යථාර්ථය විනිවිඳින අපූරු කතාවක් අස්තංගත | දිනමිණ

යථාර්ථය විනිවිඳින අපූරු කතාවක් අස්තංගත

සාහිත්‍ය කෘතියක රසාස්වාදනය මතුපිටින් පැවසෙන කතා ලතාව, භාෂා ව්‍යවහාරය, කුතුහලය හෝ රස ජනනය කරන විස්මය, හාස්‍යය වැනි නව රස ලැයිස්තුවට පමණක්, සීමා නොවන බව කිව යුතු නැත. බොහෝ නවකතා කතාන්දරයක් පමණක් වන්නේ, ප්‍රස්තුතයට සීමා වූ කථනයක් පමණක් ඇති නිසා ය.

කර්තෘ - ජයරත්න වීරක්කොඩි
ප්‍රකාශනය - සරසවි ප්‍රකාශන

'අස්තංගත' යනු, ජයරත්න වීරක්කොඩි විසින් රචිත අපූර්ව නවකතාවකි. මේ නවකතාවේ තේමාව ලෙස ඔහු යොදාගෙන ඇත්තේ, වර්තමාන සමාජ, සංස්කෘතික, ආර්ථික, පරිසරය තුළ විපරීත කළ ගැහැනු සහ මිනිසුන්ගේ ජීවිත පිළිබඳ ය. ඔවුන්ගේ ජීවිත ඉබාගාතේ යවමින්, අස්ථාවර කර, නොසන්සිඳුණු අපේක්ෂා රැල්ලක මංමුලා කර ඇති ශෝචනීය කතාන්දරය ද මේ තුළ අන්තර්ගතව ඇත. වත්මන් සමාජය මුහුණදෙන බරපතළ ඛේදවාචකයක් මේ කෘතිය මඟින් ඉදිරිපත් කිරීමට කතුවරයා උත්සුක වී තිබේ. කෙසේ නමුදු මෙය, සංවේදී පාඨකයා කම්පනයට පත් කරන කතා වස්තුවක් බව නම් කිවමනා ය.

මෙහි ප්‍රධාන චරිත දෙක වන සෝමදාස හා කුමුදිනී නම් ගුරු යුවළ, සිය ස්වාධීනත්වය වෙනුවෙන් ජීවන සටනට මුහුණ දීමට උඩු ගං බලා පිහිනීමට තැත් කරයි. එහෙත්, ඔවුන්ගේ ව්‍යායාමය, ඵල රහිත ය. දේශපාලන, නව සමාජ ආකල්ප හා ක්‍රියාකාරකම් නිසා නිවහල් දිවි පැවැත්ම, ඛේදජනක අවසානයක් කරා ඇදගෙන ගොස්, අවසානයේ දී තම දෑස් මෙන් සුරක්ෂා කළ දරුවන් ද අහිමි වීමේ ඉරණමකට ලක් වේ.

මේ නවකතාව තුළ, යථාර්ථය විනිවිද යාමට කතුවරයා විවිධ ශිල්පීය මෙවලම් භාවිත කරයි. ඒ සඳහා, රාමුවෙන් පිට පැන, අතුරු මාවත්වල ද ගමන් කරයි. ප්‍රබන්ධ කතාවක ශිල්පීය ලක්ෂණ අතර, කතා වස්තුව, චරිත හා පසුබිම් නිරූපණය, ආකෘතිය, භාෂාව, ශෛලිය, උත්ප්‍රාසය මතු කිරීම, තේමාව හා සංකේත භාවිතය යන අංග මූලික වේ. මේ ශිල්පීය මෙවලම් භාවිතය, ලේඛකයාගේ පරිචය අනුව දක්ෂ ලෙස යොදා ගැනීම, ලේඛනයේ සාර්ථකත්වයට හේතුවී ඇති බව කිව යුතු ය.

