ජනපති ගත් මඟ | දිනමිණ

ජනපති ගත් මඟ

ජයසිරි මුණසිංහ
ඉන්දික පොල්කො­ටුව
අසේල කුරුළුවංශ

නොවැම්බර් 19 වැනි දින පාර්ලිමේන්තු සභාවාරය අතිශය සාමකාමී විය. ඊට ඉහත දින දෙකක පාර්ලිමේන්තුවේ පැවති තත්ත්වය අනුව සලකා බලන කල, එය විශේෂ ජයග්‍රහණයක් බව සඳහන් කළ යුතුය. පාර්ලිමේන්තුව එසේ යහපත් මාර්ගයකට අවතීර්ණ වූයේ ජනාධිපතිතුමාගේ මැදිහත්වීම සහ මඟපෙන්වීම හේතුවෙනි. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට කළ මඟ පෙන්වීම වූයේ, විනයානුකූලව, ස්ථාවර නියෝග හා නීතිරීතිවලට අනුව සාමකාමීව ගැටලු විසදාගත යුතුය යන්නයි. පාර්ලිමේන්තුවේ සාමය, ස්ථාවරත්වය ගෞරවය ආරක්ෂා කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයාගේ මැදිහත්වීම සම්බන්ධයෙන් විද්වත් පිරිස් මෙසේ අදහස් දක්වති.


හොඳම අවිය සාකච්ඡාව 
- කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දන කස්තුරිආරච්චි

හැමදෙයක්ම රටේ පවතින නීතියට අනුව සිදුවිය යුතුයි. අතිගරු ජනාධිපතිතුමා නීති විශාරදයින්ගෙන් කරුණු විමසලා තමාට පැවැරී ඇති ව්‍යවස්ථානුකූල නීත්‍යානුකූල බලතල අනුව තමයි පාර්ලිමේන්තුව විසුරුවා හැර පාර්ලිමේන්තු මහ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු යෙදෙව්වේ.

නමුත් එම කටයුත්තට අභියෝග කොට පාර්ශ්වයන් කිහිපයක් අධිකරණයට ගියා. අධිකරණයෙන් අවසන් තීන්දුවක් නොවන අතුරු තහනම් නියෝගයක් ඒ සම්බන්ධයෙන් ලබාදුන්නා. ඒ සමඟම කථානායකවරයා පාර්ලිමේන්තුව කැඳවූවා. එම තත්ත්වය මත රැස්වූ පාර්ලිමේන්තුවේ විශාල කලබලයක් අවාසනාවන්ත තත්ත්වයක් ඇතිවුණා. ඒ අවාසනාවන්ත තත්ත්වය නිසා ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ කටයුතු ගැන අපේ රටේ පමණක් නෙවෙයි මුළු ලෝකයේම අපකීර්තියක් ඇතිවුණ බව කනගාටුවෙන් වුණත් කිව යුතුයි.

‍ෙම්වාගේ අපකීර්තිමත් තත්ත්වයක් නැවත ඇති නොවෙන්න පාර්ලිමේන්තුව කැඳවීමට එහිදී ක්‍රියාකිරීමට වහාම පියවර ගන්නට අතිගරු ජනාධිපතිතුමා ක්‍රියා කළා. එතුමා සර්ව පාර්ශ්වික සමුළුවක් කැඳවුවා. එයට සියලු දේශපාලන පක්ෂවලට ආරාධනා කළා. ඒක ඉතාමත්ම යහපත් කටයුත්තක්. අතිගරු ජනාධිපතිතුමා ගන්නා තීන්දු තීරණවලට මුළු රටවැසියෝම අනුකූල වෙන්න ඕනෑ. ඒවාගේම රටේ ජනතාව නියෝජනය කරන පාර්ලිමේන්තුවේ සිටින මහජන නියෝජිතයින් 225 ම ඇහුන්කන් දෙන්න ඕනෑ.

