අපි ඉල්ලන්නේ මහ මැතිවරණයක් | දිනමිණ


 

අපි ඉල්ලන්නේ මහ මැතිවරණයක්

රෝෂන් තුෂාර
රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත

අගමැතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව පාර්ලිමේන්තුවේ කණ්ඩායමක් ගෙන යන සටනට හේතුව සහ ඊට මුහුණ දෙන ආකාරය. විශ්වාසභංග යෝජනාවේ අරමුණ, අනාගතය සහ නීත්‍යානුකූලභාවය, ආදී කරුණු පිළිබඳ අවධානය යොමුකරමින් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැති හමුවට එක්වෙයි.

* අතුරු තහනම මැද මැතිසබය කැඳවීම ගැටලු සහගතයි
* බහුතර ප්‍රශ්නය අගමැතිට අදාළ නෑ
* විශ්වාසභංගය නීතිය සම්ප්‍රදාය දෙකටම විරුද්ධයි
* රට අස්ථාවර කරන කුමන්ත්‍රණයක් තියෙනවා
* යූ.එන්.පී.ය අරගල කරන්නෙ ව්‍යවස්ථා මගඩියකට

 පසුගිය දින කීපය තිස්සේ රට තුළ දේශපාලන අර්බුදයක් නිර්මාණය වෙලා තිබුණා කීවොත් ඔබ පිළිගන්නවද?

පසුගිය ඔක්තෝම්බර් 26 වන විට රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩු කරන්න අරන් අවුරුදු තුනහමාරක් ගතවුණා. මේ කාලය තුළ වික්‍රමසිංහ ආණ්ඩුව රට කළේ කොහොමද කියල ජනාධිපතිතුමා ජාතිය අමතා කළ කතාවේදී පැහැදිලි කළා. වසර තුනහමාර තුළ එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අතර ප්‍රතිපත්තිමය නොගැළපීම් තිබුණා. ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් හෙළිදරව් වෙනවා. රටට අහිතකර එකඟවෙන්න බැරි වෙළෙඳ ගිවිසුම්, ජාතික දේපළ කුණු කොල්ලයට විජාතිකයින්ට විකිණීම්, ජනතාවට අහිතකර බදු ප්‍රතිපත්ති මහබැංකු මංකොල්ලය හරහා ජාතික ධනය සොරාකෑම, රැකියා විරහිතභාවය, මේ සියල්ල ගැන සිතා ජනාධිපතිතුමා තවදුරටත් ඉදිරියට යන්න බෑ කියලා තීරණය කරල නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වුණා.

ඒ අනුව 2015 සැප්තැම්බර් 03 දින යෝජනා සම්මතයෙන් සිදුවූ ජාතික ආණ්ඩුව විසිරගොස් නව ආණ්ඩුවක් ඇතිවෙනවා. බලය අහිමි වූ පිරිසක් අනියමින් ආණ්ඩු කරන්න වෙර දැරීම නිසා ඇතිවූ අර්බුදයක් මිස රාජ්‍ය පාලනයේ අර්බුදයක් නෑ.

ජනාධිපතිතුමා විසින් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාව ධුරයෙන් ඉවත්කිරීම, මහින්ද රාජපක්ෂ මහතා එම ධුරයට පත්කිරීම, නීත්‍යානුකූලද ව්‍යවස්ථානුකූලද? අර්බුදය එතැන බවයි එක්සත් ජාතික පක්ෂය පවසන්නේ?

එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය මේ වන විට මහින්ද රාජපක්ෂ මහතාගේ පත්වීම නීත්‍යානුකූලයි කියලා පිළිගෙන හමාරයි. ජනාධිපතිතුමා සිය බලතල ප්‍රකාරව ව්‍යවස්ථානුකූලව අගමැතිතුමා පත්කළා. ව්‍යවස්ථාවේ 48 වගන්තිය අනුව එම බලය ලැබෙනවා. එක්සත් ජාතික පක්ෂය පසුගිය 14 වෙනිදා සුමන්තිරන් මහතාගේ ආධාරයෙන් ජනතා විමුක්ති පෙරමුණ, අනුර කුමාර මහතාගේ යෝජනාවෙන් විශ්වාසභංගයක් ඉදිරිපත් කළා. එම යෝජනාවේ පළමු කොටසේ තිබුණේ, ජනාධිපතිතුමාගේ මෙම පත් කිරීමේ ගැසට් නිවේදනය නීත්‍යානුකූල නෑ කියලා. දෙවැනි දිනයේත් ඔවුන් මේ යෝජනාව ඉදිරිපත් කළා. නමුත් පළමු දින ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවේ පළමු කොටස ඒ කියන්නේ ගැසට් නිවේදන නීත්‍යානුකූල නෑ කියලා සඳහන් කොටස ඉවත් කරලයි ඒ යෝජනාව ඉදිරිපත් කළේ. ඒ අනුව පත් කිරීම් නීත්‍යානුකූලයි, ව්‍යවස්ථානුකූලයි කියලා ඔවුන් පිළිගත්තා. අනුර කුමාර මහතා ඉදිරිපත් කළ යෝනාවේ පළමු කොටස නැත්නම් දෙවැනි කොටසක් පවතින්න බෑ. ඒ නිසා විශ්වාස භංගයක් නීත්‍යානුකූලව සම්ප්‍රදායානුකූලව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී නෑ.

කෙසේ වෙතත් ආණ්ඩුවට බහුතරය නෑ කියන තැන එජාපයත්, එම පෙරමුණේ පක්ෂත් ඉන්නවා නේද?

අගමැතිවරයා පත් කිරීමේදී බහුතරය පිළිබඳ ප්‍රශ්නයක් උද්ගත වන්නේ නෑ. ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය දිනා ගන්නවා යැයි සිතන මන්ත්‍රීවරයා පත්කිරීම ව්‍යවස්ථානුකූලයි. 2015 ජනවාරි 09 දා රනිල් වික්‍රමසිංහ මහතාට තිබුණේ ආසන 42 යි. අනෙක් පැත්තට 142ක් තිබුණා. එදා මෙය අභියෝගයට ලක් නොකළ නිසා මහ බැංකු මංකොල්ලය සිදුවුණා. එවැනි ක්‍රියා තවදුරටත් සිදුවෙන්න ඉඩනොතබා ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව වාර අවසාන කළා. එහෙත් රටේ බහුතරයක් ජනතාව ඡන්දයක් ඉල්ලා සිටිය නිසා ජනාධිපතිතුමා ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරියා.

නොවැම්බර් 09 දා ජනාධිපතිතුමා නිකුත් කළ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් පත්‍රය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්වුණා.?

ජනතා පරමාධිපත්‍ය උරගා බලන්න එපා, ඡන්දයක් එපා කියලා එජාපය විසින් අභියෝගයන්ට ලක්කර පෙත්සම් 13ක් දැම්මා. ඇයි ඡන්දෙට බය. නමුත් අවසන් තීන්දුවක් අධිකරණය දීලා නෑ. දීල තියෙන්නේ අත්හිටුවීමේ අතුරු නියෝගයක් එහෙම තියෙද්දී පාර්ලිමේන්තුවේ අද සිදුකරන දේ පිළිබඳ කුකුසක් තියෙනවා.

පාර්ලිමේන්තුව නැවත රැස්වූයේ විසුරුවා හැරීමේ ගැසට්ටුව අත්හිටවූ නිසා ජනපතිගේ පරණ ගැසට්ටුවට අනුවයි කියමු. එහෙම රැස්වූ පාර්ලිමේන්තුවට කරන්න න්‍යාය පත්‍රයේ තිබුණේ කටයුතු දෙකයි. නමුත් සුමන්තිරන් මහතා කඩිමුඩියේ ස්ථාවර නියෝග අත්හිටුවන්න කියනවා. විජිත හේරත් මන්ත්‍රීවරයා රේස් තුන්ඩුවක් බාර දෙනවා වගේ විශ්වාසභංගයක් බාරදුන්නා. කෝ සම්ප්‍රදාය. ස්ථාවර නියෝග, පාර්ලිමේන්තු තේරීම් කාරක සභා නෑ. වරප්‍රසාද කමිටු නෑ. කෝප්, කෝපා කමිටු නෑ. ගෘහ කමිටු නෑ. විශ්වාසභංග යෝජනාවක් න්‍යාය පත්‍රයට ඇතුළත් කරලා අඩුම තරමේ දින පහක්වත් තැබිය යුතුයි. භාෂා තුනෙන්ම මන්ත්‍රීවරුන්ට එය ලබාදිය යුතුයි. මේ රටේ සියලුම ජනතාව ඒක දන්නවා.