වෙනස් වන සමාජ ක්‍රියාකාරකම් නිසා, සෝමදාස හා කුමුදිනී ගේ ජීවිත ආඛ්‍යානය දෝලනය වන අයුරුත්, සාධාරණ දිවි පැවැත්ම වසා පැතිර යන මානසික අසමතුලිතතාව නිසා ඇතිවන අවිනිශ්චිත අනාගත සැක සංකාවත්, ඔවුන්ගේ ජීවිත හැළහැප්පීමට ලක් වීමත් මේ කෘතිය තුළ විද්‍යමාන වන ලක්ෂණයකි. සෝමදාසත්, කුමුදිනීත් සේවයෙන් විශ්‍රාම ගන්නේ, පාළුවට ගිය කුටුම්බයක සිරකරුවන් දෙදෙනෙක් ලෙස ය. ඔවුන්ගේ තනියට ඉතිරි වන්නේ, ඩෙක්ස්ට නම් සුරතල් බල්ලා පමණි.

මේ නවකතාව තුළ, සෝමදාසගේ ජීවන කතාව ප්‍රථම පුරුෂ ආඛ්‍යානයෙන් ලියැවේ. කතාවේ අවසාන භාගය නිම කරන්නේ, කුමුදිනී ය. ඒ, උත්තම පුරුෂ ආඛ්‍යානයෙන් ය. භාෂා ව්‍යවහාරය, යෙදුම් හා ශෛලීය අතින් ද එය මුල් කොටසට වඩා වෙනස් ස්වරූපයක් ගන්නා බැවින්, පාඨකයා තුළ අලුත් උද්දීපනයක් ඇති කර, කියැවීමේ රුචිය අලුත් කරයි.

අවංක සේවයක් කිරීමේ චේතනාවෙන් කටයුතු කරන ගුරු යුවළ , විවිධ ගැටලුවලට මුහුණ දෙන්නේ, පවතින ජුගුප්සාජනක දේශපාලන හා සමාජ ක්‍රියාකාරකම්වලට හිස නොනමන නිසා ය. අවසානයේ එය දේශපාලකයන්ගේ මැදිහත් වීම දක්වා දුරදිග යාම නිසා, නිරන්තර ස්ථාන මාරුවීම් හා හිරිහැරවලට පාත්‍ර වේ. තමන්ගේ හිත සුව පිණිස සිය ප්‍රතිපත්ති පාවා නොදෙන ගුරු යුවළ, සිය ස්ථාවරය රැක ගැනීමට සමත් වුවත්, පවුල් ඒකකයේ බිඳ වැටීම වළක්වා ගැනීමට සමත් නොවේ. නිරන්තර ස්ථාන මාරු නිසා, ළමයින්ගේ අධ්‍යාපන කටයුතු අවුල් වේ. ඊට පිළියමක් ලෙස, දරුවන් තමා ජීවත් වන පරිසරයෙන් බො‍හෝ ඈත නගරවල පාසල්වලට යොමු කරයි. නිතර අවධානයෙන් ළමයින්ගේ කටයුතු සොයා බැලීමට අපොහොසත් වීමේ ප්‍රතිඵලය වන්නේ, දරුවන්ගේ ඉගෙනීමේ කටයුතු දුර්වල වීමත්, තමන් පිළිකුලෙන් බැහැර කරන සමාජ ආකල්ප හා අගැයීම් වැළඳ ගැනීම නිසා, නොමඟට යාමත් ය.

මූලික කතා රාමුව තුළ සැරිසරන සමාජ පරිසරයේ අංශ ගණනාවක් දැකිය හැකි ය.

1. ස්වභාවික පරිසරයේ වෙනස් වීම හා මිනිසුන්ගේ ජීවන රටාවේ වෙනස් වීම.

2. උතුරේ යුද්ධය හා දකුණේ කැරැල්ල නිසා, පවුල් සංස්ථාව දෙදරා යාම. තරුණයන් යුද්ධයට හා කැරළිවලට මැදිහත් වීමෙන් අසරණ වූ පවුල්

3. විදේශ රැකියා සඳහා කාන්තාවන් යොමු වීම නිසා, කරදරයට හා හිරිහැරයට පත්වූ ළමයින් හා වැඩිහිටියන්ගේ දුක්බර තත්ත්වය හා බිඳවැටුණ පවුල් සංස්ථාව.

4. බාහිරින් කඩාවැදුණු නිර්ආගමික, සමලිංගික, සංස්කෘතික ආකල්ප වැනි තත්ත්වවලට ‍ගොදුරු වන තරුණ කොටස්

5. දෝලනය වන දේශපාලන, ආර්ථික ව්‍යාකූලත්වය තුළ, පීඩාවට පත් වන තරුණ තරුණියන්ගේ ගැටලු.