අතිගරු ජනාධිපතිතුමා ව්‍යවස්ථානුකූලව නීත්‍යානුකූලව ගනු ලැබූ තීරණ අභියෝගයට ලක් කිරීමට අධිකරණ ක්‍රියාමාර්ගයකට නොයා රටේ මහජන නියෝජිතයින්ට තිබුණේ එතුමා හමුවී මේ ගැන සාකච්ඡාකොට විසඳුම් සොයා ගැනීමයි. ඒ දේ ඉටුනොවුණ තැනයි පාර්ලිමේන්තුවේ ගැටුමකට ගියේ. කොහොම නමුත් පාර්ලිමේන්තුවේ ඇතිවූ නරක තත්ත්වය තුරන් කරන්න අතිගරු ජනාධිපතිතුමා පැහැදිලි තීරණයක් ගත්තා. ඒ තුළින් බොහෝම සාමකාමීව පාර්ලිමේන්තුව රැස්වුණා.

2015 ජනවරමෙන් පාර්ලිමේන්තුවට පත්වී ආ ජනතාවගේ කැමැත්ත අද වනවිට වෙනස් වෙලාද? නැද්ද? අපි විමසා බැලිය යුතුයි. ඒ අනුව වර්තමානයේ ඇතිවී ඇති අර්බුදයට හොඳම විසඳුම පාර්ලිමේන්තු මහ මැතිවරණයකට යෑමයි. ඒ අනුව තමයි අතිගරු ජනාධිපතිතුමා මේ කටයුත්තට තීරණය ගත්තේ. ඒ නිසා එයට හිස නමා රටේ ජනතාව හමුවට ගිහින් ඔවුන්ගේ කැමැත්ත ලබාගැනීම ජනතා නියෝජිතයින්ගේ උවමනාව විය යුතුයි.

මහජනතාවගේ වර්තමාන කැමැත්ත කුමන පාර්ශ්වයකටද? කියලා දැනගැනීමට ඉඩකඩ ලබාදීමට අතිගරු ජනාධිපතිතුමා ගත් තීන්දුව අභියෝගයට ලක්නොකොට, සාමකාමීව රැස්වී සාකච්ඡාකොට තීන්දු තීරණ ගත්තා නම් තමයි හොඳ. කෙසේ නමුත්! අතිගරු ජනාධිපතිතුමා සර්වපාර්ශ්වික සමුළුවක් කැඳවා ඉන් අනතුරුව රැස්වූ පාර්ලිමේන්තුවේ පෙරේදා සිදුවූ සිදුවීම කොතරම් වටිනවාද? මුළු රටම බලා සිටියා. පක්ෂ විපක්ෂ දේශපාලන මත දරන සියලුදෙනා එකට එක්ව සතුටින් කථා බහ කළා. එය ඉතාම වැදගත් සිදුවීමක්.


ගැටුම නිරාකරණය වීම යහපත්
- රජරට විශ්වවිද්‍ය­ාලයේ මානව ශාස්ත්‍ර
අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඉන්දික ඉහළගෙදර

රටේ පළමු පුරවැසියා ලෙසත් විධායකය ලෙසත් ජනාධිපතිතුමා සර්ව පාක්ෂික සමුඵවක් කැඳවීම ඉතාම කාලෝචිත වගේම රටට අවශ්‍යම ක්‍රියාමාර්ගයක්. මෙවැනි මොහොතක පුරවැසියන් ලෙස අප යම් සාධනීයත්වයකින් ක්‍රියා කළ යුතුයි. ඒ නිසා ජනාධිපතිතුමා සමුළුවේදී කළ ඉල්ලීම් සාධනීයයි. විධායක ජනපති මෙන්ම රටේ පළමු පුරවැසියා ලෙස ඔහුගේ ඉල්ලීමට ගරු කරලා පාර්ලිමේන්තුව යහපත් අයුරින් පවත්වාගෙන යාමට මහජන නියෝජිතයන් ක්‍රියා කිරීම ඉතාම වැදගත්.

පසුගිය දිනවල පැවැත්වුණ ආකාරයට පාර්ලිමේන්තුව තව දුරටත් ක්‍රියාත්මක වුණා නම් මිනිස්සු ඉදිරියේදී ඒ පැත්තවත් නොබලා ඉන්න ඉඩ තිබුණා. රටේ උත්තරීතර ආයතනය එම ව්‍යසනයෙන් ගලවා

ගැනීමට මහජන නියෝජිතයන්ගේ වගකීමක්. පාර්ලිමේන්තු සම්ප්‍රදායන් ආරක්ෂා කර ගනිමින් කටයුතු කිරීම සෑම මහජන නියෝජිතයකුගේම වගකීමක්.