ඒ අයට ඕනෑ කළේ මේ ආණ්ඩුව බටහිර තානාපතිවරු ඉදිරියේ හෑල්ලුවට ලක්කර පිළිගැනීම නතර කර රටට එන ආයෝජන නතර කරන්න. රට අස්ථාවර කිරීමේ ආර්ථිකය අස්ථාවර කිරීමේ නව ආණ්ඩුවට රට කරන්න ඉඩ නොතැබීමේ කෲර අදහසින් මොවුන් කටයුතු කළා. මේ කඩිමුඩිය වෙන එකක් නෙවෙයි එන්.ජී.ඕ.වලට ඕනා නව ව්‍යවස්ථා සම්පාදනය කරන්න. නමුත් ජනාධිපතිතුමා ඔවුන් වැරදි ආකාරයෙන් ඉදිරිපත් කළ යෝජනාව පිළිගත්තේ නෑ. හරියට කරලා එන්න කිවා. ඒත් ඊළඟ දවසෙත් කථානායකතුමා පැත්තකින් පුටුවක් තියාගෙන පෙරදින සිදුකළ දේම කළා. අන්තිමට මොකද වුණේ. මේ එකක්වත් නීත්‍යානුකූල නොවන නිසා ජනාධිපතිතුමා කියපු ආකාරයට බිස්නස් කොමිටිඑක තේරීම්කාරක සභාව පත්කරන්න සියලු දෙනාම එකඟ වුණා.

එජාපය නම් කියන්නේ දැනට අගමැතිවරයෙකුත් නෑ. ආණ්ඩුවකුත් නෑ කියල නේද?

රටේ ආණ්ඩුවක් තියෙනවා පාර්ලිමේන්තුව විසුරුවා හැරියත් බාරකාර ආණ්ඩුවක් තියෙනවා. එහෙම ආණ්ඩුවක් නැත්නම් කොහොමද තෙල් මිල අඩු කළේ. දැන් ජනතාවට දෙවතාවක් සහන දුන්නා. රටට අහිතකර වෙළෙඳ ගිවිසුම් අහෝසි කළේ නව අගමැතිතුමා. ජනතාවට රුපියල් 500 ට පොහොර මිටිය දුන්නේ මේ ආණ්ඩුව. ඒගොල්ලෝ ගහපු වැට් එක සියයට 24 සිට 14ට අඩු කළේ රාජපක්ෂ ආණ්ඩුව‍. විදෙස් ගෙවුම් ශේෂ ඉවත් කළා.

රටේ අමාත්‍යාංශවලින් ජනතාව වැඩ ගන්නවා. ඇමැතිවරු ඉන්නවා. ලබන 07 වෙනකොට ශේෂ්ඨාධිකරණය ජනාධිපතිතුමාගේ ගැසට් එක හරි කියලා තීන්දු කළොත් මොකද වෙන්නේ. බාරකාර ආණ්ඩුව ලෙස කැබිනට් මණ්ඩලය ක්‍රියාත්මක වෙනවා.

ජනාධිපතිතුමා කළ කී දේ අනුව මෙහෙම දේවල් කරන්න ජනාධිපතිතුමාට ජනවරමක් නෑ කියල හිටපු ඇමැති පාඨලි චම්පික රණවක මහතා ජනාධිපතිවරණයක් ඉල්ලනවා නේද?