න්‍යෂ්ටික පවුල් සංස්ථාව සොලවා කඩා බිඳ දැමීමට පාදක වන මේ තත්ත්වයට, සෝමදාසගේ කුටුම්බය ද ගොදුරු වන ආකාරයත්, අවසානයේදී එම වැඩිහිටියන් මෙන් ම, පරපුර ද අයාලේ යන අයුරුත් කතාව පුරා චිත්‍රණය කරන්නේ, මූලික කතා තේමාවට එහි බලපෑම කාන්දු වන සියුම් සිද්ධි මාලාවක් ඇසුරින් ය.

සිදුවෙමින් පවතින සමාජ විපර්යාසය ගැන සංවේදී ඇසකින් නිරීක්ෂණය කරන සෝමදාසත්, කුමුදිනීත්, තමන් ද ඊට ගොදුරු වන බව වටහා ගන්නේ, සිය දරුවන්ගේ ආකල්ප හා චර්යා මඟිනි.

තමාට, ජීවිතයේ සන්ධ්‍යා භාගයේ දී මුහුණ දීමට සිදු වූ අසරණ භාවය කිසිදා තමන් වෙත ළඟා නොවනු ඇතැයි කුමුදිනී සිතූ නමුත්, සැමියා ද අහිමිව තනිවන කුමුදිනී, තමාගේ අපේක්ෂා කොතරම් බොළඳ ව්‍යාජයක්දැයි උපේක්ෂාවෙන් බාර ගැනීමට වෑයම් කරයි.නවකතාකරුවා සිය පාත්‍ර චරිත ගොඩනඟන්නේ, වෙනස් වන සමාජ පසුතලයේ සිදුවන විචල්‍යතාවල බලපෑම, දර්පන තලයකින් ප්‍රතිබිම්බනය කරන්නා සේ ය. ලොකු පුතා, ඉන්දීවරගේ ආකල්ප සෝමදාසටත්, කුමුදුනීටත් ඉවසා දරාගත නොහැකි අපභ්‍රංශ ය. සියලු සංස්කෘතික බැමි කඩා බිඳ දමන ඔහුට, ඉතිහාසය ගෝත්‍රවාදී කාමයකි. විවාහය, ආගම, පලක් නැති මිථ්‍යාවකි. රුවන්වැලි සෑය ඒකාධිපතියකු, මහජන ශ්‍රමය සූරා කා ගොඩනැඟූ ‍ගඩොල් කන්දකි. සුදු ජාතික කාන්තාවක් හා එකට ජීවත් වන ඔහුට , මාපියන් ගෝත්‍රවාදී ළිං මැඬියන් ය.

සෝමදාසට, ඉන්දීවර මෙන් ම, සංජීව ද තමාගෙන් පැහැරගත් සෙයක් දැනේ. එසේ ම, සිය ජීවිතය ගැඹුරු හුදෙකලාවක පාවෙන බවක් දැනේ. විශ්‍රාම ජීවිතය, ජීවන ආශාව සිඳී බිඳී ගොස් ශේෂ වූ රොඩ්ඩක් මෙනි. සමාජයෙන් මෙන් ම, සිය කුටුම්බයේ ද තනිව අතරමං වීම, සියල්ල වෙනස් වීමෙන් ජනිත ඵලයකි. පාසල් දිවිය කඩාකප්පල් කර ගන්නා සංජීව, කුමුදිනීට වද කර, තුන්රෝද රථයක් ගෙන, තුන්රෝද සමාජයට වැටේ. වෙළෙඳ සේවිකාවක් හා ජීවත් වන සංජීව, තමාට අඩු සැළකිලි දැක්වූයේ යැයි මාපියන්ට අවලාද කරයි. නයනී දුව මාපියන් කෙරෙහි දක්වන ළෙංගතුකම, ඔවුන්ට සහනයකි. සිය ජීවිතය විඳවන කටුවක් වන් සංජීව, අවසානයේ ගෙදර පැමිණ තනි වූ මව රවටා, වැඩිහිටි නිවෙසකට ගෙන යාමෙන් කතාව අවසන් වේ.