විධායක ජනපති රටේම පුරවැසියන්ගේ නියෝජිතයා. සමස්ත ජනතාව වෙනුවෙන් සාධනීය ඉල්ලීමක් පාර්ලිමේන්තුවෙන් ඉල්ලන්න ජනාධිපතිවරයාට පුළුවන්.

කුමන ප්‍රශ්නයකදී වුවත් පළමුව ඇහුම්කන් දිය යුතුයි. විශේෂයෙන් රටට වැදගත් තීන්දු තීරණ ගැනෙන මෙවැනි සමුළුවකට සෑම පක්ෂයකම සහභාගිත්වය තිබිය යුතුයි. මේ මොහොතට පමණක් එය සීමා නොවිය යුතුයි. පාර්ලිමේන්තුවේ ස්ථාවරභාවය ඉතාම වැදගත්. පාර්ලිමේන්තුවේ පසුගියදා සිදු වූ දේවල් වැනි සිද්ධි අප රටට විතරක් බලපාන දේවල් නොවේ.

යුරෝපා, බටහිර රටවලත් මේ විදියේ දේවල් සිදුවෙනවා. නමුත් ඒ අය ආසියාතික රටවල දේවල් උළුප්පා දක්වනවා.

ඒ රටවල හැසිරීම ගැන කියමින් අපේ වැරදි සාධාරණීයකරණය කරන්න හෝ අනුමත කරන්න අපිට බෑ. ඒ වගේම මේ වගේ සාමාන්‍ය සිද්ධියකදී පවා අප වැනි රටවලට බටහිර ඇතුඵ විදෙස් රටවල බලපෑම වැඩියි.

පසුගියදා සර්ව පාක්ෂික සමුළුව හරහා ජනාධිපතිතුමා පක්ෂ නායකයන්ගෙන් වගේම සෑම පක්ෂයකින්ම, සෑම මන්ත්‍රීවරයකුගෙන්ම කළ ඉල්ලීමට යහපත් ප්‍රතිචාර ලැබුණු බව පෙනුණා. ඉදිරියේදි මෙයට වඩා සාධනීය බවක් තිබිය යුතුයි. විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය අතර ගැටුම් ඇති නොවිය යුතුයි. එසේ ගැටුම් ඇති වුවහොත් එය රටට අයහපත් ලෙස බලපානවා.


පාර්ලිමේන්තුවේ ගෞරවය රැකුණා
- පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති, මහාචාර්ය අතුල සේනාරත්න

දින කිහිපයක් පුරා පාර්ලිමේන්තුව තුළ පැවැති නොසන්සුන්කාරී තත්ත්වය සමනය කිරීම පිණිස ජනපතිවරයා විසින් සර්ව පාක්ෂික රැස්වීමක් කැඳවා කඩිනම් පියවර ගැනීම ප්‍රශංසනීයයිරටේ උත්තරීතර ස්ථානයේ ගෞරවය කෙළෙසෙන ආකාරයෙන් මහජන නියෝජිතයන් පාර්ලිමේන්තුවේ හැසිරුණ ආකාරය කිසිවකුටත් අනුමත කරන්න බැහැ. විශේෂයෙන්ම සඳහන් කළ යුත්තේ කතානායකවරයාගේ පක්ෂග්‍රාහි හැසිරීම් මෙම අර්බුදයට හේතුවූ බවයි. මවාගත් අර්බුදයක් පදනම් කර ගනිමින් පාර්ලිමේන්තුව තුළ ඇතිවූ තත්ත්වය ජනපති මැදිහත් නොවන්නට තවත් ඉදිරියට ඇදී යන ස්වභාවයක් දක්නට ලැබුණා. පාර්ලිමේන්තුව බහුතරය ඇත්නම් එය පෙන්විය යුතු නිවැරදි ක්‍රමයද ජනපතිවරයා සර්ව පාක්ෂික රැස්වීමේදී පෙන්වා දී තිබෙන බවත් එම කරුණු අනුව කටයුතු කළහොත් ඉදිරියේදී මේ ආකාර ප්‍රශ්නයක් මතු වීමට කිසිදු ඉඩක් නොමැති බවත් ඉතාම පැහැදිළියි. නැති අවුලක් ඇතිකර ජත්‍යන්තරයට එය පෙන්වා රට අර්බුදයකට පත් කිරීම සඳහා වන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බවත් අප මේ මොහොතේ අමතක කළ යුතු නැහැ. විධායක ජනපති ලෙස ජනපතිවරයා පක්ෂාග්‍රාහී නොවී ප්‍රශ්න විසඳා ගන්නා ආකාරය පෙන්වා දී තිබෙනවා. දැන් සියලු මහජන නියෝජිතයින්ගේ වගකීම වන්නේ උත්තරීතර පාර්ලිමේන්තුවේ ගෞරවය රැක ගැනීමයි.