ජනපතිවරණයක් ඉල්ලනවා. මැතිවරණ එපා කියනවා. එතුමා එහෙම කියනවානම් ජන වරමක් නැත්තේ අපිට නෙවෙයි එජාපයට. පසුගිය පළාත් පාලන මැතිවරණය තියලා ගතවුණේ මාස කීපයයි. පොහොට්ටුවට සියයට 42ක ජන වරමක් ලැබුණා. අනෙක් පක්ෂ එකතු කළාම සියයට 57ක ජනවරමක් පොදු පෙරමුණට තිබෙනවා.

19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිතුමාට තිබෙනවාද?

ව්‍යවස්ථා අර්ථ නිරූපණ බලය ශ්‍රේෂ්ඨාධිකරණය සතුයි. එම තීන්දුව අධිකරණය ලබාදෙයි. මම කියන්නේ 19 අනුවත් ජනපතිට බලය තිබෙනවා. ආණ්ඩුව පත්වන්නේ වසර පහකට. එහෙනම් ඇයි වසර 4 ½ කින් විසුරුවන්න බලය දෙන්නේ. වසර 4 ½ පසුව පාර්ලිමේන්තුව විසුරවා හරින්න කියලා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරය කිව්වත් ජනාධිපතිතුමාට පුළුවන් වසර පහක් යනතෙක් විසුරුවන්නේ නැතිව ඉන්න. පාර්ලිමේන්තු බලයත්, ජනාධිපතිට ව්‍යවස්ථාවෙන් තියෙනවා.

2002 මේ ආකාරයට ප්‍රශ්නයක් උද්ගතවුණා. එහිදී ජනාධිපතිගේ පාර්ශ්වයෙන් නඩුවට කතාකළේ ජයම්පති වික්‍රමරත්න මන්ත්‍රීතුමා. එතුමා මේ සියල්ල හොඳට දන්නවා. 19 සංශෝධනය ගෙනාවෙත් එතුමා ප්‍රමුඛ කල්ලිය. 2002 ශේෂ්ඨාධිකරණය දුන් තීන්දුව අනුව 19වන ව්‍යවස්ථාව හැදුවා.

2002 ශ්‍රේෂ්ඨාධිකරණය හත් දෙනෙකුගෙන් යුත් පූර්ණ විනිසුරු මඩුල්ල රටේ සමස්ත සර්වජන ඡන්දයෙන් බලයට පත්වන විධායකයේ බලය, දිස්ත්‍රික් පදනමින් පත්වන මන්ත්‍රීවරුන්ට දෙන්න බෑ කියලා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා. ඒ අනුව 19 සංශෝධනයේදී 70 – 1 ව්‍යවස්ථාව, 33 – 2 ඇ ව්‍යවස්ථාව ව්‍යවස්ථාවට ඇතුළත් කළා.

අපේ රටේ අද ක්‍රියාත්මක වන්නේ වෙස්මිනිස්ටර් ආණ්ඩු ක්‍රමයක් නෙවෙයි. විධායක ජනපති ආණ්ඩු ක්‍රමයක් ඒ නිසා ජනාධිපතිතුමා ව්‍යවස්ථානුකූලව කටයුතු කර තිබෙනවා.

අද මේ පෙළගැහිලා තියෙන්නේ 2015 දී මෙරට පෙළගැසු‍ණු අශුද්ධ සන්ධාන බලවේග එන් ජී ඕ නඩය. ඒ අයට ඕනා මොනවද කියල. ජනතාව දන්නවා. බටහිරට අවශ්‍ය කරන ව්‍යවස්ථා මගඩිය ක්‍රියාත්මක කරන්න ඔවුන්ට ඕනෑ.

විධායක, ව්‍යවස්ථාදායක අධිකරණය යන තුනටම බලය දෙන ජනතා පරමාධිපත්‍ය බලයට ඉඩදීමයි මේ අවස්ථාවේ කළ යුතු වන්නේ.

ඔබලා ඉල්ලන්නේ මැතිවරණයක්?

පැහැදිලිවම මේ සියල්ලටම පිළිතුරු ජනතා පරමාධිපත්‍ය සතුයි. ජනතාවට බාර දෙමු.

නව අදහස දක්වන්න