වැඩිහිටියන් හා දරුවන් මුහුණ දෙන හුදෙකලාව සහ පීඩාව, සමාජ ජීවන රටාව හා ආකල්පත්, පරිභෝජනය මූලික ආර්ථික තරගයත් නිසා, වඩ වඩාත් ගැඹුරු ඉසව්වකට ඇදගෙන යයි. අනාගතය හා දරුවන් වෙනුවෙන් ජීවිත කාලය තුළ අත්පත් කර ගැනීමට වෙහෙසෙන සම්පත්වලින්, ප්‍රයෝජනයක් නැත.

"ඔව්... ඒ විතරක් නොවේ. අපේ ළමයි නන්නත්තාර වෙලා. අපේ සමාජ පදනමත් දෙදරලා. අපි ආශ්‍රය කරපු මිනිස්සුත් දැන් නෑ. ගමට ආවට පස්සේ ගමේ මිනිස්සු එක්ක පෑහෙන්ටත් ලේසි නෑ." (පිටුව. 37)

කුමුදිනී සියලු දුක් දොම්නස් විඳ දරා ගනිමින්, පවුලේ සංහිඳියාව ‍ගොඩනඟා ගැනීමට වෑයම් කරන්නේ, උපේක්ෂාසහගත මනසින් යුතුව ය. සෝමදාස ගේ සිත සුවපත් කිරීමට වෙහෙසෙන ඇය, අභියෝගවලට මුහුණ දෙන්නේ, පවතින යථාර්ථය ගැන මනා අවබෝධයකින් ය.

නවකතාවේ ආකෘතිය හා ආඛ්‍යාන රටාව, නන් රටා හා පැහැයෙන් විචිත්‍ර ගැන්වීමට කතුවරයා සමත් වී ඇත. සෝමදාසලා ජීවත් වූ විවිධ සමාජ තලවලට ආවේණික බස් වහර මෙන් ම, පරිසර සංසිද්ධි ද මැනවින් යොදා ගැනීමට, ඔහු සමත් වේ.

"සරසවි භූමිය නිසල බොඳ සිතුවමක් මෙන් ඈතට දිස් වූයේ, වෙනදා දැකිය හැකි සක්‍රීය රංචු ගැසීම්, තුරුලතා ගොමු, මාවත් අතර වෑහෙන ඉඟි බිඟි, මන්දස්මිත, ගුමු ගුමු හෝ කැකිරි හිනා මල් හන්තානට උඩින් පියාඹා ගොස් ඇති නිසා යයි සෝමදාසට සිතේ..." (පිටුව. 77)

සාහිත්‍ය කෘතියක රසාස්වාදනය මතුපිටින් පැවසෙන කතා ලතාව, භාෂා ව්‍යවහාරය, කුතුහලය හෝ රස ජනනය කරන විස්මය, හාස්‍යය වැනි නව රස ලැයිස්තුවට පමණක්, සීමා නොවන බව කිව යුතු නැත. බොහෝ නවකතා කතාන්දරයක් පමණක් වන්නේ, ප්‍රස්තුතයට සීමා වූ කථනයක් පමණක් ඇති නිසා ය. එහි අමුතුවෙන් සිතන්නට, හාරා අවුස්සා බලන්නට දෙයක් නැත. චරිත හැසිරෙන්නේ කෙබඳු වටපිටාවක ද, ඔවුන්ගේ සිතුම් පැතුම්, ක්‍රියාකාරකම් මෙහෙයවීමට, ජීවන වටපිටාව කෙසේ දායක වන්නේ ද යන්න පැහැදිලි නැත.

'අස්තංගත' කතාව පුරාම මේ පරිසර සංසිද්ධි සැඟැවෙමින්, ඉපිලෙමින්, කතා චමත්කාරය හා චරිත උද්දීපනය කිරීමට ශූර ලෙස යොදා ගැනීමට කතුවරයා සමත් වේ.

'බාල මහත්තයා වලාකුළුවලට වහන් වූ ඉර වගේ. සුගුණඑතනාගෙ හිතත්, හදවතත් රිදී ඇල්ලෙ කඳුරට වැටිලා කොහාටද ගහගෙන ගිහින්. සෝමදාස කන්දෙ වංගුවෙන් මුවාවෙන හැටි සුගුණ එතනාත් බාල මහත්තයාත් බලා සිටියේ, දෑස් කඳුළින් තෙත් කරගෙන ය." (පිටුව. 140)

සිද්ධි නිරූපණයේ දී වාක්‍ය රටාව යටි අරුත් සහිත අලංකාර යෙදීම, සුවිශේෂ අවස්ථාවලදී නිතර දැකිය හැකි අලංකාරෝක්තියකි.

