙය තේරුම් ගත යුතුව තිබේ.

රට අර්බුදයක තියෙන මෙම අවස්ථාවේ සියලු දෙනා එකතුවී රට පවතින තත්ත්වයෙන් ඉහළට ගෙන ඒමට ක්‍රියා කළ යුතුය. ඒත් දැන් දකින්නට ලැබෙන්නේ බලය සඳහා කරන සටනක් පමණි. දේශපාලනය කරන්න රටක් තිබිය යුතුය. රට අහිමි කරගෙන කවර පක්ෂය තිබුණද පලක් නැත. මෙම තත්ත්වය ඉදිරියටත් පැවතුණ හොත් බලය හිමිවන කාට වුව රට කරවන්නට නොහැකි වනු ඇත. ආර්ථික ක්ෂේත්‍රයේ ඇති වෙමින් තිබෙන කඩා වැටීම යළි ගොඩ ඒමක් පිළිබඳ සිතන්නට නොහැකි තරම් බරපතළ බැවිනි. පාර්ලිමේන්තුව තුළ තව තවත් කුලල් කා ගැනීමෙන් සිදු වන්නේ අර්බුදය තවත් උග්‍ර වීමය.

සමාජ ආකල්ප ප්‍රතිපත්තිවලින් වෙනස් කළ නොහැකිය. ඒ බව කාල් මාක්ස්ද පවසා තිබේ. එය කළ හැක්කේ ආර්ථිකය දියුණු කිරීමෙනි. ආර්ථිකය සුබවාදී දිශාවකට ගමන් කරන විට ඒ හා සමගාමීව ජනතා සිතුම් පැතුම් හා ආකල්පද වෙනස් වෙයි. යහ පාලන ආණ්ඩුව උත්සාහ කළේ ආර්ථික ප්‍රශ්නවලින් ජනතාව මිරිකෙත්දී ජනතා සිතුම් පැතුම් වෙනස් කරන්නටය. එය කිසිසේත් සිදු නොවන්නකි. විනයගරුක, යුක්ති ගරුක ජනතාවක් බිහි කිරීම සඳහා මුලින් ඔවුන්ගේ ආර්ථිකය දියුණු කර සිටිය යුතුය. සාක්කුව හිස් මිනිසකුට ගුණ ධර්ම ආරක්ෂා වන සේ ජීවත් වන්නැයි උපදෙස් දීම විහිළුවකි. අද පාර්ලිමේන්තුව නාඩගම් මඩුවක් බවට පත්ව ඇත. උත්තරීතර ස්ථානය තුළ මහජන නියෝජිතයන්ගේ හැසිරීම නිවසක කුඩා දරුවකු හදා වඩා ගැනීමට බැරි තරමට නරකය. මේ දේශපාලන අර්බුදය පැමිණියේ ආර්ථික අර්බුදයත් සමඟ බව තවමත් මොවුන් තේරුම් නොගැනීම ජාතියේ අවාසනාවකි. එය දන්නේ නම් මොවුන් ආර්ථිකය වළපල්ලට ඇදගෙන යාමට හේතුවන මෙම අර්බුදය විසඳීම සඳහා කටයුතු කරනු ඇත.