 


ජනපතිගේ මඟපෙන්වීමෙන් ගැටලුව විසඳුණා
- කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය අජිත් දිසානායක

ජනතාවගේ නියෝජිතයින් ලෙස පාර්ලිමේන්තුවට පත්වී සිටින මැති ඇමැතිවරු 225 දෙනාටම රටටත්, ජනතාවටත් ගෞරවයක් අත්කරදෙන ලෙස පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතදීත් හැසිරිය යුතුයි. ඒ වගේම ජනාධිපතිතුමාගේ තීන්දු තීරණවලට ඇහුන්කම් දිය යුතුයි. ජනාධිපතිතුමා ගත් තීන්දුවක් අභියෝගයකට ලක්කොට කථානායකවරයා පාර්ලිමේන්තුවේ කටයුතු කරන්න උත්සාහ ගත්තා.

ඒ නිසා පාර්ලිමේන්තුවේ අශෝභන හැසිරීමක් පසුගියදා දක්නට ලැබුණා. මේ තත්ත්වය දිගින් දිගටම පැවැතියා නම් එය අපේ මාතෘ භූමියටත්, රටේ ජනතාවටත් හොඳ නැහැ. ජාත්‍යන්තරය අපේ රට ගැන මොනවාද සිතන්නේ.

ඒ නිසා තමයි ජනාධිපතිතුමා සර්ව පාර්ශ්වික සමුළුවක් කැඳවල පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරුන්ට මේ ප්‍රශ්නයට විසඳුම් සොයාගන්න ඉඩ හැරියේ. ඒ තීරණයට ගරු කරමින් පෙරේදා (19) ඉතාම හොඳින් ආදර්ශවත් අයුරින් පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවුණා.

සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසඳා ගන්න තිබෙන උත්තරීතර ආයතනය පාර්ලිමේන්තුව. එතන මැති ඇමැතිවරු ගහමරා ගන්නවා නම් රටේ ජනතාවට අපේ දරු දැරියන්ට අනාගතයේ කුමක් වෙයිද? තියන ප්‍රශ්නය අද අප හමුවේ තියෙනවා. ඒ නිසා ජනාධිපතිතුමා ඉතාම ඉවසිලිවන්තව දුරදිගබලා සර්ව පාර්ශ්වික හමුව කැඳවුවා. කථාවට ඇහුන්කම්දීලා සියලුදෙනා කටයුතු කළා. එය ඉතාම යහපත් තැනකට රට යන බව කියාපාන උදාහරණයක්.

යහපත් අයුරින් මේ ආකාරයට විසඳා ගැනීමට ඉඩකඩ තිබියදී ප්‍රශ්න ඇති කරන්නේ කවුද? අපි විමසා බැලිය යුතුයි. වර්තමාන කථානායකවරයා තමාට නැති බලයක් මවාගෙන වැඩ කරනවා. මේ අවස්ථාවේ කථානායකවරයා කළ යුත්තේ ජනමතයට ගරු කිරීමයි. ජනමතය යළි විමසා බලා තීන්දු තීරණ වෙත යෑම මිස රාජ්‍ය නායකයාගේ බලතල කටයුතු අභියෝගයට ලක්කොට ප්‍රශ්න ඇති කිරීම නොවෙයි. කථානායකවරයා කොයි ආකාරයෙන් කටයුතු කළත් ජනාධිපතිතුමා කටයුතු කළේ බොහොම ඉහළින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්නටයි.