"කුමුදිනීගේ නිරාවරණ අත් ගොබයට මී මැස්සෙක් විද්දේ විදුලි වේගයෙන්. ඇයට කිසිදා නොදැනුණු සුවයක් රිදුම වසාගෙන දැනුණි. මුහුණින් නැඟුණ සිනා රැල්ල, සෝමදාස වටා කැරකෙමින් ඔච්චම් කරයි. ඇය වේදනාවෙන් ඇඹරෙනු ඇතැයි සෝමදාස සිතූ නමුත්, එය එසේ නොවී ය." (පිටුව. 160)

ඕනෑම තරාතිරමක පාඨකයන්ට හිරිකිතයෙන් තොරව කියැවිය හැකි සේ රචනා කර ඇති මේ නවකතාව, අඹු සැමි සබඳතා, ආදරය, ප්‍රේමය හා රාගය ආශ්‍රිත පැතිකඩ දැඩි සංයමයෙන් යුතුව ගෙනහැර දක්වන්නේ, විචිත්‍ර බස් වහර, සංකේත හා රූපණ අලංකාර සහිතව ය.

"මාව කවදාවත් දැක්කෙ නැති කෙනෙක් වගේ මං දිහා බලාන මොනවද හොයන්නේ" කුමුදිනීගේ දෙනෙත්වල නටන කළු බෝල දිළිසේ.

"මං බලන්නේ ඔය නින්නාද වෙන හීන් කූජනය තියෙන්නෙ කොහෙද කියලා" (පිටුව. 177)

ළිපේ ගිනි දලු කේතලය වටා උඩට නගින්නේ, එකිනෙක පැටලී වෙළාගෙන ය. තද කහ මිශ්‍ර රතු ගිනි දළු සිහින් නිල් පැහැයක් ගෙන සැළෙණ හී තුඩු මෙන් දඟකාර වෙන දෙස සෝමදාසත් කුමුදිනී‍ත් බලන්නේ, ‍සිත උණුසුම් කරන මඳ සිනාවෙන් යුතුව ය." (පිටුව. 210)

කෘතිය කියවාගෙන යනවිට, ඇතැම් ස්ථානවලදී කතා වස්තුව ගොඩනැඟීමේ කිසියම් විචල්‍යතාවක් කතුවරයාට තිබුණු බව දැකිය හැකි ය. සිද්ධි ගැළපීම හා සිද්ධිවල අනුක්‍රමය පිළිබඳ ගැටලු දැකිය හැක්කේ, අවශ්‍ය ප්‍රමාණයට වඩා පසුබිම් නිර්මාණයට කතුවරයා වැඩි ඉඩක් වෙන් කිරීම නිසා ය. මේ දුර්වලතාව නිසා, ඊ ළඟට සිදු වන්නේ කුමක් ද ? යන කුහුල පාඨකයා තුළ ජනිත වන්නේ, මඳ වශයෙනි. එසේ ම, අවස්ථා හා සිද්ධි නිරූපණය ප්‍රමාණවත් නොවන ස්ථාන ද දැකිය හැකි ය. බුදු බණ විකෘති කිරීම, බුද්ධි ගලනය, පුංචි පවුල් සංකල්පය වැනි පසුබිම් තොරතුරු චරිත හා බැඳෙන ආකාරය තව ශක්තිමත් වූවා නම්, කතාවේ සංයුතිය වඩා නිරවුල් වීමට හේතු වේ.කෙසේ වෙතත්, වර්තමාන සමාජ ව්‍යුහය වසාගෙන ඇති ශෝකාන්තය හා ඊට තුඩු දුන් හේතු සාධක පිළිබඳ අපූරු වියමනක් ලෙස, 'අස්තංගත' හැඳින්වීමට පුළුවනි.

පාසල් දරුවන් ඇතුළු විවිධ පරාසයක පාඨකයන්ට එක සේ රසවිඳිය හැකි 'අස්තංගත', ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය මඟින්, පුස්තකාල සඳහා නිර්දේශිත ග්‍රන්ථයකි.

ජනිත් ජයසිරි

නව අදහස දක්වන්න