අප්‍ර­සන්න ආහාර කෞතු­කා­ගා­රය DISGUSTING FOOD MUSEUM | දිනමිණ

අප්‍ර­සන්න ආහාර කෞතු­කා­ගා­රය DISGUSTING FOOD MUSEUM

කවිදු වීරරත්න

දූරියන් වාරය කියන්නෙ සමහරුන්ට ඉහේ මල් පිපෙන කාලයක් වන අතර දූරියන් සුවඳට ප්‍රිය නොකරන අයට නම් දූරියන් යැයි කියූ සැනින් හට ගන්නේ අප්‍රසන්න හැඟීමක්. එක් අයකු ඉතාමත් ප්‍රිය කරනා ආහාරයක් තවත් කෙනකුට අප්‍රිය වන්නේ අපි සියලු දෙනාගේම සිතුම් පැතුම් හා රසවින්දනයන් එකිනෙකට වෙනස් නිසායි.

මෙම සරල කරුණ තේමා කරගනිමින් පසුගියදා ස්වීඩනයේ මැල්මෝ නගරයේදී හරිම අපූරු කෞතුකාගාරයක් විවෘත කෙරුණා. ඒ තමයි ‘අප්‍රසන්න ආහාර කෞතුකාගාරය’ හෙවත් ඩිස්ගස්ටින් ෆුඩ් මියුසියම් (Disgusting Food Museum).

සාමාන්‍යයෙන් ආහාර කෞතුකාගාර වලට මිනිසුන් පැමිණෙන්නේ එහි තිබෙන ආහාර නරඹමින්, ඡායාරූප ගනිමින් එම ස්ථානය රස විඳීමටයි. නමුත් මෙම කෞතුකාගාරයට පැමිණෙන්නන් හට තම ජීවිතය වෙනස් කරගත හැකි අන්දමේ අත්දැකීමක් ලබාගත හැකි බවයි මෙහි නිර්මාතෘවරයා වන වෛද්‍ය සැමුවෙල් පවසන්නේ.

වෛද්‍ය සැමුවල් වෙස්ට් වෘත්තියෙන් මනෝ වෛද්‍යවරයකු වන අතර ඔහුගේ විවේක කාලය ඔහු වැය කරන්නේ කෞතුකාගාර නිර්මාණය කිරීමටයි. ‘අසමත්වීම්’ පිළිබඳව කෞතුකාගාරයක් (Museum of Failure) ඔහු නිර්මාණය කර තිබෙන අතර මෙම අප්‍රසන්න ආහාර කෞතුකාගාරය ඔහුගේ දෙවැනි හා වඩාත්ම ප්‍රසිද්ධ නිර්මාණය වනවා.

ඇතුළු වීමේ ප්‍රවේශ පත්‍රය ලෙසින් ඔබට ලැබෙන්නේ වමනය දැමීම සඳහා සැකසූ මුද්‍රණය කරන ලද බෑගයකි. මෙයට හේතුව වර්ග මීටර 400ක පැතිරී තිබෙන මෙම කෞතුකාගාරයේ තිබෙනා කෞතුක වස්තූන් ස්පර්ශ කර හා ආඝ්‍රාණය කර රස විඳීමට නරඹන්න හට අවස්ථාව හිමිවීමයි. ‘අප්‍රසන්න’ යන වචනය විවිධ ජන කොට්ඨාසවලට හැඟෙන්නේ වෙනස් අයුරින් බව නරඹන්නට වටහා දීම තමයි මෙහි නිර්මාතෘවරයාගේ ප්‍රධාන අරමුණ වන්නේ.

එය සනාථ වන්නේ සෑම ඕස්ට්‍රේලියානුවෙක්ම ආදරය කරන ‘වෙජිමයිට්’ (මාමයිට් හි ඕස්ට්‍රේලියානු සොහොයුරිය) මෙම කෞතුකාගාරයේ තිබීමයි.

වෙජිමයිට් මෙම කෞතුකාගාරයට ඇතුළු වී තිබෙන්නේ, ඕස්ට්‍රේලියානුවන් වෙජිමයිට් ප්‍රියකළත් ලෝකයේ බොහොමයක් රටවල වෙසෙන්නන් වෙජිමයිට්වලට අප්‍රසාදය පළකරන නිසායි.

වවුලන් සමඟ සෑදූ සුප්, මිරිසට සෑදූ හාවුන්ගේ ඔළු, මී පැටවුන් දැමූ චීන වයින්, පණුවන් සිටින චීස්, චීන ගවයකුගේ පුරුෂ ලිංගයක්, පැසවා කල් තබාගත් හුරුල්ලන් හා බැදපු මීයන් වැනි අප මෙතෙක් අසා නොතිබූ අප්‍රසන්න ආහාර මෙහි දක්නට ලැබෙනවා. නමුත් මෙම ආහාර සියල්ලම ලෝකයේ කොහේ හෝ රටක වැසියන් තලු මරමින් රසවිඳින ආහාර බවත් අමතක කරන්න එපා.

සියලුම ආහාර අතරින් අප්‍රසන්නම ආහාරය ලෙස සැලකෙන්නේ අයිස්ලන්තයේ පැසවා කල් තබා ගැනුණු මෝරකු බව සියලු දෙනාම පවසන්නේ එහි තිබෙන අධික දුර්ගන්ධය නිසායි.

මෙවැනි විපරීත ආහාරවලට අමතරව දූරියන්, ජෙලි සලාද, රූට් බියර් හා අශ්ව කිරි වැනි ආහාරත් මෙහි තිබෙනවා. මෙම කෞතුකාගාරයේ තිබෙනා සියලුම ආහාරවල ලැයිස්තුවක් පවසා නොමැති නිසා ශ්‍රී ලාංකේය අපි කවුරුත් හඳුනන ජාඩි මෙහි තිබෙනවාද කියා සඳහන් කරන්නට බෑ.

මෙහි නිර්මාතෘවරයාගේ මීළඟ අදහස වන්නේ මෙම කෞතුකාගාරය ජංගම කෞතුකාගාරයක් කර එයත් සමඟ රටින් රට සංචාරය කිරීමටයි. මෙමගින් විවිධ ආහාර රස බැලීමට මෙන්ම සියලු දෙනාටම මින් පෙර දැක නොතිබූ අප්‍රසන්න යැයි සිතා සිටි ආහාරයක් තමන්ගේ ප්‍රියතම ආහාරයක් කර ගැනීමට පවා පුළුවන්.

 

 

නව අදහස දක්වන්න