 


පාර්ලිමේන්තුව ස්ථාවර කිරීම මන්ත්‍රීවරුන්ගේ වගකීමක්
- ශ්‍රී ලංකා තරුණ නීතිඥවරුන්ගේ සංගමයේ සභාපති නීතිඥ, ආචාර්ය කාංචන සිල්වා

පාර්ලිමේන්තුවේ පසුගිය දිනවලදී ඇති වූ සිද්ධීන් හා ගත් කල සර්වපාක්ෂික සමුළුව ඉතාම කාලෝචිත පියවරක්. ඒ වගේම එම සමුළුවෙන් පසු කැදවූ පාර්ලිමේන්තුව කටයුතු කළ ස්වරූපය පිළිබඳද අපට යම් සාධනීයත්වයක් දකින්න පුළුවන් වුණා. මෙහිදී අපට පෙනුණු කරුණක් වූයේ කථානායකවරයා නැතිව නියෝජ්‍ය කථානායකවරයා විසින් රැස් කළ පාර්ළිමේන්තුව වෙනදාට වඩා යහපත් අයුරින් පවත්වාගෙන යනු ලැබූ බවයි. පාර්ලිමේන්තුවේ සිදු වූ සිදුවීම්වලට වගකිව යුතු පුද්ගලයා කථානායකවරයා බව ඉන් පැහැදිලියි. ඒ වගේම ඔහු පක්ෂග්‍රාහීව කටයුතු කළා කියන එකත් පැහැදිලියි.

ජනාධිපතිතුමා සියලු පක්ෂවලට සමඟ මෙවැනි සමුළුවක් කැඳවීම ප්‍රජාතන්ත්‍රවාදී පියවරක්. සියලු දෙනාගේ අදහස් සඳහා මෙය හොඳ ප්‍රවේශයක්. ජනතා විමුක්ති පෙරමුණ හා කථානායකවරයා මේ සඳහා සහභාගි නොවීම ඉතාම නරක පූර්වාදර්ශයක්.

ජ.වි.පෙ. අද සම්පූර්ණයෙන්ම ක්‍රියා කරන්නේ ගැති ස්භාවයෙන්. ඒ වගේම පොදු හා බැරෑරුම් ප්‍රශ්නවලදී ඔවුන් මගහරිනවා; කරහරිනවා වගේම පලායනවා. ඔවුන්ගේ පෞද්ගලික දේශපාලන ව්‍යාපාරය ගැන මිසක් ප්‍රශ්න නිරාකරණය කිරීමකට උදව් වීමට ඔවුන් හිතන්නේ නැහැ. ඒ නිසයි ඔවුන් ඒවායින් මගහරින්නේ. ජ.වි.පෙ. හා කථානායකවරයා ඉදිරියේදී මෙවැනි අවස්ථා මඟ හරින්න නැතිව ඒවාට සහභාගි විය යුතුයි.

මේ මොහොතේ පාර්ලිමේන්තුව ස්ථාවරව ඉදිරියට ගෙන යාමට සෑම පක්ෂයක්ම, මන්ත්‍රීවරයකුම සහාය දිය යුතුයි. මේ මොහොතේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් විභාග වෙනවා. මෙම නඩුව අවසන් වන තෙක් පාර්ලිමේන්තුව රැස්කිරීම කිසිසේත් අනුමත කළ හැකි දෙයක් නොවේ. මෙම රැස් කිරීම තුළ කිසිදු යහපත් බවක් නැහැ. ජනාධිපතිතුමා සර්ව පාක්ෂික සමුළුව කැදවීමත් ඒ හරහා පාර්ලිමේන්තුව යහපත් ප්‍රවේශයකට ගැනීමත් ප්‍රසංශනීයයි. ඉදිරියේදී මේ සඳහා පටු අරමුණුවලින් තොරව සෑම පක්ෂයක්ම, මන්ත්‍රීවරයකුම ක්‍රියා කළ යුතුයි.