ආර්ථික ප්‍රතිපත්ති

විපක්ෂය බලවත් වූයේ යහපාලන ආණ්ඩුවේ අයහපත් ආර්ථික ප්‍රතිපත්ති නිසාය. විවෘත ආර්ථිකයට රට නිදහස් කිරීමට ප්‍රථම රටේ නිෂ්පාදනය කළ හැකි සහ විදේශ රටවලින් ආනයනය කළ යුතු දේ පිළිබඳ තක්සේරුවක් කළ යුතුය. එහෙත් සිදුවූයේ විවෘත ආර්ථිකයත් සමඟ මෙරටට අනවශ්‍ය දේ පවා ආනයනය කිරීමය. මෙරට නිෂ්පාදනය කළ හැකි දේ පවා අපි අධික මුදලක් වැයකර ආනයනය කරන්නෙමු. මේ නිසා ආනයන සහ අපනයන ආදායම් පරතරය තුළින් අප වාර්ෂිකව ලබන පාඩුව ඩොලර් බිලියන 10 කට ආසන්නය. ගෙවුම් ශේෂය පියවා ගැනීමට නොහැකිවූ විට අප කළ යුත්තේ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ගෙන්වීම කපා හැරීමය. එහෙත් නිවිති පවා පිටරටින් ගේන තත්ත්වයට මෙරට ආණ්ඩු පත් විය. ආනයනය කරන භාණ්ඩය කුමක්ද නොව එය ගෙන්වන්නේ කවුද යන්න මත දේශපාලනඥයෝ තීන්දු තීරණ ගත්හ. දැන් එලඹෙමින් තිබෙන්නේ උත්සව සමයයි. ව්‍යාපාරිකයින් තමන්ගේ ව්‍යාපාරවලින් සැලකිය යුතු ආදායමක් ලබන්නේ මෙම කාලයේදීය. එම නිෂ්පාදන මිලට ගැනීමට ජනතාවට මුදල් තිබිය යුතුය. දැන් මෙම පාර්ශ්ව දෙකම අර්බුදයකට ලක්ව සිටිති. පවතින දේශපාලන හා ආර්ථික අර්බුදය සමාජ අර්බුදයක් දක්වා තල්ලු වී යාමට අවශ්‍ය පසුබිම එහෙයින් නිර්මාණය වෙමින් තිබේ.

මෙරට ඉතිහාසයේ සිදුවීම් නිරීක්ෂණය කිරීමේදී පැහැදිලි වන එක් කරුණක් ඇත. එසේ නම් සමාජ අර්බුදයක් ඇතිවූ අවස්ථාවල පක්ෂ අතර,ජාතීන් අතර මෙන්ම ආගම් අතර ගැටුම් ඇතිවන බවයි. ශ්‍රීලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයකු එක්සත් ජාතික පක්ෂයේ මුස්ලිම් මන්ත්‍රීවරයෙකුට පහර දීමක් කළ හොත් එය දේශපාලන ගැටුමකට වඩා ජාතීන් අතර ගැටුමක් ලෙසින් මතු වීමට ඇති ඉඩ වැඩිය. මෙරට දේශපාලන ගැටුම් බොහොමයක් ජාතිවාදී ගැටුම් ලෙස ඉස්මතුවූ අවස්ථා පිළිබඳ අත්දැකීම් අපට තිබේ. පවතින දේශපාලන අර්බුදය සමාජ අර්බුදයක් දක්වා වර්ධනය වීමට නොදී දැන්ම විසඳා ගතයුතු වන්නේ ඒ නිසාය. ප්‍රශ්නයේ ප්‍රස්තුත චරිත මෙය තේරුම් නොගැනීම රටේ මෙන්ම ජනතාවගේද අවාසනාවකි. මහින්ද ආණ්ඩුව සිංහල ජනතාවට ළැදි බවට සෙසු ජාතීන් තුළ මතයක් තිබේ. එමෙන්ම රනිල්ගේ ආණ්ඩුව මහ ජාතියට වඩා සලකන්නේ සුළු ජාතීන්ට බවට සිංහල බෞද්ධයින් තුළද මතයක් පවතී. මෙවැනි සැක සහිතව ආණ්ඩුවකට ඉදිරි ගමනක් යා නොහැකිය. මෙය මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාද තේරුම් ගත යුතුය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අද එක් එක් පාර්ශ්ව ඔවු නොවුන්ට වාසි ලෙස අර්ථකථනය කරමින් සිටී. මේ මොහොත් කළ යුතුව තිබෙන්නේ රට වෙනුවෙන් අප කළ යුතු වන්නේ කුමක්ද යන්න තේරුම් ගැනීම මිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විග්‍රහ කරමින් සිටීම නොවේ. මෙම සටනින් එක් පාර්ශ්වයක් ජයග්‍රහණය කරනු ඇත. එහෙත් ඒ වන විට රට සහ ජනතාව පරාජය වෙත ගමන් කර ඇත්නම් කවුරුන් ජයග්‍රහණය කළත් පලක් නොවනු ඇත.

නව අදහස දක්වන්න