මැදුම් පිළිවෙතින් ගැටලුව විසඳුණා
- පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය මාලක රණතිලක

පාර්ලිමේන්තුවේ ඇතිවි තිබූ අවාසනාවන්ත තත්ත්වයට විසඳුම් සෙවීමට ජනාධිපතිවරයා විසින් ක්ෂණිකව නිසි ක්‍රියාමාර්ග ගැනීමෙන් හැකිවුණා. ඒනිසා එතුමාට මුළු රටේම ගෞරවය ලැබෙන්න ඕනෑ.

මොනයම් හෝ කරුණක්, සිදුවීමක් හේතුවෙන් රටේ ජනතාවගේ ගෞරවයට, අයිතියකට හානියක් සිදුවෙනවා නම්, එය වැළැක්වීමට රාජ්‍ය නායකයා වන ජනාධිපතිතුමා කටයුතු කළ යුතුයි. මේ වනවිට රටේ ඇතිවී තිබෙන දේශපාලන, ආර්ථික, සමාජයීය අර්බුද හේතුවෙන් ජනතාවට යම් පීඩාවක්, අසහනයක් ඇතිවී තිබෙනවා නම් එය සමනය කිරීමේ වගකීම මුලින්ම පැවැරෙන්නේ ජනාධිපතිතුමාටයි. ජනාධිපතිතුමා ඒ බව මනාව වටහාගෙන කටයුතු කිරීම සතුටට කරුණක්.

පසුගිය දිනවල පාර්ලිමේන්තුවේදී ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයෙන් ජනතාවගේ පරමාධිපත්‍ය බලයට අභියෝගයක් එල්ල වුණා. ජනතාවගේ වරමින් පාර්ලිමේන්තුවට පිවිසෙන අයම ජනතාවගේ ගෞරවය නැති කරන විදිහට ‍රටේ කීර්තිය විනාශ කරන තැනට කටයුතු කරනවා අපිත් ලෝක‍යත් දැක්කා.

මැති ඇමැතිවරු නරක විදිහට හැසිරීම වැළැක්වීමටත් ජනාධිපතිතුමා සර්ව පාර්ශ්වික සමුළුව කැඳවා තීන්දු තීරණ අරගෙන කටයුතු කළේ ජනතා පරමාධිපත්‍යය බලයට නිසි ගෞරවය ලබාදීම මහජන නියෝජිතයින්ගේ වගකීමයි. අද වනවිට පාර්ලිමේන්තුවේ මතුවී ඇති තත්ත්වයට පාර්ලිමේන්තුව නියෝජනය කරන වර්තමාන මැති ඇමැතිවරුන්ගේ කැමැත්ත මතම විසඳුම් සෙවීම අසීරුයි. එදාට වඩා ජන කැමැත්ත අද වෙනස් වී තිබෙනවා. ඒ නිසා මේ අවස්ථාවේ කළ යුතු ඥානාන්විතම කටයුත්ත ඉක්මනින් මහ මැතිවරණයකට ගොස් ජනතාවට කැමැති ආණ්ඩුවක් බලයට පත්කිරීමට ඉඩදීමයි. ඒවාගේ තිරසාර වැඩපිළිවෙළකට යන්න හැකිවන්නේ පාර්ලිමේන්තුව තුළ නියෝජනය කරන අය සාමකාමීව සාකච්ඡා මාර්ගයෙන් වැඩ කිරීමෙන් පමණයි.

දැන් ඒ දේ සිදුවී තිබෙනවා. අතිගරු ජනාධිපතිතුමා මේ අවස්ථාව උදාකරගන්න කටයුතු කළේ බෞද්ධ දර්ශනයට අනුවයි. එතුමා බොහෝම පැහැදිලිව මැද මාවතේ සිට ප්‍රශ්නයට විසඳුම් සෙව්වා. බෞද්ධ හර පද්ධතිය ඉගෙනීමෙන් ඒ තුළින් එතුමා ලද ආභාෂය. දැනුම මේවාගේ කටයුතු කිරීමට එතුමාට පන්නරය ලැබිලා තියෙනවා. ඒ නිසා තමයි එතුමා සියලු දේශපාලන පක්ෂවලින්, නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමට දායකත්වය ලබාදෙන්න කියලා.

නව අදහස දක්වන්න